වසර 200ක වහල්භාවය




සුගිය දිනක එක්තරා වතු හිමිකාර සමාගමක් විසින් තම වතුයායවල තේ දළු නෙලන්නියන් අතර තරගයක් පවත්වා විනාඩි 20ක් තුළ වැඩිම තේ දළ ප්‍රමාණයක් නෙලන ලද වතු කම්කරු ස්ත්‍රියට ලක්ෂ තුනක මුදලක් පිරිනැමීය. ශ්‍රම සූරාකෑම උත්කර්ෂයට නංවමින් දළු නෙලන්නියට ඔටුනු පළන් එකී සමස්ත උත්සවයම, වසර 200ක් ගතවන විට කඳුකර දෙමළ ජනයාට උරුම කර දී ඇති ජීවිත ගැන හරස්කඩක් බඳු ය. 


ආර්. සීතායම්මා 2023 වසරේ හොඳම තේ දළු නෙළන්නියට හිමි කුසලානය සමඟ

ඡායාරූපය www.hayleys.com 


බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන් විසින් ශ්‍රී ලංකාවේ වැවිලිකරයේ සේවය කිරීම සඳහා දකුණු ඉන්දියාවෙන් ජනයා රැගෙනවිත් මේ වසරට වසර 200ක් සපිරේ. 19 වන සියවසේ මුල් භාගයේ දී දකුණු ඉන්දියාවේ පැතිර ගිය සාගතය සහ දුක්ඛිත ජීවන තත්වය එම ජනයාට බ්‍රිතාන්‍ය විජිතවාදීන්ට අර්ධ වහල් කොන්දේසි යටතේ සේවය කිරීමට බල කරන ලදී. මේ වසර 200 තුළ සූරාකෑමට ලක්වීමේ නොනිම් චක්‍රය පරපුරෙන් පරපුරට උරුම කරදීම මිස වෙනත් වෙනසක් මේ ජන ප්‍රජාවගේ ජීවිත තුළ සිදුව නැත. වසර 200කට පසුත් කඳුකර දෙමළ ජනයාට අරගල කරමින් සිටින්නට සිදුව ඇත්තේ මූලික මානව අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙනි. 21 වන සියවස වනවිටත් ඔවුන් සැබවින්ම ඡන්දය ප්‍රකාශ කළ හැකි වහලුන් පිරිසක් මිස අන් කිසිත් බවට පත්ව නැත. ඒ නිසාම කඳුකර දෙමළ ජනයා වෙනුවෙන් ලියවෙන සටහනක ලියන්නට සිදුවන්නේ එකී වසර 200 පිරී ඇති ඓතිහාසික ව්‍යුහාත්මක පීඩනය, අයුක්තිය සහ නොසළකා හැරීම පිළිබඳව යි. කඳුකර දෙමළ වතු කම්කරු ජනයා හෙළා ඇති ඉරණම ලංකාවේ දීර්ඝතම පීඩිත ඉතිහාසය වන අතර, එය කේන්ද්‍රීය ඉතිහාසයක් ලෙස නොසළකා ශ්‍රී ලංකාවේ නූතන සැකැස්ම කියවා ගැනීම කළ නොහැකිය.  


සුබසාධන රාජ්‍යයේ ජීවනාලිය


19 වෙනි සියවසෙන් පසුව ඇති වූ යටත් විජිත ධනවාදයේ කොඳු නාරටිය වතු ආර්ථිකය යි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යටතේ වූ විශාලතම සුබසාධක රාජ්‍ය වන ශ්‍රී ලංකාව ගොඩනඟන ලද්දේ එකී වතු ආර්ථිකයේ ජීවනාලිය වූ කඳුකර දෙමළ වතු කම්කරුවන්ගේ ශ්‍රමයෙනි. අද අපි ආඩම්බර වන නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය බ්‍රිතාන්‍යයන් විසින් ප්‍රදානය කළා මිස ජනතාව සටන් කර දිනාගත්තා නොවේ. බ්‍රිතාන්‍යයන් විසින් ගොඩනංවා පුළුල් කරන ලද ජනපදකරණ ව්‍යාපෘති, විශාල රාජ්‍ය සේවය, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය නඩත්තු කිරීම සඳහා අවශ්‍ය අතිරික්ත ධනය නිෂ්පාදනය කරන ලද්දේ වැවිලිකරයේ සේවය කළ කඳුකර දෙමළ ජනයා විසිනි. එහෙත් එකී සුබසාධක රාජ්‍යයේ ප්‍රතිලාභ ඔවුන් හැර අන් සියලු ප්‍රජා කණ්ඩායම්වලට හිමි විය. 


බ්‍රිතාන්‍යය යටත් විජිතවාදීන්ගේ පාලනය යටතේ රජයේ වියදමින් විශාල ජනගහණ මාරුවක් සිදුකරමින් පහතරට ජනගහනයෙන් 1/4ක් වියළි කලාපයට මාරු කර  ජනපදකරණ ව්‍යාපාර ආරම්භ කරන ලදී. නිදහස ලබන මොහොත වනවිට ජනපදකරණ ව්‍යාපාර 6ක් ආරම්භ කර තිබුණි. නව ජනපදකරණ තුළ පදිංචි කළ ජනයාට අවශ්‍ය සුබසාධන කටයුතු කිරීම සහ එම ව්‍යාපෘති නඩත්තු කිරීම සඳහා අවශ්‍ය මුදල් රාජ්‍යයට ලැබුණේ කඳුකර දෙමළ ජනයාගේ ශ්‍රමයෙනි. ජනපදකරණයේ අරමුණ ඉඩම් නොමැති ජනයාට ඉඩම් ලබා දීම නම් විය යුතුව තිබුණේ කිසිදු ඉඩම් හිමිකාරිත්වයක් නොමැතිවම ජනපදකරණය සඳහා අවශ්‍ය ධනය නිපදවූ එම ජනයාට ඉඩම් ලබා දීම යි. එහෙත් තවමත් කඳුකර දෙමළ ජනයාගේ ඉඩම් අයිතිය ලබා නොදීම රාජ්‍ය ප්‍රතිපත්තියක් වශයෙන් ක්‍රියාත්මක වේ.


1945 දී නිදහස් අධ්‍යාපනය හඳුන්වා දෙන ලදී. ග්‍රාමීය ප්‍රදේශවල පාසල් පුළුල් කිරීම, නොමිලේ නේවාසිකාගාර පහසුකම් සහ දහවල් ආහාර සැපයීම සහිතව මධ්‍ය මහා විද්‍යාල පිහිටුවීම ඊට අයත් විය. කෙසේ වුවත් අනෙකුත් ජන කණ්ඩායම්වලට නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ භුක්ති විඳින ආකාරයෙන් වතුකරයේ දරුවන්ට එකී ප්‍රතිලාභ භුක්ති විඳීමට ඉඩ ලැබී නැත. නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ගෙන ඒමේ සමස්ත ගෞරවය එවක පාලකයන් වෙත හිමිකර දී තිබුණද සැබවින්ම නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට ආර්ථිකයට අවශ්‍ය ශක්තිය ලැබුණේ වතු කම්කරුවන් නිපදවූ අතිරික්ත ධනයෙනි. එහෙත් ඔවුන් වෙත නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාබ ළඟා වීමට ඇති මාර්ග අහුරා ඇත.


නිදහස් ලංකාවේ කඳුකර ජනයා


1948 දී බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවට නිදහස ප්‍රදානය කිරීමෙන් පසු පාලකයන්ගේ පළමු පියවර වූයේ කඳුකර දෙමළ ජනයා වාර්ගිකත්වය මත නොසළකා හැරීමට ලක් කිරීම යි. ඒ නිදහස ලබා සය මසක් ඉක්ම යද්දී සම්මත කළ පුරවැසි පනත හරහා කඳුකර දෙමළ වතු කම්කරුවන්ගේ පුරවැසිභාවය අහෝසි කිරීම මඟිනි. පනතේ අරමුණ පුරවැසිභාවය ලබාදීම බව පැවසුවද එහි අරමුණ ඇත්ත වශයෙන්ම ජනගහනයෙන් කොටසකට පුරවැසිභාවය අහිමි කිරීම විය. පනතට අනුව පුරවැසිභාවය ලබා ගැනීමට නම් තම පියා ලංකාවේ උපන් බව ඔප්පු කළ යුතු විය. බොහෝ ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනයාට උප්පැන්න සහතික නොතිබුණි. පනත සම්මත කරමින් ලක්ෂ 7කට අධික කඳුකර දෙමළ ජනයාගේ පුරවැසිභාවය අහෝසි කරන ලදී.


පුරවැසිභාවය ලබාදීම සඳහා බව දක්වමින් 1949 දී සම්මත කළ ඉන්දියානු සහ පාකිස්ථාන (නේවාසික) පුරවැසි පනතෙහි සැබෑ අරමුණ වූයේ කඳුකර දෙමළ ජනතාවගේ පුරවැසිභාවය අහිමි කිරීමයි. මෙම පනත යටතේ අවිවාහකයෙක් නම් වසර 10 ක් අඛණ්ඩව ශ්‍රී ලංකාවේ පදිංචිව සිටියේ නම් සහ විවාහකයෙක් නම් අඛණ්ඩව වසර 7 ක් පදිංචිව සිටියේ නම් පුරවැසිභාවය ලබා ප්‍රදානය කරන ලදී. මෙම පනත හරහා ද කඳුකර දෙමළ ජාතිකයන් විශාල පිරිසකට  පුරවැසිභාවය අහිමි විය. 1949 වසරේම බලාත්මක කරන ලද ලංකා (පාර්ලිමේන්තු මැතිවරණ) සංශෝධන පනත විසින් ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනයාගේ ඡන්ද අයිතිය අහිමි කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස 1952 මහ මැතිවරණයේදී කඳුකර දෙමළ ජනයා නියෝජනය කරමින්  කිසිදු නියෝජිතයෙකු තේරී පත් නොවීය. 

 

ඉන්දීය අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ජෝන් කොතලාවල විසින් 1954 දී අත්සන් තබන ලද නේරු-කොතලාවල ගිවිසුම යටතේ ඉන්දීය පුරවැසිභාවය අවශ්‍ය ඕනෑම ඉන්දීය සම්භවයක් සහිත ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජාතිකයෙකු මෙරටට ගෙන්වා ගැනීමට ඉන්දියාව එකඟ විය. එහෙත් ලංකා පුරවැසිභාවය සඳහා සුදුසුකම් නොලබන අයට ඉන්දීය පුරවැසිභාවය ලබාදීම ඉන්දියාව ප්‍රතික්ෂේප කළේය. 


1964 දී අත්සන් කළ සිරිමා-ශාස්ත්‍රී ගිවිසුමේ සඳහන් වූයේ ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජාතිකයන්ගෙන් කොටසක් නැවත ඉන්දියාවට ගෙන්වාගෙන කොටසකට ලංකා පුරවැසිභාවය ලබා දෙන බවයි. කෙසේ වෙතත්, ගිවිසුම යටතේ ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජාතිකයන් 150,000 කට කිසිදු රටක පුරවැසිභාවය හිමි නොවීය. එම ගිවිසුමට අනුව එම පවුල්වල සමහර සාමාජිකයන්ට ඉන්දීය පුරවැසි භාවයත්, තවත් පිරිසකට ලංකා පුරවැසිභාවයත් ලබාදීම හේතුවෙන් පවුල් කැඩී වෙන් විය. ඉන්දියාව 1982 දී ප්‍රකාශ කළේ එහි මෙහෙයුම් කාලය අවසන් වී ඇති බැවින් ගිවිසුම තවදුරටත් සලකා නොගන්නා බවයි. 


1964 ඔක්තෝම්බර් මස ඉන්දීය අගමැති ලාල් බහදූර් ශාස්ත්‍රී සහ ශ්‍රී ලංකාවේ අගමැතිණි සිරිමාවෝ බණ්ඩාරනායක විසින් 'සිරිමා -ශාස්ත්‍රී ගිවිසුම' අත්සන් කරන ලදී.

ඡායාරූපය උපුටා ගැනීම:  

https://sirimavobandaranaike.org/30-october-1964-sirima-shastri-pacton-citizenship/ 


ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සිරිමා-ශාස්ත්‍රී ගිවිසුමෙන් කිසිදු රටක පුරවැසිභාවය ලබා නොගත් ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජාතිකයන් 150,000 කට පුරවැසිභාවය ලබා දීමට 1974 දී අත්සන් කළ සිරිමාවෝ - ගාන්ධි ගිවිසුම යටතේ එකඟ විය. මෙම ගිවිසුම යටතේ ද ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයන් කොටසක් ඉන්දීය පුරවැසිභාවය ලබා දෙමින් බලහත්කාරයෙන් පිටුවහල් කරන ලදී. 


2003 දී සම්මත කරන ලද ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයින්ට පුරවැසිභාවය ලබා දීම (සංශෝධන) පනත හරහා 1964 ඔක්තෝම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම ඉන්දියානු දෙමළ ජාතිකයන් සහ ඔවුන්ගෙන් පැවතෙන්නන්ට ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබා දෙන ලදී. මේ අනුව අවසානයේ නිදහසින් වසර 55කට පසු සියලුම ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනයාට ශ්‍රී ලංකා පුරවැසිභාවය හිමි විය.


වාර්ගික ප්‍රචණ්ඩත්වයේ ගොදුරු


බ්‍රිතාන්‍යයන්ගෙන් පසු රාජ්‍ය බලයට පත්වූ දේශීය ආණ්ඩු යටතේ කඳුකර දෙමළ යනයාට එරෙහි වහල් ප්‍රතිපත්තීන්ට වාර්ගිකත්වය මත ප්‍රචණ්ඩත්වයට ලක් කිරීමේ ප්‍රතිපත්ති ද එක් විය. 1956 වසරේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමට දෙමළ ජනයා විසින් සාමකාමීව විරෝධය දැක්වීම් මර්දනය කිරීමේ රාජ්‍ය බලය යොදා උපරිමෙන් මර්දනය කිරීම අරඹන ලදී. කඳුකර දෙමළ ජනයා 1956 න් ඇරඹි සිංහල ජනයා විසින් පෙරට ගෙනයන ලද රාජ්‍ය අනුග්‍රහය ලත් දෙමළ විරෝධි සංහාරක ප්‍රචණ්ඩත්වයෙහි සෘජු ගොදුරක් බවට පත් වූහ. ඉන්දියානු සම්භවයක් සහිත වහල් කම්කරුවන් වීම නිසා ආන්තික කරනු ලැබ සිටි මෙම ජනයා ශ්‍රී ලංකාව තුළ 'දෙමළ වීම' හේතුවෙන් එල්ලවන සාහසිකත්වයේ පහසු ඉලක්කයක් බවට පත් විය. ඔවුන් කොටුකර සිටි භාෂාවෙන්, සංස්කෘතියෙන්, සමාජ පන්තියෙන් කිසිසේත්ම ඔවුන්ව අවශෝෂණය කරනොගත්, ඔවුන් කෙරෙහි සතුරු ආකල්ප දැරූ පරිසරය ඔවුන්ගේ ඉරණම තව තවත් ඛේදජනක කරන ලදී. 1958 ත්, 1977ත්, 1983 ත්  සිට වර්තමානයේ පවා අප්‍රකටව ඇවිල යන හුදෙකලා සිදුවීම් ද දක්වා එකී වාර්ගික ප්‍රචණ්ඩත්වය දිගු වේ. 


ප්‍රගතිශීලී පියවරකැයි සිංහල සංවාද කව තුළ පැසසුම් ලබන සිරිමාවෝ බණ්ඩාරනායක රජය විසින් 1972 දී ඉඩම් ජනසතු කිරීම, කඳුකර දෙමළ ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වය අවුළුවන ලද නිමිත්තක් විය. සම්මත කරන ලද ඉඩම් ප්‍රතිසංකරණ පනත හරහා වතුකරයේ ඉඩම් අවට ගම්මානවල රජයේ ආධාරකරුවන්ට බෙදා දෙන ලදී. නව සිංහල ඉඩම් හිමියන් විසින් එම ඉඩම්වල දිවි ගෙවූ කඳුකර දෙමළ වතු කම්කරු ජනයාට පහර දී එළවා දමන ලදී. තමන් සේවය කළ වතුයාය විසින් ලබාදුන් පැල්පත්වල ජීවත් වීමේ ඉඩ පමණක් හිමිව තිබූ මෙම ජනයාට අවතැන්ව  යාමට බිමක් තිබුණේ හෝ ඥාතියෙක් සිටියේ හෝ නැත. බොහෝ වතු කම්කරුවන් යාචකයන් බවට පත් වූ අතර විශාල පිරිසක් හාමතෙන් මියගියහ. වතු පොහොණි කරමින් ඒවා තුළ ජීවත් වූ දෙමළ කම්කරුවන්ට බෙදා දුන්නේ නම් වතු ජනසතු කිරීම ප්‍රගතිශීලී පියවරක් වන්නට තිබුණි. වතු රජය වෙත පවරා ගැනීමෙන් අනතුරුව වතු පාලනාධිකාරණ කටයුතු සඳහා ඒ සම්බන්ධයෙන් කිසිදු අත්දැකීමක් නැති රජයට පක්ෂපාතී සිංහල ජනයා පත් කරන ලදී. ඉන්පසු වතු තුළ ජීවත් වූ කම්කරු දෙමළ ජනයාව ප්‍රචණ්ඩත්වය යොදවා බලහත්කාරයෙන් වතුවලින් ඉවත් කිරීම ආරම්භ විය. රජය විසින් ප්‍රකාශයට පත් කළ 1975 අංක 3 දරණ හදිසි නීති (වතුවල මහජන සාමය සුරැකීමේ) ගැසට් පත්‍රය යටතේ තම මතය අනුව මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා ඕනෑම වතු කම්කරුවෙකු ඉවත් කිරීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට බලය හිමි විය. මෙම නීතිය භාවිතා කළේ කඳුකර දෙමළ ජාතිකයන් වතුවලින් ඉවත් කර එම ඉඩම් රජයේ ආධාරකරුවන්ට ලබාදීමට යි. වතු ගණනාවක වතු කම්කරුවගේ දේපළ කොල්ල කා, ලැයිම් කාමරවලට ගිනි තබා, කම්කරුවන්ට පහර දී ඝාතනය කර පලවා හරින ලදී. 


1977 මැතිවරණයෙන් පසු රට පුරා පැතිර ගිය දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ දී වතුකරය ආශ්‍රිත සිංහල ගම්වාසීන් විසින් ඒවායේ ජීවත් වූ කඳුකර දෙමළ ජනයාට එරෙහි විශාල සාහසිකත්වයක් මුදා හරින ලදී. මාතලේ සහ නුවර ප්‍රදේශවලට දැඩි හානි සිදු වූ බව වාර්තා වන අතර, මාතලේ මුත්තුඅම්මාන් කෝවිල ඇතුළුව විවිධ ස්ථානවල ඉදි කළ සරණාගත කඳවුරු අවතැන් වූ දෙමළ ජනයාට රැකවරණය සැපයීය. වතු කම්කරු ජනයාව ඔවුන්ගේ ලයිම් කාමරවලින් පහර දී පන්නා දැමීමේ සිට දේපළ ගිනිබත් කිරීම, කාන්තාවන්ට ලිංගික අපරාධ සිදු කිරීම සහ මනුෂ්‍ය ඝාතන සිදු කිරීම දක්වා සාහසික අපරාධ සිදු විය. අවතැන් වූ කඳුකර දෙමළ ජනයා වව්නියාව, කිලිනොච්චිය සහ මන්නාරම ආදි ප්‍රදේශ වෙත පලා ගියහ. එම ජනයා නැවත පදිංචි කර ඔවුන්ගේ සුබසාධන කටයුතු සිදු කළේ 1976 දී වෛද්‍ය රාජසුන්දරම් සහ එස්. ඩේවිඩ්ගේ මූලිකත්වයෙන් ආරම්භ කළ උතුරේ පැවති සමාජ සුබසාධන ව්‍යාපාරයක් වූ 'ගාන්ධියම් ව්‍යාපාරය' විසිනි. ශ්‍රමය වැගිරීම හැර වෙනත් විකල්පයක් නොතිබුණු, තමන් පොහොණි කළ බිමට කිසිදා හිමිකමක් නොතිබුණු, නිවසක් නොතිබුණු කඳුකර ජනයාට පළමුවරට ඉඩම් ලබාදෙන ලද්දේ ගාන්ධියම් ව්‍යාපාරය මඟිනි. 


වම අත්හළ කම්කරුවා


1931 දී කෝ. නඩේසයියර් විසින් පළමු වතු කම්කරු වෘත්තීය සමිතිය ආරම්භ කිරීමෙන් පසුව කඳුකර දෙමළ ජනයා සිය අයිතිවාසිකම් උදෙසා සටන්කාමී ක්‍රියාමාර්ග ගත්හ. එහෙත් එකී සටන්කාමීත්වය අවශෝෂණය කරගැනීමට වාමවාදී දේශපාලන ව්‍යාපාර සමත් වූයේ නැත.  කඳුකර දෙමළ ජනයාගේ නිර්ධන භාවය සහ වාර්ගිකත්වය වහල් ප්‍රතිපත්තීන්හි පාදම කරගත්තේ රජය පමණක් නොවේ. 1933 දී වතු කම්කරුවන් තමන්ව හෙළා ඇති වහල් භාවයට විරෝධය පාමින් වතුයායවලින් පිටව හැටන් ආශ්‍රිත දුම් රියපොළවලට රැස් වූහ. එකල සම සමාජ පක්ෂයෙහි සාමාජිකයන් පක්ෂය ආරම්භ කර නොතිබුණ ද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල සක්‍රීයව නියැලෙමින් සිටියහ. එහෙත් සියල්ල අත්හැර විරෝධය පෑමට තීරණය කළ වතු කම්කරුවන් කෙරෙහි කිසිදු සහයෝගීතා ව්‍යාපාරයක් ගොඩනැඟුණේ නැති අතර, වතු කම්කරු සටන හුදෙකලා සටනක් බවට පත් විය. අවට සමාජයට සම්පූර්ණයෙන් පිටස්තරයන් වූ මේ ජනයාට ජීවත් වීම උදෙසා නැවත වතුවලටම යාම මිස අන් විකල්පයක් තිබුණේ නැත. වාමවාදී පක්ෂ වතුකරයේ වෘත්තීය සමිති පිහිටුවා තිබුණද, ඒවා මූලිකව සිංහල සාමාජිකයන්ගෙන් සැදුම්ලත් දෙමළ ජාතික අනුගාමිකයන් සිටි ඒවා විය. 1948 සහ 1949 පුරවැසි පනත් මඟින් කඳුකර දෙමළ ජනයාගේ පුරවැසි භාවය අහෝසි කළ විට පාර්ලිමේන්තුව තුළ හඬ නැඟීම මිස, ශක්‍යතාවය තිබුණද රට පුරා ව්‍යාප්ත දැවැන්ත කම්කරු වර්ජන සංවිධානය කළේ නැත. එම ජනයා වාර්ගික සංහාරයන්ට ඉලක්ක වන විට හෝ විටින් විට බලහත්කාරයෙන් රටෙන් පිටමං කරන විට පැතිර ගිය කම්කරු නැඟිටීම් සිදුවූයේ නැත. 1935 පිහිටුවන ලද සමසමාජ පක්ෂය විසින් ඉදිරිපත් කළ පළමු දේශපාලන ලියවිල්ල තුළ සමාජයේ සෑම කොටසකම ගැටළු ආමන්ත්‍රණය කර තිබුණ ද වතු කම්කරුවන්ගේ ගැටළු ඇතුළත් නොවීය. ලංකාවේ වාමාංශික ව්‍යාපාරයට කීර්තිමත් ඉතිහාසයක් ඇති බවට පැවසුවද ශ්‍රමය හැර වෙනත් කිසිවක් විකිණීමට නැතියෙන් සියල් අර්ථයෙන් නිර්ධනයන් ලෙස හැඳින්විය හැකි සමාජ ස්ථරය වූ මෙම වතු කම්කරු ජනයා එහි කෙන්ද්‍රීය කොටසක් වූයේ නැත.  අදටත් වතු කම්කරුවන්ගේ දෛනික ගැටළු වාමවාදී පක්ෂවල සැරසිලි මිසක කේන්ද්‍රීය සටන් පාඨ වශයෙන් භාර ගෙන නැත. ඊට හේතුව කඳුකර දෙමළ ජනයාගේ වාර්ගිකත්වය මිස අන් යමක් නොවේ.


එම ජනයාට සදාකල් උරුමව ඇති අන්ත දරිද්‍රතාවය සහ සමාජ දේශපාලන පරිහානි රාජ්‍ය සැකැස්මෙහි ගැටළුවකි. සක්‍රීය දේශපාලන මැදිහත්වීම් මිස සානුකම්පිත ආස්ථාන එම ගැටළුවට මුණ ගැස්සවීමේ අර්ථයක් නැත්තේ එහෙයිනි.  කඳුකර දෙමළ ජනයාගේ වසර 200ක වහල්භාවය රාජ්‍යයේ වර්ගාමික ස්වභාවය විසින් නිර්මාණය කරන ලද්දකි. එම ජනයාගේ පීඩිත භාවය සිය දේශපාලනයෙහි කේන්ද්‍රීය ගැටළුවක් කර නොගන්නා දේශපාලන ව්‍යාපාර විසින් තව දුරටත් පෙන්නුම් කරනු ඇත්තේ  කුමක් ද?

සටහන - සංජුලා පීටර්ස්