1981 දෙමළ සාහිත්‍ය සංහාරය

 

එන්.සරවනන් විසින්  Namathu Malayagam වෙබ් අඩවියේ 2021 වසරේ දී පළ කරන ලද ලිපියේ සිංහල පරිවර්තනය

පරිවර්තනය - ජෙගන් ගනේෂන් 

‘යම් ජනවර්ගයක් විනාශ කිරීමට නම් ඔවුන්ගේ ඉතිහාස සටහන් සහ අනන්‍යතාවය විනාශ කරනු’ යනුවෙන් කියමනක් ඇත. උතුරේ, විශේෂයෙන් යාපනය ජනයාගේ බුද්ධිමය උරුමයක් ලෙස සැලකූ යාපනය පුස්තකාලය ගිනි තබා විනාශ කිරීම ඉතිහාසයේ කිසිදු දිනක ඉවත් කළ නොහැකි කළු පැල්ලමක් ලෙස පවතියි.

තම දෙමළ සම්ප්‍රදායික කරුණු, ඉතිහාස සටහන් සංරක්ෂණය කර තිබු පුරාවිද්‍යා ස්ථානයක් ලෙස ද එය සැලකුණි. නැවත ලබා ගත නොහැකි විරල ග්‍රන්ථ, සියවස් ගණනක් ඉපැරණි පුස්කොළපොත් ද එහි සංරක්ෂණය කර තිබුණි. යාපනය පුස්තකාලය රජය විසින් ඉදි කරන ලද්දක් නොවේ. එය එකල සිටි දෙමළ විද්වතුන් විසින් නිර්මාණය කර, පසුකාලීන ව යාපනය නගර සභාව වෙත භාර දෙන ලද්දකි. 

70 දශකයේ අග භාගයේ දී උතුරු - නැගෙනහිර දෙපළාතේ පුරාවිද්‍යා කැණීම් යන නමින් හමුවන සියල්ල සාක්ෂියක් ලෙස භාවිත කරමින් උතුරු - නැගෙනහිර දෙපළාත සිංහල ජනයාගේ භූමියක් ලෙස ප්‍රකාශ කිරීමේ වැඩපිළිවෙලක් රජය විසින් ආරම්භ කර තිබුණි. දෙමළ ජනයාගේ නිජබිම් අයිතිය ප්‍රතික්ෂේප කිරීමේ අරමුණින් ජාතිවාදි කණ්ඩායම් රජයේ අනුග්‍රහය සහිතව මෙම ක්‍රියාවලියේ මූලිකත්වය ගෙන කටයුතු කළහ. 1977 වසරේ සිදු වූ දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමේ දී ද බොහෝ ජාතිවාදි සංවිධාන දෙමළ ජනයාට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් කතා නොකර පුරාවිද්‍යා සාක්ෂි සම්බන්ධයෙන් වැඩි වශයෙන් පවසා ඇති බව එම කොමිෂන් වාර්තා පරිශීලනය කිරීමේ දී අවබෝධ කරගත හැකිය. මඬියේ පඤ්ඤාසීල හිමියන්, හරිචන්ද්‍ර විජේතුංග, එච්.එම්. සිරිසෝම වැන්නන් ද එහි දී වාර්තා  ඉදිරිපත් කළහ. ඒවා පසුකාලීනව පොත් පිංච ලෙස සිංහල භාෂාවෙන් මුද්‍රණය කෙරුණි.


කවුද මේ සිරිල් මැතිව් ?

සිරිල් මැතිව් යනු මෙම ජාතිවාදී මාර්ගයේ ගමන් කළ අයෙකි. ලංකා ඉතිහාසයේ ජාතිවාදි නායකයන් පෝෂණය කළ බලකොටුවක් ලෙස එකල සිට අද දක්වා කැලණිය ආසනය ප්‍රසිද්ධියක් උසුලයි. එම ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක ලෙස සිරිල් මැතිව් කටයුතු කළේ ය. 1977 වසරේ දී කැලණිය ජනතාව ඔහුව පාර්ලිමේන්තුවට පත් කළහ. ජනාධිපති ජේ.ආර් ද එම ආසනය නියෝජනය කළ අයෙකි. ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ කර්මාන්ත සහ විද්‍යා කටයුතු අමාත්‍යවරයා ලෙස සිරිල් මැතිව් දිවුරුම් දුන්නේ ය. 1980 දී සිරිල් මැතිව් තම බලය යොදා ගනිමින් සහ ඔහුගේ මඟපෙන්වීම යටතේ උතුරේ පුරාවිද්‍යා කැණීම් කටයුතු සිදු කිරීමට බලධාරීන් යොමු කළේ ය. 

මෙම කටයුතු අධීක්ෂණය කිරීමට ‘රාජ්‍ය සංස්ථා බෞද්ධ සමිති සම්මේලන’ පිහිටුවා ඒ හරහා ත්‍රිකුණාමලයේ පුල්මෝට්ටෛ - කුච්චිවේලි ප්‍රදේශයේ ‘අරිසිමලේ ආරණ්‍ය සේනාවක්’ ස්ථාපිත කළේ ය. සිරිල් මැතිව් විසින් සකසන ලද වාර්තාවක්  ලංකාවේ සංස්කෘතික උරුමය පිළිබඳ යුනෙස්කෝ සංවිධානය වෙත භාර දී ඒවා ආරක්ෂා කර දෙන ලෙස ද ඉල්ලීමක් කළේ ය. එම වාර්තාව අද දක්වා සිංහල ජාතිකවාදීන්ගේ වන්දනාවට ලක් වෙමින් තිබේ. උතුරු - නැගෙනහිර සිංහල නිජබිමක් යනුවෙන් එම වාර්තාව සකස් කර ඇත. 

උතුරු - නැගෙනහිර දෙපළාතේ බෞද්ධ දහම පැවැති බව සත්‍යයකි. එහෙත් එම ඉතිහාසය සිංහලයන් සමඟ ඈඳා ගනිමින් සිංහල - බෞද්ධ සංකල්පය ඉදිරිපත් කිරීමට මහජාතිවාදීන් එකල සිට උත්සහ ගනිමින් සිටිති. මෙරට දෙමළ ජනයා විසින් බෞද්ධ දහම ඇදහීම් කළ බවට වන තොරතුරු පිළිගැනීම තුළින් සිංහල - බෞද්ධ තර්කය බිඳහෙළිය හැකිය. එහෙත් යාපන හින්දු සම්ප්‍රදාය එය පිළිගැනීමට අවකාශයක් ලබා දී නොමැති බව බොහෝ පුරාවිද්‍යා කැණීම්වලින් හමුවන සාක්ෂි හරහා තහවුරු කරගත හැකිය.

දෙමළ ජනයාට අයිතිවාසිකම් කීමට එහි කිසිවක් නැති අතර, එය ත්‍රස්තවාදී ඉල්ලීමක් යන්න හැඟවෙන පරිදි ඔහු ග්‍රන්ථ රචනා කළේ ය. ‘කවුද කොටියා’ (1980) ‘සිහලුනි බුදු සසුන බේරාගනිව්’ යන ග්‍රන්ථවල උග්‍ර ජාතිවාදී අදහස් ගැබ් ව තිබුණි. තමන් දැඩි සිංහල - බෞද්ධ මතවාදය දරන්නෙකු ලෙසට පත් වූ ඔහු තම වර්ගවාදී අදහස් දැඩි ලෙස සමාජගත කරමින් සිටියේ ය.

යාපනය පුස්තකාලය ගිනි තැබීමේ සිද්ධියට වගකිව යුත්තේ සිරිල් මැතිව් පමණක්  නොවේ. ඊට ගැළපෙන අයුරින් මෙරට බොහෝ ස්ථානවල ජාතිවාදී ක්‍රියා සිදු වෙමින් තිබුණි. සිරිල් මැතිව් එම අවස්ථාවට නිසි නායකත්වය ලබා දුන්නේ ය. ජාතිවාදි සුනඛ පෝතකයෙකු ලෙස ඔහු පාර්ලිමේන්තුව තුළ ගර්ජනය කළේ ය. සිරිල් මැතිව්ගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සහ ජනාධිපති ජේ.ආර් ජයවර්ධන කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. දෙමළ සිසුන් වැඩි වශයෙන් විශ්වවිද්‍යාලයට තේරී පත්වීම සිරිල් මැතිව්ට දරාගත නොහැකි කරුණක් විය. එම්. සිවසිදම්බරම් සහ සිරිල් මැතිව් අතර පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් දැඩි වාද විවාද ඇති විය. දෙමළ සිසුන් නීතිවිරෝධි අයුරින් විශ්වවිද්‍යාලය සුදුසුකම් ලබන බවත්, ඊට පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන් සහය වන බවත් සිරිල් මැතිව් චෝදනා කළේ ය. එම පිළිතුරු පත්‍ර සාක්ෂියක් ලෙස ඉදිරිපත් කරන ලෙස ඉල්ලුව ද ඔහු අතෙහි තබාගෙන සිටි කඩදාසිය සභාගත කළේ නැත. එහෙත් අද දක්වා සිංහල කෘතිවල සිරිල් මැතිව් සිදු කළ ප්‍රකාශය සත්‍යයක් බවට දක්වා ඇති අයුරු දැකගත හැකිය.

“අපි ඕනෑම දෙයක් භාරගන්නවා. නමුත් අපි අවංක නැහැ කියන බොරු චෝදනාව පිළිගන්නේ නැහැ. මහන්සිවෙලා ඉගෙනගන්න දරුවන්ගේ හැකියාවට සිදු කරන අපහාසත්මක කතාවක් මේක” යනුවෙන් එම්. සිවසිදරම්බරම් ආවේගයෙන් ප්‍රකාශ කළේ ය. 

උතුරේ සිදු වූ තරුණ නැඟිටීමට විරුද්ධව සටන් කිරීමට මෙවැනි ජාතිකවාදී සංවිධාන සහ පුද්ගලයන්ගේ අවශ්‍යතාවයට රජයට දැඩි ව පැවැතුණි. 

එක්සත් ජාතික පක්ෂය නම්බුව ආරක්ෂා කරගැනීමට ලබා දුන් මිල 

70 දශකයේ සිට උතුරේ සිදු වූ තරුණ නැගිටීම් රජයට දැඩි හිසරදයක් විය. 77 වසරේ සිදු වූ දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලින් පවා එම නැඟිටීම් පාලනය කරගැනීමට නොහැකි විය. දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයේ දී කුමන හෝ සන්ධානයක් ඇති කරගනිමින් වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමේ අරමුණින් මැතිවරණ සටනට පැමිණි එක්සත් ජාතික පක්ෂය සිදු කළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ද බොහෝ ජාත්‍යන්තර වාර්තා කරුණු පැහැදිලි කර ඇත. එහි දී ඡන්ද පෙට්ටි කොල්ලකන ලදී. පොලිස් නිලධාරීන් විසින් සාමාන්‍ය ජන ජීවිතයට බාධා කළහ.

මෙවැනි පසුබිමක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා වූ ත්‍යාගරාජන් දෙමළ විමුක්ති සංවිධානවල ඉලක්කයක් බවට පත් ව සිටියේ ය. ඔහු 1981 වසරේ මැයි මස 24 වනදා ඝාතනයට ලක් විය. එක්සත් ජාතික පක්ෂයට එම අහිමි වීම දරාගත නොහැකි එකක් විය. ඔවුන් දුටුවේ මෙම ක්‍රියාව තමන්ට විරුද්ධව සිදු කරනු ලැබූවක් ලෙස යි.

මැතිවරණ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය සිරිල් මැතිව් සහ ඔහුගේ සමීපතමයෙක් වූ අමාත්‍ය ගාමිණි දිසානායක යන අයගේ මූලිකත්වයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සහ එහි අතිරේක ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු විශේෂ කණ්ඩායමක් මැයි මස 30 වන ඉරිදා දින යාපනයට පිටත් කළේ ය. ඊට අමතරව යාපනයේ රැස්කර සිටි අධික පොලිස් නිලධාරීන්ට අමතරව පිටස්තර දිස්ත්‍රික්කවල සිටි තවත් පොලිස් නිලධාරීන් 500 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ද යාපනය වෙත පිටත් කරන ලදී. විශාල ව්‍යවසනයක් සඳහා අඩව්වක් අල්ලමින් සිටින බවට යාපන ජනයා දැන සිටියේ නැත. 

මැතිවරණයට දින හතරක් පමණ ඉතිරිව තිබුණ හෙයින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඉතා යුහුසුළුව සිදු විය. මැයි මස 31 වනදා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මැතිවරණ රැළිය යාපනය නරසිම්මර් කෝවිලේ දී සංවිධාන කර තිබුණි. මෙම රැළියේ දී ආරක්ෂක රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් තිදෙනෙකු තරුණ කණ්ඩායමක තුවක්කු වෙඩි ප්‍රහාරවලට ලක් විය. ඉන් දෙදෙනෙකු වෙඩි වැදුණ ස්ථානයේ දී ම මිය ගියහ.

රාජ්‍ය ත්‍රස්තවාදය 

මෙම සිදු වීම සිදු වී ස්වල්ප වේලාවකින් එම ස්ථානයට පැමිණි ආයුධ දැරූ පොලිස් නිලධාරී කණ්ඩායමක් සිය පහර දීම් ආරම්භ කළහ. වීදියේ දුටු දුටුවන්ට පහර දෙමින් වධ හිංසා කළහ. පාරවල් පාළු ස්වභාවයක් ගෙන තිබුණි. ඔවුන් ආවේගයෙන් අසළ තිබූ දේපළ විනාශ කළහ. 150කට අධික කඩ සංඛ්‍යාවක් කොල්ල කා ගිනි තබා විනාශ කරන ලදී. එහි අසළ තිබු කෝවිලට ගිනි තැබූ ඔවුන් වීදියේ නවතා තිබූ වාහනවලට ද ගිනි තැබූහ. පාර්ලිමේන්තු මන්ත්‍රී යෝගේෂ්වරන් සහ ඔහුගේ බිරිඳ අනූනවයෙන් දිවි ගලවා ගැනීමට සමත් විය.




ඊළනාඩු පුවත්පත් කාර්යාලය ද ගිනි තබා විනාශ කරන ලදී. එහි ප්‍රධාන කර්තෘ එස්.එම් ගෝපාලරත්තිනම් බරපතල ලෙස පහර කෑමට ලක් විය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලය ද ගිනි තබා විනාශ කෙරුණි. දෙමළ වැසියන් සිව් දෙනෙකු වීදිය දිගේ ඇදගෙන ගොස් වධහිංසවට පමුණුවා ඝාතනය කළහ. යාපනය පෙරියකඩෛ අසල තිබූ තිරුවල්ලුවර්ගේ, කිවිඳිය ඖවයාර්ගේ සහ පඬිවර සෝමසුන්දරම් යන අයගේ පිළිරු කඩා විනාශ කරන ලදී.

මෙම ක්‍රියා සියල්ල පිරිසක් විසින් යාපනයේ නවාතැන්පළක සිට මෙහෙයවමින් සිටියහ. සිරිල් මැතිව් සහ ගාමිණි දිසානායකගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම රැගෙන ආ මැරවරයන් තමන්ට රිසි සේ කොල්ලකෑම්වල නිතර වූහ. මේවා සිදු වන විට හදිසි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබුණි. සියල්ල අවසන් වීමෙන් පසුව, එනම් ජුනි මස දෙවනදා ඇඳිරි නීතිය පැනවීමට රජය කටයුතු කළේ ය. ඉන් මැරයන්ට ආරක්ෂාව සහ මහජනතාවට අහිමිවීම් ඇති කිරීමට සමත් විය. රාජ්‍ය ත්‍රස්තවාදය මෙම නීතිය භාවිත කරමින් ජනතාව බැඳ තබා සූරාකෑම් සිදු කරන ලදී. ජනතාවගේ දේපළ විනාශ විය.

රාත්‍රිය පුරා සිදු වූ මෙම විනාශකාරී සිදුවීම්වලට විරාමයක් ලැබුණේ නැත. ඔවුන්ගේ විනාශකාරී පිපාසය සන්සිඳුනේ නැත. පසුදිනත් විනාශකාරී ක්‍රියා ආරම්භ විය. ජූනි මස පළමුවනදා ඔවුන් යාපනය පුස්තකාලයට ඇතුළු වූහ. එහි තිබු 97,000කට අධික වූ ග්‍රන්ථ, කාලාන්තරයක් තිස්සේ සංරක්ෂණය කරනු ලැබු පුස්කොළ පොත් සහ මුල් පිටපත් රැසක් ගිනි තබා විනාශ කළහ. ඓතිහාසික වැදගත්කමින් සහිත වූ ‘යාල්පාන වෛප මාලෛ’ හි එකම මුල් පිටපතත් විනාශ කළ සටහන් අතර එකකි. 

රාත්‍රියේ දැවෙමින් තිබුණ එම බුද්ධිමය උරුමය  සමඟින් දහස් ගණනක් එක් ව නිර්මාණය කළ පුස්තකාලය ගිනි ගනිමින් තිබුණි. ශාන්ත ෆෙඩ්රික් විද්‍යාලයේ උඩුමහලේ සිටි 74 හැවිරිදි ඬේවිඞ් පියතුමන් මෙය දැක හෘදයාබාධයකින් ජීවන ගමනට සමු දුන්නේ ය.

“තම බුද්ධිමය උරුමය විනාශ කිරීමක් ලෙස දෙමළ ජනයා මෙය දුටුහ. දෙමළ සමාජය වෙත මුදාහරින ලද මෙම මර්දනය රජයට විරුද්ධව ක්‍රියා කරන ලදී.” යනුවෙන් මහචාර්ය සිවතම්බි පවසයි.

“දෙමළ ජනයාගේ සංස්කෘතික ඝාතනයක්.” ලෙස මා.ක. ඊළවේන්දන් සඳහන් කරයි.

මහාචාර්ය සුනිල් ආරියරත්න, දෙමළ භාෂාව, කලාව, සංස්කෘතිය යන කරුණු සිංහල සමාජය වෙත රැගෙන ගිය සිංහල විද්වතුන්ගෙන් වැදගත් ස්ථානයක් හිමිකරගෙන සිටියි. යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිදාරියෙක් වන ඔහු පුස්තකාලය ගිනි තැබීම සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළේ ය.

“දෙමළ ජනයා සතුව අවුරුදු දහස් ගණනක අඛණ්ඩ ඉතිහාසයක් තියෙනවා. දැවැන්ත සාහිත්‍යයක් තියෙනවා. දුර්ලභ ගණයේ වටිනා පොත් තියෙනවා. අපි මූලික වශයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ පුස්තකාලය පරිහරණය කළා, ඊට අමතරව අපගේ වැඩි ඉගෙනීම සඳහා තමයි යාපනය ප්‍රධාන පුස්තකාලය පරිහරණය කළේ. ලෝකයේ කොතැනකවත් නොතිබුණු පොත්පත් ඉන්දියාවේවත් නොතිබුණු පොත්පත් මේ පුස්තකාලයේ සංරක්ෂණය වී තිබුණා. මේ පොත් පත් නැවත මොන තරම් මොනතරම් මුදලක් වැය කළත් හොයාගන්න බෑ. මේක හරියට පුරාණ ස්මාරක නටබුන් ගිනි තබනවා වගේ කටයුත්තක්.”

යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ කතිකාචාර්ය ස්වාමිනාදන් විමල් මෙසේ සඳහන් කළේ ය.

“යටත් විජිත කාලෙ පාවිච්චි කළ පොත් පත්, ඒ වගේම යාපනය තුළ කේන්ද්‍රීය වෙලා තිබුණ අධ්‍යාපන ආයතන ආශ්‍රිත පොත්පත්, විශේෂයෙන්ම යටත් විජිත සමයේ යාපනයේ ආරම්භ කරපු අධ්‍යාපනික ප්‍රබෝධයත් එක්ක ඇති වුණු සාහිත්‍යමය නිර්මාණ වැනි දේ ඉතා විශාල වශයෙන් එක් රැස්කර තිබූ තැනක් හැටියට තමයි යාපනය පුස්තකාලය වැදගත් වෙන්නේ. යාපනයට ආවේණික සංස්කෘතික සහ ඓතිහාසික ලේඛන එක් රැස් කරලා තිබුණ ස්ථානයක් හැටියටත් එය බොහෝ අයට වැදගත් වුණා.”

1. ආනන්ද කුමාරස්වාමිගේ අත්පිටපත්

2. ගරු. සි.වනසිංගම් ග්‍රන්ථ එකතුව (සියයකට ආසන්න ග්‍රන්ථ)

3. ගරු. අයිසාක් තම්බෛයාගේ ග්‍රන්ථ එකතුව (දහම්, උපදේශන ඇතුළුව ආසන්නව ග්‍රන්ථ 850 ක්)

4. ගරු. කදිරවේර්පිල්ලෛ ග්‍රන්ථ එකතුව (ග්‍රන්ථ 600කට ආසන්න ප්‍රමාණයක්)

5. පුස්කොළපොත් එකතුවක්

6. ඇමෙරිකානු පුස්තකාලය මඟින් පරිත්‍යාග කළ අනුශාසනා ග්‍රන්ථ එකතුව

මෙලෙස විනාශ වූ ග්‍රන්ථ අතර විය.

ලංකාවේ රාජ්‍ය ත්‍රස්තවාදය කාලයෙන් කාලයට දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයට ඍජුව හෝ වක්‍රව නායකත්වය ලබා දී ඇත. මීට පෙර ඇති වූ විශේෂයෙන් ම 1939, 1956, 1958, 1977 වැනි වර්ෂවල සිදු වූ දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයෙන් ඇති වූ විනාශයන් විවිධ කෝණයෙන් වර්ගීකරණය කරගත හැක. එහෙත් කිසිදු ආකාරයක සමාව දිය නොහැකි සහ අමතක කළ නොහැකි විනාශයක් ලෙස 1981 වසරේ සිදු වූ යාපන පුස්තකාල විනාශය හඳුන්වා දිය හැක.

ගනේෂලිංගම්ගේ කටඋත්තරය

දකුණු ආසියාවේ විශිෂ්ඨතම පුස්තකාලය ලෙසත් විශාලත්වයෙන් ලංකාවේ දෙවන පුස්තකාලයත් ලෙසත් යාපනය පුස්තකාලය හඳුන්වා දිය හැක.

යාපනය පුස්තකාලය ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙක් දඬුවම් ලබා නැත. කිසිවෙකුට එරෙහිව නඩු ගොනු කර නැත. එහෙත් 1993 වසරේ මාර්තු මාසයේ දී එකල ප්‍රකාශයට පත් වූිසරිනිගර්’ දෙමළ පුවත්පතට රාවය පුවත්පතෙහි කර්තෘ වික්ටර් අයිවන් ජාතික ගැටලුව සම්බන්ධයෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්නේ ය. එහි ඔහු එකල කොළඹ නගරාධිපති ලෙසත් එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික ලෙසත් කටයුතු කළ කේ.ගනේෂලිංගම් සමඟ මහ කොමසාරිස්වරයෙකුගේ නිවසේ දී හුවමාරු කරගත් දෙබසක් සම්බන්ධයෙන් පැවසුවේ මෙසේ යි.

“ඔහු හොඳින් මත් වී සිටියේ ය. ‘1981 දී යාපනය පුස්තකාලය ගිනි තියන්න ඔයත් මැතිව් වගේ අයට සහාය වුණා නේද?’ යනුවෙන් ඇසුවෙමි.”

ගනේෂලිංගම් - “ඒ දවස්වල අපි හොර ඡන්ද දාන්න ගිය එක තමා ඇත්ත කතාව.. මම හෝ සිරිල් මැතිව් හෝ ගාමිණි හේතුවක් නෙවෙයි. ඒක කළේ පොලිස් නිලධාරී හෙක්ටර් ගුණවර්ධන. අපි ඒකට බාධා කළේ නැහැ.”

අයිවන් - “83 කළු ජූලියට සිරිල් මැතිව් කෙළින් ම සම්බන්ධයි කියලා පිළිගන්නවා ද?”

ගනේෂලිංගම් - “1983 කළු ජූලියට මමත් සම්බන්ධයි. මම, සිරිල් මැතිව් විතරක් නෙවෙයි. රජයේ හිටපු හැම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් ම ඒ කාලය ගැළපෙන විදිහට භාවිත කළා. තමන්ට අවශ්‍ය දේවල් සිදු කරගත්තා. ගාමිණි, ලලිත්, මැතිව්, ප්‍රේමදාස යන හැමෝම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා. මේක මේ තරම් ලොකුවට යයි කියලා අපි කවුරුත් හිතුවේ නැහැ. සාමාන්‍ය කලබලයක් විදිහ අඩු වෙයි කියලා හිතුවා.”

අයිවන් - “මෙහෙම පහත් දෙයක් කරන්න, දෙමළ කෙනෙක් විදිහට කොහොමද උදව් කළේ.?”

“......”

ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේ ගාමිණි දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් රැගෙන ඒමට කටයුතු කළ අවස්ථාවේ දී, ජනාධිපති ප්‍රේමදාස මෙම සත්‍ය හෙළි කළේ ය. ගාමිණි දිසානායක විසින් යාපනය පුස්තකාලය ගිනි තැබීමේ සිද්ධියේ දී කටයුතු කළ ආකාරය එදින ජනාධිපති ප්‍රේමදාස වක්‍රව හෙළි කළේ ය.

පුත්තලම, මුස්ලිම් විද්‍යාලයේ ප්‍රේමදාස කතාවක් සිදු කරමින්,

“1981 වසරේ දී දිස්ත්‍රික් සභා මැතිවරණය පැවැති සමයේ පක්ෂයේ පිරිසක් අනෙක් පළාත්වල සිටින ආධාරකරුවන්ව රැගෙන උතුරට ගියා. උතුරේ මැතිවරණය පවත්වන්න බැරි විදිහට කලබල ඇති කළා. යාපනය පුස්තකාලයේ මිල නියම කරන්න බැරි පොත් ටිකට ගිනි තිබ්වේ කවුද කියලා දැනගන්න ඕනේ නම්, අද මට විරුද්ධව වැඩ කරන අය දිහා බලන්න.” යනුවෙන් පැවසුවේ ය. 

එම කාලයේ දී ඔහුට විරුද්ධව සිටියේ වෙනත් කිසිවෙකු නොව ගාමිණි දිසානායකගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම යි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ගාමිණි දිසානායක සත්‍ය වසන් කරන අයුරින් ලියන ලද ලිපියට ජනාධිපති ප්‍රේමදාස පිළිතුරු ලියා ඇත. එය 1991 වසරේ ඔක්තෝබර් මස 26 වනදා නිකුත් වූ ඊළනාඩු පුවත්පතේ මෙලෙස පළ වී තිබුණි.

“උතුරු - නැගෙනහිර ප්‍රදේශවල වත්මන් තත්ත්වය ඇති කිරීමට හේතු වූයේ කවුරුන් ද? ඊට ප්‍රධාන හේතුව වන ගරු. ගාමිණි දිසානායක විසින් මීට වසර දහයකට පෙර 1981 වසරේ දී සිදු කළ ක්‍රියාවල ප්‍රතිවිපාක හේතුවෙන් මෙරට සමාජ අතර විරසකයන් ඇති කරනු ලැබූවා. දිස්ත්‍රික් සභා ක්‍රමයට පාර්ලිමේන්තුවේ දී ගාමිණි දිසානායක දැඩි ලෙස විරුද්ධ වුණා. මැතිවරණය පෙර ආධාරකරුවන් රැගෙන උතුරට ගියා.

දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයේ දී විනාශකාරී සිදුවීම් ඇති කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර පුස්තකාලයක් වූ යාපනය පුස්තකාලයට ගිනි තැබුවා. ඡන්ද පත්‍රිකා තුළින් යුක්තිය ලබා ගැනීමට අපගේ නායකයන්ට නොහැකි වූ නිසා අපි බෝම්බ තුළින් යුක්තිය ලබා ගනිමු යැයි තරුණ දෙමළ සටන්කාමීන් හිතුවා. මෙහෙමයි ඔවුන් ත්‍රස්තවාදීන් බවට පත් වුණේ.”

විනාශයේ උච්චතම අවස්ථාව

පසුගිය 2016 වසරේ දෙසැම්බර් 06 වනදා යාපනය පුස්තකාලයට ගිනි තැබීම සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව රනිල් වික්‍රමසිංහ සමාව ගත්තේ ය. එහෙත් ඔහුගේ කතාවේ දෙබිඩි අදහසක් ගැබ් ව තිබූ බව හැඟේ.

“යාපනය පුස්තකාලයට ගිනි තිබ්බ එක ලොකු වරදක් කියන එක රහසක් නෙවෙයි. කිහිප දෙනෙක් සිදු කළ අපරාධයක් නිසා රට ම අවමානයට ලක් වුණා. යාපනය පුස්තකාලයට ගිනි තැබීම දෙමළ ජනයාගේ හදවතට ගහපු පහරක්. නමුත් මේ වෙද්දී ඒ තුවාල සුවවෙලා තියෙනවා. මේ සිද්ධියෙන් ඇති වූ යුද්ධය නිසා සිංහල ජනතාව කොයි තරම් වන්දි ගෙව්වා ද? ඊට පස්සේ දහස් ගණනක් ජනයා ඝාතනයට ලක් වුණා. මේ විදිහට මැරුණ අයගෙන් කවුද සමාව ගන්නේ.? මේ ගිනි තැබීම සම්බන්ධයෙන් එකල නියෝජ්‍ය පොලිස්පති ලෙස සිටි එඞ්වඞ් ගුණවර්ධන විසින් සකස් කළ රහස් වාර්තාවක මෙම ගිනි තැබීම සිදු කළේ, දෙමළ විමුක්ති කොටි සංවිධානය විසින් බවත්, ඊට ප්‍රභාකරන් අණ කළ බවත් සඳහන් කර ඇත. යාපනය ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර අනුකම්පාව ලබා ගැනීම සඳහා මෙම ක්‍රියාව සිදු කළ බව එම වාර්තාවේ දක්වා ඇත.”

ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමාව ඉල්ලා නැවතත් එයා ඉල්ලා අස්කරගෙන ඇති බවට අවබෝධ කරගත හැක. යාපනය පුස්තකාලය ගිනි තබන විට රනිල් වික්‍රමසිංහ එම ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් බවට අපට අමතක වී ගොසින් ද?

ඔහු නිදසුනක් ලෙස පෙන්වන ලද එඞ්වඞ් ගුණවර්ධනගේ කතාවට සිංහල මාධ්‍ය විසින් විශාල ආවරණයක් ලබා දීමට කටයුතු කළහ. යාපන පුස්තකාලය ගිනි තැබූවේ සිංහල පිරිස් බව පිළිගත් සිංහල ජාතිවාදී සංවිධාන පවා එඞ්වස් ගුණවර්ධන ව සාක්ෂියක් කරගනිමින් තම අතෙහි වූ රුධිර පැල්ලම් සෝදා හැරීමට උත්සහා කළහ. එනිසා එඞ්වඞ් ගුණවර්ධන යනු කවුරුන් ද, ඔහු කීමට උත්සහ කළේ කුමක් ද යන්න විමසා බැලිය යුතු යි.


හිටපු නියෝජ්‍ය පොලිස්පති එඞ්වඞ් ගුණවර්ධන 2013 වසරේ දී පිටු 390 කින් සමන්විත ‘යාපනය පුස්තකාලය ගිනි තැබීම් ඇතුළු අමතක කළ නොහැකි සටහන්’ (Memorable Tidbits Including the Jaffna Library Fire)  නම් පොතක් ප්‍රකාශයට පත් කළේ ය. මෙම පොතෙහි එළිදැක්වීමේ උත්සවය 2013 වසරේ ජනවාරි මස 19 වනදා කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්විණි. බොහෝ වියතුන් ඊට සහභාගී විය. එහි ප්‍රධාන කථිකයා ලෙස ආරාධනා ලැබ සිටියේ, මහාචාර්ය කාලෝ ෆොන්සේකා ය. ඔහු ලංකා සමසමාජ පක්ෂයේ නායකයන් අතරින් කෙනෙක් බව ද මෙහි දී සිහිපත් කළ යුතුය. බොහෝ කාලයක් පුරා දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීම් සඳහා සහය පළ කළ අයෙකි.

මෙහි දී ඔහු සිදු කළ දේශනයේ දී ඔහු ප්‍රකාශ කළ අදහස් පහත දැක්වේ.

“එඞ්වඞ් ගුණවර්ධන අපරාධ විද්‍යාව සම්බන්ධයෙන් උපාධිධාරීයෙකි. ඔහු තමන් විසින් එක්රැස් කරනු ලැබූ සාක්ෂි ලෙස දක්වමින් යාපනය පුස්තකාලය ගිනි තැබූවේ කොටි සංවිධානය බව කියයි. යාපනය පුස්තකාලය ගිනි තැඹූවේ සිංහලයන් බව කීම සිංහලයන් තිරිසන් බව ලෝකයාට හැඟවීමට ගොතන ලද කතාවකි. මුළු ලොවම කොටි සංවිධානය විසින් සිදු කරනු ලැබූ ප්‍රචාරය විශ්වාස කළහ. මම එකල උග්‍ර ආණ්ඩු විරෝධීයෙකු ලෙස සිටියෙමි. යාපනය පුස්තකාලය ගිනි තැබීම පිටුපස ගාමිණි දිසානායක සිටි බවට මම ද විශ්වාස කළෙමි. 1994 වසරේ ජනාධිපතිවරණ රැස්වීම් වේදීකාවල ගාමිණි දිසානායකට විරුද්ධව කතා කළෙමි. එඞ්වඞ් ගුණවර්ධනගේ මේ පොත කියවන තෙක් යාපනය පුස්තකාලය ගිනි තැබූවේ ගාමිණි දිසානායක බව තරයේ විශ්වාස කරමින් සිටියෙමි.

1993 වසරේ දී යාපනය පුස්තකාලය සම්බන්ධයෙන් ලියැවුණ “murder” නමැති කවියක් කියෙව්වෙමි. එය Ceylon Medical Journal හි එය පළ කර තිබුණි. එය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය එම්.ඒ නුහ්මාන් විසින් ලියන ලද කවියේ ඉංග්‍රීසි පරිවර්තනයකි. එම කවිය මා තුළ දැඩි බලපෑමක් එල්ල කරනු ලැබීය (එලෙස පවසමින් එහි ඉංග්‍රීසි පරිවර්තිත කවිය කියෙව්වේ ය)

එම කවිය මගේ මව් බස වන සිංහලයට නැගුවෙමි. 1994 වසරේ මැතිවරණ ප්‍රචාරණයේ දී ගාමිණි දිසානායකට විරුද්ධව චන්ද්‍රකා කුමාරතුංගට පක්ෂපාතීව කටයුතු කළෙමි. අවම වශයෙන් මැතිවරණ රැළි 30කට වඩා අමතා ඇත්තෙමි. කථාව අවසානයේ දී මා විසින් පරිවර්තනය කළ සිංහල කවිය ද කියෙව්වෙමි. (සිංහල කවිය කියයි) මෙවැනි විනාශකාරී ක්‍රියාවකට සම්බන්ධ ගාමිණි දිසානායක ජනාධිපති ලෙස පත් නොවිය යුතු යැයි කියූ විට ජනතාව ‘ජයවේවා.. ජයවේවා..’ යනුවෙන් ඝෝෂා කළහ.

1994 වසරේ ඔක්තෝබර් මස 23 වනදා අපගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු බේරුවලින් ආරම්භ වී පයාගල, වාද්දුව, පානදුර, මොරටුව, කිරුළපන පැවැත්වුණි. එම සෑම ස්ථානයක ම මෙම කවිය කියෙව්වෙමි. එදින නිදාගෙන සිටි මා අවදි කර ‘ගාමිණි දිසානායක, පෑළියගොඩ සිදු වූ බෝම්බ පිපිරීමකින් මිය ගිය’ බවට වන පුවත ඇතැමෙක් පැවසූහ. එය ඇසූ මා බෙහෙවින් දුකට පත් වුණෙමි. ගාමිණි දිසානායක ව මා පෞද්ගලිකව හඳුනමි. ඔහු යහපත් අයෙකි. මට විරුද්ධව වචනයක් හෝ ඔහු කියා නැත. අපගේ දේශපාලන මතවාද වෙනස් වුව ද ඔහු කවදත් මට ගරු කළේ ය.

එඞ්වඞ් ගුණවර්ධනගේ පොත කියවීමෙන් අනතුරුව මා සිදු කර ඇත්තේ කොපමණ විශාල වරදක් දැයි මට අවබෝධ විය.  ඊට ප්‍රතිකර්මයක් ලෙසින් ශ්‍රීමා දිසානායක, නවින් දිසානායක සහ ලංකා දිසානායක යන අයගෙන් සමාව අයැද සිටිමි. 

ගරු. නවින් දිසානායක, කුරුසියේ ඇණ ගැසු අයට ජේසුස් වහන්සේ කරුණාව දැක්වූ අකාරයට මට කරුණා කළ හැක. “පියාණෙනි, ඔහු නොදැන කළ වරදට සමාව දෙනු මැන.” මෙලෙස කොන්දේසි විරහිතව සමාව ඉල්ලීමට අවස්ථාවක් ලබා දුන් එඞ්වඞ් ගුණවර්ධනට මාගේ ස්තූතිය පුද කරමි”

2019 වසරේ දී කාලෝ ෆෝන්සේකා අභාවප්‍රාප්ත විය. එහෙත් ඔවුන් වැනි අයෙකු සිදු කළ මෙම ක්‍රියාවෙන් සිංහල ජනයා තුළ තවදුරටත් මෙම ප්‍රකාශය ප්‍රාණවත් විය. පළමුව වැරදිකරුවන් ව මුදවා ගැනීම යි. දෙවැන්න යාපනය පුස්තකාලය ගිනි තැබීමේ වරද දෙමළ පාර්ශවය පිට පැටවීම යි. කාලෝ ෆොන්සේකා මෙය පවසන අවස්ථාවේ දී ඔහු රාජපක්ෂවාදීයෙකු ලෙස වෙනස් වී සිටියේ ය.

සිංහල සහ ඉංග්‍රිසී පුවත්පත් ඔහුගේ ප්‍රකාශයට ප්‍රමුඛස්ථානයක් ලබා දෙමින් ඊට පසු දින ම පුවත් පළ කළහ. රජපක්ෂවාදීන් විසින් පවත්වාගෙන යන ලද ‘ද නේෂන්’ පුවත් පතෙහි ‘හෘදසාක්ෂියක් සහිත මිනිසා’ යනුවෙන් කතුවැකිය ලියා තිබේ. එහෙත් යාපනය පුස්තකාලයට ගිනි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකු වන පොලිස්පතිවරයා එම සිදුවීම සම්බන්ධයෙන් වාර්තා සකස් කිරීම කෙලෙස පිළිගත හැකි ද? යනුවෙන් සන්ඬේ ටයිම්ස් පුවත්පතට ලිපියක් ලියමින් දෙමළ ජාතිකයෙකු නොවන හෘදසාක්ෂියක් සහිත විශ්‍රාමික පොලිස් අධිකාරිවරයෙකු වූ ටාසි සෙනෙවිරත්න ප්‍රශ්න කර සිටියේ ය.

ටාසි සෙනෙවිතරන්ගේ ලිපියෙන් අනතුරුව එකල පොලිස් නිලධාරියෙකු මෙන්ම මේ වන  ඕස්ටේ්‍රලියාවේ පදිංචිව සිටින මෙම සිදුවීම ඇසින් දුටු විශේෂ සාක්ෂිකරුවෙකු විසින් එඞ්වඞ් ගුණවර්ධන වෙත විශේෂ ලිපියක් යොමු කළේ ය. එම ලිපිය මෑතක දී මාධ්‍යවල පළ විය. යාපනය පුස්තකාලය ගිනි තැබීම සම්බන්ධයෙන් එය සුවිශේෂි ලිපියකි.

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එඞ්වඞ් ගුණවර්ධන

පිළිතුර - යාපනය පුස්තකාල ගිනි තැබීම

ක්‍රිෂ්ණදාසන් වන මා  1967 වසරේ ජූනි මස සිට 1986 වසරේ දෙසැම්බර් දක්වා ලංකා පොලිසියේ සේවය කළෙමි. ඕස්ටේ්‍රලියාවට පැමිණ මම මගේ පවුලේ අයත් සමඟ සතුටින් ජීවත් වෙමි. මගේ රාජකාරි සමයේ දී ඔබගේ යටතේ සේවය කිරීමට අවස්ථාවක් ලැබී නැත. පොලිස් පුහුණුව ලබන අවස්ථාවේ දී එනම් 1967 ජූනි සිට දෙසැම්බර් දක්වා කාලයේ දී අපගේ ඒ.ඩී.ටී ලෙස ඔබ රාජකාරිය කර ඇත. ඉන් අනතුරුව මා මාතර ප්‍රදේශයේ මගේ සේවා කාලය ආරම්භ කළෙමි. අවසානයේ දී 1983 වසරේ අගෝස්තු සිට 1986 වසරේ මාර්තු දක්වා මම මඩකලපුවේ සේවය කළෙමි. ඉන් අනතුරුව මම ඕස්ටේ්‍රලියාවට පැමිණීමට පෙර ඔබ පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කරන කාලයේ දී මම ද එහි සේවය කළෙමි. මම ද ඔබ මෙන් ශාන්ත ජෝශෆ් විද්‍යාලයේ ආදි සිසුවෙකි.

මෑතක දී ලංකාවේ පුවත්පතක පළ වූ විශ්‍රාමික එස්.එස්.පී ගරු. ටාසි සෙනෙවිරත්නගේ ලිපියට සම්බන්ධ අදහස් දැක්වීමක් ලෙස මෙම ලිපිය ලියමි. ටාසි සෙනෙවිරත්න මගේ හොඳ මිත්‍රයෙකි. ඔහු මේ වනවිට සිඞ්නි හි නිවාඩුව ගත කරමින් සිටියි. යාපනය පුස්තකාලය ගිනි තැබූ අවස්ථාවේ දී මා ද එහි සාක්ෂිකරුවෙකු වූ බැවින්, ඒ සම්බන්ධයෙන් ඔබගේ පොත එළිදක්වන අවස්ථාවේ දී සාකච්ඡා වූ කරුණුවල පිළිතුරු ලබා දෙන ලෙස ඔහු මගෙන් ඉල්ලීමක් කළේ ය. පුස්තකාලය ගිනි තැබූ අවස්ථාව ඇසින් දුටු සාක්ෂිකරුවෙකු ලෙස ඔබ හා සම්බන්ධ වීමට කැමැත්තෙමි.

1980 වසරේ ජනවාරි සිට 1982 වසරේ දෙසැම්බර් දක්වා, යාපනය අපරාධ අංශ භාර පොලිස් නිලධාරියා ලෙස මම කටයුතු කළ අතර යාපනය කොට්ඨාස පොලිස් අධිකාරිවරයා යටතේ මම සේවය කළෙමි. එකල යාපනය පොලිස් ස්ථානයේ දෙවන ජ්‍යෙෂ්ඨ නිලධාරිය ලෙස ද මම කටයුතු කළෙමි. මගේ උසස් නිලධාරියා ලෙස ලලිත් ගුණසේකර කටයුතු කළේ ය.

මම 1981 වසරේ මැයි මස 31 වනදා රාත්‍රි 7.30ට පමණ යාපන පොලිස් දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති මහේන්ද්‍රන් සමඟ සිටියෙමි. එවිට යාපනය පුස්තකාලය දෙසින් විශාල දුමාරයක් අපට දැකගත හැකි විය. යාපනය පුස්තකාලය ගිනි ගන්නා බවට අපට පැහැදිලි විය. පොලිස් නිලධාරීන් සමඟ එම ස්ථානයට යන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා මා හට නියෝග කළේ ය. 

පොලිස් ස්ථානයේ සිට යාර 250ක දුරින් පිහිටා තිබූ පුස්තකාලය වෙත එක් උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ කොස්තාපල්වරුන් දස දෙනෙකු සමඟ අපි පිටත් වුණෙමු. එම ස්ථානයට ගිය විට හමුදා නිල ඇඳුමින් සැරසුණු විසි දෙනෙකු එහි තුළ සිටිනවා අපි දුටුවෙමු. ඔවුහු තෙල් වත්කරමින් ගිනි අවුළුවමින් සිටියහ. පොත් රාක්කවලින් පොත් රැගෙන ගිනි ගොඩට දමමින් සිටියහ. අපව දුටු එම හමුදා නිලධාරීන්ගෙන් කිහිප දෙනෙක් අප අසලට පැමිණ, ඒ.කේ 47 වර්ගයේ තුවක්කු පෙන්වා තර්ජනය කර නැවත පොලිස් ස්ථානය බලා යන ලෙස සිංහල බසින් තර්ජනය කළහ. මම පොලිස් අධිකාරිවරයාට තත්ත්වය පැහැදිලි කළෙමි. ඔහු ද අපට නැවත එන ලෙස අණ කළේ ය. අප පොලිසිය බලා ගමන් ආරම්භ කළ වෙලාවේ පුස්තකාල ගොඩනැගිල්ලේ ගින්න විශාල ලෙස පැතිරමින් තිබුණි.

පොලිස්පතිවරයා යාපනය හමුදා මූලස්ථානයේ උසස් නිලධාරීයාට ඇමතුමක් ගත්ත ද ඉන් කිසිදු ප්‍රයෝජනයක් නොවීය. එහි පැවැති තත්ත්වය හේතුවෙන් හමුදාවට විරුද්ධව කිසිවක් කළ නොහැකි තත්ත්වයේ අපි පසු වුණෙමු. සියල්ල දුටුවත් කිසිවක් කළ නොහැකි පුද්ගලයෙකු ලෙස සිටින්නට මට සිදු විය. එදින මා දුටු කිසිවක් මට අමතක කළ නොහැක. ඒවා මගේ ජීවිත කාලය පුරාවට මා සමඟ ඇති මතකයන් ය. පොලිස් ස්ථානයට පැමිණි මම එක් සටහනක් ලියා තැබුවෙමි. පොලිස්පති මහේන්ද්‍රන් ද සටහනක් තැබූවේ ය.

අවාසනාවන්ත ලෙස මහේන්ද්‍රන් අද වනවිට ජීවතුන් අතර නැත. ඔහු සිටියේ නම් මා වෙනුවෙන් ඔහු ද කතා කරනු ඇත. එහෙත් මහේන්ද්‍රන් මහත්මිය සිඞ්නි හි ජීවත් වෙයි. අවශ්‍ය නම් මහේන්ද්‍රන් මේ සම්බන්ධයෙන් පවසා ඇති දෑ සම්බන්ධයෙන් ඇයගෙන් අසා දැනගත හැක.

කරුණාකර ටාසි සෙනෙවිරත්න විසින් සම්පාදනය කර ඇති ලිපිය කියවන්න. යාපනය පුස්තකාලය ගිනි ගත් ආකාරය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් විශ්‍රාමික පොලිස්පති සී.එල්. රත්නායකගෙන් (මා සමඟ එකට පුහුණුව ලැබු අයෙක්) අසා දැනගත හැක.

මා දුටුවේ කුමක් ද, කවුරුන්ද යන්න වාර්තාවක් ලෙස ලියා තැබුවෙමි. ගිනි ඇවිලෙමින් තිබිය දී මම එහි ගොස් නිරීක්ෂණය කළෙමි.

මෑතක දී ඔබගේ ග්‍රන්ථය වන “යාපනය පුස්තකාලය ගිනි තැබීම සහ අමතක කළ නොහැකි සටහන්” යන ග්‍රන්ථය කියවීමට මට අවස්ථාවක් ලැබුණි. දෙමළ ජනයා අතර තිබූ කුල ගැටුම හේතුවෙන් කොටි සංවිධානය විසින් යාපනය පුස්තකාලය ගිනි තැබූ බව ඔබ එහි සඳහන් කර ඇත.

රජය සහ හමුදාව මීට ඈඳා ගැනීම සඳහා කොටි සංවිධානය විසින් යාපනය පුස්තකාල ගොඩනැගිල්ලට ගිනි තැබීමට අවස්ථාවක් නොමැත. තව ද යාපන පුස්තකාලය දෙමළ ජනයා සඳහා පමණක් නොව රටේ සෑම කෙනෙකුට ම පොදු එකක් ලෙස පිහිටා තිබූණි. යාපනය පුස්තකාලයට ගිනි තැබීම අද ඓතිහාසික සිදුවීමක් වී ඇත. එමෙන් ම එය කළේ කවුරුන් ද යන්නත් බුද්ධිමත් මිනිස්සු දනිති.

යාපනය පුස්තකාලය ගිනි තැබීම පිටුපස තිබෙන සත්‍ය සොයාගැනීම සඳහා රජය විසින් උසස් විනිසුරු මඩුල්ලකින් සමන්විත කොමිසමක් පත් කිරීමට වඩාත් සුදුසු කාලය මෙය බව මට හැඟේ.

අපක්ෂපාතී විමර්ශනයකින් තොරව සත්‍ය හඳුනාගැනීමට නොහැක. ඊට සම්බන්ධ වූවන් සියලු දෙනාගේ ම ප්‍රකාශ ලබා ගනිමින්, ඒවා අපක්ෂපාතී කරුණු නැවත විමර්ශනය කර සත්‍ය සොයා ගැනීම තවමත් සිදු වී නැත.

ඔබගේ කරුණු මේ වනවිට සමාජ ගත වී ඇති බැවින්, ඔබෙන් පහත කරුණු සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ කැමැත්තෙන් මම පසුවෙමි.

1. පොලිස් රාජකාරිය සඳහා හෝ රජයේ මැතිවරණ රාජකාරි සඳහා ජනාධිපති ජයවර්ධන ඔබ ව විශේෂ රාජකාරියකට ඔබව පිටත් කළේ ද?

2. ඔබ පොලිස් රාජකාරිය සඳහා එහි පැමිණියා නම් එම විශේෂ කාර්ය සම්බන්ධයෙන් යාපනය භාර නියෝජ්‍ය පොලිස්පතිව සහ පොලිස් ස්ථානයේ සිටි නිලධාරීන් හමු නොවූයේ මන්ද? ඔවුන්ට තත්ත්වය පැහැදිලි නොකළේ මන්ද? එසේ නොමැති නම් ඔබට ලබා දුන් රාජකාරිය රහසිගත මෙහෙයුමක් ද? එහි අනෙක් අය දුටු දේවල් ඔබ නොදුටුවේ කිම ද? යාපනය පොලිස් වසම තුළ සිදුවීම සිදු වූ ස්ථානයේ මම ඔබව නොදුටු බව ද පැවසීමට කැමැත්තෙමි.

03. ඔබ පවසන පොලිස් පරීක්ෂක සත්‍යන් හැර ඔබ සමඟ සිටි වෙනත් පොලිස් නිලධාරින් ඔබ සමඟ රාජකාරියේ නිරත ව සිටියේ ද? එසේ රාජකාරියේ නිරත ව සිටියේ නම් ඔවුහු කවුරහු ද?

4. යාපන පුස්තකාල ගිනි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ව හමු වී පැහැදිලිව පැවසීමට ඔබට බාධාවක් වූ කාරණය කුමක් ද? එම කණ්ඩායම යාපනය වෙත එවා තිබුණේ ජනාධිපතිගේ අණ පරිදි නොවේ ද?

5. ඔබ පොලිස්පතිවරයා හෝ ජනාධිපතිවරයා වෙත ලබා දුන් බව කියන වාර්තාවේ ඔබගේ යාපනය විශේෂ රාජකාරිය සම්බන්ධයෙන් වන තොරතුරු ඇතුළත් කර තිබේ ද?

මා මෙපමණ කාලයක් නිහඬව සිටිය හේතුවත් මෙහි දී පැහැදිලි කළ යුතු යැයි සිතමි.

DIG/NR වාර්තාවේ මා මෙපමණ කාලයක් ප්‍රසිද්ධ නොකර සිටි හේතුව ද මෙහි දී පැවසිය යුතුය.

හමුදා ක්‍රියාකරකම් අධික වූ රටක හමුදාවට චෝදනා නගන ආකාරයේ විස්තර ලබා දීම සියදිවි නසාගැනීමක් හා සමානය. තව ද මා ඕස්ටේ්‍රලියාවේ පදිංචි ව සිටිය ද, නිතර ලංකාවට පැමිණ ඇත්තෙමි. අවසන් වරට 67 වන පොලිස් කණ්ඩායම් හමුව සඳහා ද 2014 වසරේ දී ලංකාවට පැමිණියෙමි.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අරමුණින් සිටින අයට පෞද්ගලිකව මා දුටු සත්‍ය පවසා ඇත්තෙමි.

පසුගිය ජනාධිපතිවරණයෙන් අනතුරුව තත්ත්වය වෙනස් වී ඇත. එම නිසා මම ඔබට ලියමි. ඒ, එම සිදුවීමේ සියලු තොරතුරු නොබියව පැවසීමට හැකි වීම හේතුවෙනි.

මා ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින මෙම තොරතුරු ලබා දීමට ඔබ කටයුතු කරන්නේ නම් මම ඔබට කෘතඥ වෙමි.

මීට විශ්වාසී

ක්‍රිෂ් ක්‍රිෂ්ණදාසන්

දැඩි අභියෝගයක් වූ මෙම පැනයන් සම්පූර්ණයෙන් ම ඩී.පී.එස් ජෙයරාජ්ගේ වෙබ් අඩවියේ පළ වී තිබූණි. මෙය ඔහු කොහෙන් ලබා ගත්තේ ද? ඔහු වෙත එවන ලද්දක් ද? එසේ නොමැති නම් වෙනත් තැනක තිබී උපුටා ගත්තා ද? යන්න එහි සඳහන් කර තිබුණේ නැත. එහෙත් එම වෙබ් අඩවිය ලංකාව සම්බන්ධයෙන් වැදගත් කරුණු හෙළිදරව් කළ ඉංග්‍රීසි වෙබ් අඩවියක් වන බැවින් මෙය බොහෝ දෙනෙකු අතරට ගොස් ඇතැයි සිතිය හැක. මෙම පැනයන් මාධ්‍ය විසින් සමාජ ගත කරනු ලැබුවේ 2005 වසරේ පෙබරවාරි 25 වනදායි. මෙපමණ කාලයක් ගත වී තිබුණ ද ක්‍රිෂ්ණදාසන් ඇසු කිසිදු පැනයකට ගුණවර්ධන පාර්ශවයෙන් පිළිතුරු ලබා දී නැත.

යාපනය පුස්තකාලය ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙමළ බසින් පමණක් පහකට අධික පොත් සංඛ්‍යාවක් රචනා වී ඇති අතර සිංහල බසින් ලියැවී ඇත්තේ පොත් දෙකක් පමණයි. ඉන් එකක් එඞ්වඞ් ගුණවර්ධන විසින් රචනා කරන ලදි. අනෙක් ග්‍රන්ථය සඳරැසි සුදුසිංහ විසින් රචනා කරන ලද ‘ගිනි වැදුණු පියාපත්’ කෘතියයි. මෙම ග්‍රන්ථය තුළින් රජය සහ දේශපාලනඥයන් එම සිදු වීමේ චූදිතයන් කර ඇත.

එහෙත් සිංහල ජාතිකවාදී සමාජය තුළ එඞ්වඞ් ගුණවර්ධන විසින් රචිත කෘතිය ඉමහත් ජනප්‍රියත්වයක් ලබා තිබේ. ඊට අනුව යාපනය පුස්තකාලය ප්‍රභාකරන්ගේ අණ පරිදි විමුක්ති කොටි සංවිධානය විසින් ගිනි තැබූ බවට ඇතැම් පිරිස් සමාජ ගත කරමින් සිටින ආකාරය ද දැකිය හැක.

අනන්‍යතා විනාශයේ උච්චතම අවස්ථාව


මෙම ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සිරිල් මැතිව් වීරයෙකු ලෙස අද දක්වාම සිංහල ජාතිවාදීන්ගේ ගෞරවයට පාත්‍ර වෙමින් සිටියි. ගාමිණි දිසානායක ව බේරා ගැනීමටත් ඇතැම් අය බොහෝ උත්සහ දරති. 1981 වසරේ දී සිරිල් මැතිව්ගේ ක්‍රියා කලාපය නොදුටුවා සේ සිටීම, 1983 වසරේ දී දෙමළ විරෝධි ප්‍රචණ්ඩත්වය ඇති කිරීම තමන්ට ලද වරප්‍රසාදයක් ලෙස ඔහු භාවිත කළේ ය. ප්‍රේමදාස වැනි අයගේ විරෝධය හමුවේ ඔහුව තත්ත්වයෙන් පහ කිරීම වෙනත් අතුරු කතාවකි. සත්‍යය වන්නේ සිරිල් මැතිව් ව ඉවත් කිරීමට කවුරුත් ඉදිරිපත් වූයේ නැති අතර ඔහු ම ඉවත් වීම යි. 

ජාත්‍යන්තර මානව හිමිකම් නිරීක්ෂණ සංවිධානයේ සභාපති Orville H. Schel ගේ නායකත්වයෙන් යුත් සත්‍ය සෙවීමේ කණ්ඩායමක් පුස්තකාලය ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා 1982 වසරේ දී පැමිණියහ. Orville H. Schel  එකල ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ සභාපති ධූරයේ ද කටයුතු කළේ ය. එක්සත් ජාතික පක්ෂ රජය විසින් පක්ෂපාතීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයවා ඇති බවටත්, ස්වාධීන පරීක්ෂණයක් සිදු කර නොමැති බවටත් ඔහු චෝදනා කළේ ය. 1982 මැයි සහ ජූනි මස සිදු වූ විනාශයට හේතුව කවුරුන් දැයි පැවසීමට රජය සූදානමින් නොසිටි බව ද ඔහු පැවසුවේ ය. 

යාපනය පුස්තකාලය ප්‍රතිසංස්කරණය කර නැවත දෙමළ ජනයා වෙත භාර දුන් බව ලංකා රජය සිය දෑත් පිරිසිදු කරගත්තේ ය. එහෙත් විනාශව ගිය දෙමළ ජනයාගේ විශ්වාසය නැවත ලබා දීමට හැකි වූයේ නැත. එය ඉන්පසුව සිදු වූ විනාශයන්ට මූලික විය. එක් අරගලයක බීජයක් බවට පත් විය. එය තම දෛවය තීරණය කළ බීජයක් විය.

යාපනය පුස්තකාලය ගිනි තැබීම අනන්‍යතා විනාශයේ උච්චතම අවස්ථාවක් විය.

මෙම රාජ්‍ය ත්‍රස්තවාදයට එක් ආකාරයක හේතුවක් වූ ජනාධිපති ජේ.ආර් ජයවර්ධන රොටරි සමාජයේ පැවැති උත්සවයක දී සිදු කළ කතාවක් මෙසේ පවසා ඇත.

“යාපනය පුස්තකාලය මගේ දේශපාලන ජීවිතයේ අත්තිවාරමක් වුණා...” (1982 ජුනි 11 වීරකේසරි පුවත්පත)