කුට්ටිමනී සහ තංගදුරෛ විත්ති කූඩුවේ සිට කළ ප්‍රකාශ

1981 වසරේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවත් සිව් දෙනෙක් සමඟ නඩරාජා තං‍ගවේලු හෙවත් තංගදුරෙයි සහ සෙල්වරාජා යෝගචන්ද්‍රන් හෙවත් කුට්ටිමනී අත් අඩංගුවට ගන්නා ලදී. 1983 වසරේ පෙබරවාරි මස දී අධිකරණය විසින් ඔවුන් සියලු දෙනාට බරපතල වැඩ සහිත ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන ලදී. 

1983 වසරේ ජූලි මස දියත් වූ දෙමළ විරෝධී ජූලි සහාරය සමඟ වැලිකඩ බන්ධනාගාරයේ සිංහල සිරකරුවන් විසින් බන්ධනාගාර නිලධාරීන්ගේ ආධාර ඇතිව දෙමළ සිරකරුවන් 54 දෙනෙක් ඝාතනය කළ අතර, තංගදුරෙයි සහ කුට්ටිමනී ද ඒ අතර වූහ. 


පහත පළ වන්නේ අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තංගදුරෛ සහ කුට්ටිමනී විසින් විත්ති කූඩුවේ සිට කළ ප්‍රකාශ ය. සමානාත්මතාවයත් යහපත් ගෞරවණීය ජීවිතයකුත් සඳහා, දෙමළ ජනයාට එරෙහි රාජ්‍ය මර්දනයට එරෙහිව නැඟී සිටි ඒ මිනිසුන් ගැන සිංහල අපේ පරිකල්පිතයන් ඉරි තලන මේ ප්‍රකාශ, ඔවුන් මරා දමා වසර 39ක් ඉක්මෙන තැන් හි හෝ කියවා ගත යුතු ය. 


'සත්‍යය වෙනුවෙන් පෙනී සිටීමට වේදිකා සහ ආලෝක දහරා ඇවැසි නොවේ'

-තංගදුරෙයි -
තංගදුරෙයි

(මෙය මුල් වරට 2015 ජූලි 29 දින JDS වෙබ් අඩවියේ පළ විය.)

අපි දැනටමත් අපව විමර්ශනයකට ලක් කිරීම ගැන ශ්‍රී ලංකා අධිකරණය වෙත විරෝධය පළ කර ඇත්තෙමු. අපගේ විරෝධය නොතකා අපට එරෙහිව නඩුවක් පටලවා  ඇති අතර එය මේ වනවිටත් ආසන්න වශයෙන් මාස 04ක් තිස්සේ ඇදී යයි. යම් නිශ්චිත හේතුන් මත අපට අධිකරණ ක්‍රියාවලියට සහභාගීවීමට සිදු විය. අපගේ නීතිඥවරයාගේ හරස් ප්‍රශ්න කිරීම් හමුවේ ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් විසින් ගසන ලද  කරණම් මඟින් ද,  ඔහු විසින් ඉදිරිපත් කරන ලද නීතිමය තර්ක මඟින් ද, අප විසින් ඉදිරිපත් කරනු ලැබූ සාක්ෂි මඟින්ද, අපහට පූර්ව සැළසුම්වලට අනුව නන්විධ වධබන්ධන පමුණුවා ඇති බවත්, දැනටමත් පූර්ණ වශයෙන්ම පෙන්වා දී තිබේ.

බ්‍රිතාන්‍ය පාලනය දෙමළ ජනයාගේ ඉරණම සිංහල දේශපාලනඥයන් පිරිසක් අතට පත් කරන අවස්ථාවේ දෙමළ ජනයා තමන්ගේම නිදහසක් උදෙසා ඉල්ලීම් ඉදිරිපත් නොකළහ. කිසි විටෙකත් තමන් මේ රටේ දෙවන පෙළ පුරවැසියන් පිරිසක් බවට පත් කරනු ඇතැයි දෙමළ ජනයා කිසිකලෙකත් සැක නොකළහ.

නමුත් දිවැසි දැක්මක් තිබූ සමහර දෙමළ නායකයෝ දෙමළ ජනතාව සඳහා විශාල නියෝජනයක් ඉල්ලා සිටියහ. පසුකාලීනව සිදු වූ කඳුරට දෙමළ ජනතාවගේ පුරවැසි අයිතීන් අහිමිකරලීමේ සිදුවීම මඟින් ඔවුන්ගේ එම ඉල්ලීම යුක්ති සහගත සහ නිවැරදි එකක් බවට සාධාරණීකරණය විය. ඊළඟට ගත වූ අවුරුදු 25 තුළ දක්නට ලැබුණේ දෙමළ ජනතාවට පුරවැසිකම පමණක් නොව, ඔවුන්ගේ භූමිය ද අහිමි කළ ආකාරයයි. විසි වසක් පුරා දෙමළ නායකයෝ ඔවුන්ගේ  විරෝධය පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් ඉතා සාමකාමී ලෙස අහිංසාවාදී සහ සත්‍යග්‍රහයන්ගේ මූලධර්මවලට අනුකූලව පළ කළහ.

එහෙත් සිදු වූයේ කුමක් ද?

1956 දී දෙමළ නායකයෝ ගාලු මුවදොරහිදී පැවැත්වූ සත්‍යග්‍රහයට එරෙහිව ප්‍රචණ්ඩ මැරබලය මුදා හරින ලදි. පසුව දෙමළ නායකයෝ යාපනය කච්චේරිය ඉදිරිපිට සත්‍යග්‍රහ විරෝධතා දක්වන විට ශ්‍රී ලංකා හමුදාව අශික්ෂිත ප්‍රචණ්ඩත්වයක් මඟින් ප්‍රතිචාර දැක්වීමට මැළි නොවූහ. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඔබගේ දිගු ඉතිහාසයේ කවර පරිච්ඡේදයක් තුළට ඔබ මේ සිදුවීම් ඇතුළත් කිරීමට අදහස් කරන්නේ ද? එය එක් පරිච්ඡේදයක් හෝ දෙකක් නොවනු ඇත. පසුගිය අවුරුදු 35 පුරා දෙමළ ජනයාට එරෙහිව යෙදූ  මැරබලය සහ ප්‍රචණ්ඩත්වය අඛණ්ඩ සිදුවීම් මාලාවකි. ඔබට මෙම වසර 35ක කෲරත්වය සඳහා පරිච්ඡේද කොපමණ සංඛ්‍යාවක් වෙන් කිරීමට අවශ්‍යවනු ඇත්ද? දෙමළ මිනිසුන් කොපමණ සංඛ්‍යාවක ජීවිත සහ දේපොළ කොල්ලකා තිබේ ද? දෙමළ ස්ත්‍රීන් කොපමණක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඉදිරිපිට අතවරයට ලක් කර තිබේ ද? සියවස් ගණනක් පුරා ආරක්‍ෂා කළ දෙමළ සංස්කෘතික උරුමයන් ගිනි ලා විනාශ කර තිබේ. රුපියල් ලක්ෂ කීපයක් ගෙවීමෙන් මේවාට වන්දි ගෙවිය හැකි යැයි සිතීම මොන තරම් අපහාසයක් සහ සරදමක් ද?

නමුත් මේ පීඩාකාරී අවමන් සහගත සැලකීම්වලින් දෙමළ ජනයාට ඔවුන්ගේ ආත්මය අහිමි කළ හැකි වූයේ ද? නැත. ඔවුහු ඔවුන්ගේ පරමාරදර්ශ අත්හැර දමා ඇත් ද? නැත! නැත!! මේ අවමන් සහගත සැළකීම්වලින් සිදුවූයේ ඔවුන්ගේ අධිෂ්ඨානය ශක්තිමත් වීම පමණකි. ශ්‍රී ලංකා රජයේ ක්‍රියාවන් අපි කිසි කලෙකත් අමතක නොකෙළෙමු. මෑත මැතිවරණ දෙකකදී දෙවරක‍්ම දෙමළ ජනතාව සිය අභිලාෂයන් ශක්තිමත්ව පෙන්වූහ.

ජාතිවාදය වපුරමින් ජාතිවාදී ඝාතන සිදුකරමින් සිටින රජයක් අප දෙස බලා අපට  “ත්‍රස්තවාදීන්“ යැයි ඇමතීම විහිළුවක් නොවන්නේද? එක් පැත්තකින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට 50 වසරක් සම්පූර්ණ වීම මහ ඉහළින් සැමරෙන අතර එකී පාර්ලිමේන්තුවේම දෙමළ මන්ත්‍රීවරුන් මහ රෑ අත් අඩංගුවට ගනු ලබයි. තවත් මන්ත්‍රීවරයෙකුගේ නිවෙස ගිනි තබා විනාශ කරයි. ශිෂ්ට සම්පන්න ලෝකයක් තුළ ඔබට මෙවැනි ක්‍රියා හිස කෙලින් තබාගෙන කළ නොහැකි ය.

ඔබ ත්‍රස්තවාදය සහ මංකොල්ලයන් ගැන කතා කරයි. රාජ්‍ය ත්‍රස්තවාදය හා රාජ්‍යයේ ආයුධ යොදාගනිමින් වපුරන ජාතිවාදී වෛරය හා සම කළ හැකි කිසිවක් මේ රට තුළ දැකිය හැකිද? දෙමළ මිනිසුන්ගේ කොල්ලකා සහ පසුව සොයාගත් බඩු භාණ්ඩවලට සිදු වූ දෑ ජනතාව විසින් අමතක කර නැත. රජයේ බලගතු දේශපාලකයන් සමහර දෙනෙක් තම රිවෝල්වර යොදාගනිමින් දෙමළ ජනතාව ත්‍රස්තයට පත්කළ අයුරු අපට අසන්නට ලැබිණි. මේ ත්‍රස්තවාදී ක්‍රියාවන් නොවේ යැයි යමෙකුට පැවසිය හැකි නම් එය මේ සියවසේ විශාලම විහිළුව වනු ඇත.

අප වෙන්වීමක් ඉල්ලා සිටිනු ලබන්නේ යැයි ද, රට බෙදීමට තැත් දරන්නේ යැයි ද අපට එරෙහිව චෝදනා නගා ඇත.  අප බෙදී නොසිටි අවස්ථාවක් ගැන යමෙකුට කිව හැකිද? අපගේ සාම්ප්‍රදායික වාසභූමිය අත්පත් කරගත් යුරෝපීය ආක්‍රමණිකයන් එය අපට යළි කිසිදාක නැවත ලබා නොදුන්හ. රටේ නාමයෙන් අපි අපේ භූමිය වෙනත් කිසිවෙකුට කිසි දා උකස් කර නැත. අපගේ භූමිය විවිධ පාලකයන් යටතට කලින් කලට හුවමාරු වී තිබේ. සිදු වූයේ එයයි. අපගේ භූමිය අපටම හිමිකර ගතහැකි අවධියට අප ළඟා විය යුතුව තිබේ. අප ඉල්ලා සිටිනුයේ නිදහස මිස බෙදීයාම නොවේ. අප මෙය ඉල්ලා සිටිනුයේ පටු චින්තනයක් නිසා නොවේ.

අප ළඟා වීමට අපේක්‍ෂා කරන ඉලක්කය හුදෙක් දෙමළ ජනයාගේ විමුක්තිය පමණක් නොවේ. අපගේ ඉලක්කය සිංහල ජනයාගේද විමුක්තියයි. මා එසේ කියන්නේ ඇයි? ඒ මක්නිසාද යත්, එවිට  මෙම “දෙමළ ප්‍රශ්නය“ අවස්ථාවාදී සිංහල දේශපාලනඥයන්ගේ ජීවිකාව වීම නතර වන බැවිනි. එය විසින් ඔවුන් බැඳ දමා ඇති දේශපාලනික, සමාජයීය, ආර්ථික විලංගුවලින් මිදීමට සිංහල ජනයාට අවස්ථාවක් උදා කර දෙනු ඇති බැවිනි. ඔවුහු එවිට තමන්ගේ වහල්බවේ  සැබෑ හේතූන් වටහා ගනු ඇත.

මේ ලෝකයේ කිසිදු සම්මුතියක් මඟින්, තමන්ගේ අහිමිකරනු ලැබූ අයිතීන් යළි දිනාගැනීමට සටන් කරන හෝ ස්වයංතීරණ අයිතිය වෙනුවෙන් අරගල කරන ජනතාවක් ත්‍රස්තවාදය හෝ බෙදුම්වාදය සම්බන්ධයෙන් වරදකරුවන් කිරීම කළ නොහැකිය. අපගේ මූලික මානුෂික අයිතීන් ස්ථාපිත කිරීමට මෙම තත්ත්වයේ ආරම්භයේදීම ඔබ ක්‍රියා කළේ නම් මෙවන් තත්ත්වයක් පැන නොනැගෙනු ඇත. ඔබ අපගේ අයිතීන් පිළිගැනීම ප්‍රතික්‍ෂේප කර ඇතිවා පමණක් නොව, දේශපාලන බලයේ රැඳී සිටීම සඳහා පසුගිය තිස් පස් වස පුරා ඔබ විසින් අහිංසක සිංහල ජනයාට වෛරයේ විෂ එන්නත් කර තිබේ. එහෙත් සියලු සිංහලයන් ඔබගේ ජාතිවාදී විෂට ගොදුරු වී නැති බව, ඔබ විසින් සන්නද්ධ මැරයන් යොදා දියත් කළ ජාතිවාදි ප්‍රචණ්ඩ ක්‍රියාවලදී  දෙමළ ජනයා පූර්ණ සමූල ඝාතනයකින් බේරාගැනීමට ඇතැම් සිංහල පිරිස්  ඉදිරිපත්වීමෙන් පෙනී යයි. ශ්‍රී ලංකාවේ සෑම විපක්ෂයකම සම්ප්‍රදායයක් වී ඇත්තේ බලයට පත්වීම සඳහා සිංහල ජනයාගේ සහයෝගය ලබා ගනු වස් දෙමළ ජනතාවට අදාළ ගැටළු ගැන විසඳුමකට එරෙහිව සිංහල ජනයා මෙහෙයවීමයි.

පසුගිය සය වස පුරා සිදු වූ ආකාරයට ජාතිවාදි ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට පාලක පක්ෂයක් විසින් අනුමැතිය ලබාදීම වඩාත් දුෂ්ට සහ හෙළා දැකිය යුතු දෙයක් වන්නේ ඒ නිසාය. දෙමළ ජනයා සහ ශ්‍රී ලංකා රජය අතර සබඳතාව වත්මන් අයහපත් මට්ටමට ලඟාවීම කෙරෙහි වගකීම පැහැදිලිවම පැවරෙනුයේ අපරාධකරුවන්ට ලබා දී ඇති දණ්ඩ මුක්තිය සහ අනුග්‍රහය වෙත ය.

පසුගිය සියවස් කාලක් පුරා පාලක පක්ෂය ගිරවුන් මෙන් නැවත නැවතත් දොඩනුයේ "අපි දෙමළ ප්‍රශ්නය විසඳනවා" යනුවෙනි. අපි ඔබගේ විසඳුම පිළිගත්ත ද නොගත්ත ද දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳීම සඳහා කවර හෝ අවංක උත්සාහයක් ගෙන තිබේ ද? දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳන බවට බොරු පොරොන්දු දෙමින් ඔබ සෑම විටෙකම කාලය ගත කළේ දෙමළ ජනයාගේ අරගලය මොට කිරීමට ය. දෙමළ ජනයා ඔබලාගෙන් ඉල්ලා සිටියේ කුමක්ද? ආර්ථික වාසි නොවේ. රැකියා අවස්ථා ද නොවේ. ඔබගෙන් එවැනි සේවයක් අපේක්ෂා නොකිරීමට තරම් දෙමළ ජනයා කරුණු කාරණා පිළිබඳ දැනුවත් ය.

ඔබ ඉහත ප්‍රතිලාභ ප්‍රදානය කිරීමට සුදානම් තත්ත්වයක් යටතේ වුව, මේ දිවයින තුළ අනාගතයේදී ආත්ම ගෞරවයක් සහිතව ජීවත්වීමට ඉඩ ලැබෙනු ඇති බවට ඔබට දීමට හැකි සහතිකය කුමක් ද? ආත්ම ගෞරවය පිළිබඳ හැඟීමක්  නොදැනෙන්නේ නම් ඔබ විසින් ලබා දීමට සුදානම් අන් කවරක් වුවද දෙමළ ජනයාට වැදගත් නොවනු ඇත. මේ දිවයින තුළ වන සතුන් සඳහාද අභයභූමි ලෙස ඔවුන්ටම වෙන් කළ භූමි ප්‍රදේශ තිබේ. නමුත් මේ දක්වා මේ දිවයින තුළ කිසිදු ප්‍රදේශයක දෙමළ ජනතාවට බියෙන් තොරව ජීවත් වීමට ඉඩක් නොමැත. මේ වනාහී අනාගතියේ හෝ ලැබෙතැයි අපට අපේක්‍ෂා කළ හැක්කක් නොවේ.

නියෝජ්‍ය නීතිපතිවරයා ඔහුගේ විමර්ශනයේදී යෝගචන්ද්‍රන් මහතාගෙන් (කුටිට්මනී) අසා සිටියේ “මෙම අධිකරණ ක්‍රියාවලිය වේදිකාවක් ලෙස භාවිතා කිරීමට අදහස් කරන්නේ ද?“ යනුවෙනි. වේදිකාවලින් අපට ඇති ප්‍රයෝජනය කිම? අප කිසිදිනෙක කිසිවෙකුගෙන් අපට වේදිකාවන් තනා දෙන ලෙස ඉල්ලා සිටියේ නැත. අපව මෙම කූඩුව තුළට දමා අප මත මෙම චෝදනාවන් පටවා ඇත්තේ ඔබ විසිනි.

ඔබ අපට බොරු චෝදනා එල්ල කිරීමෙන් නොනැවතී අපව බොරුකාරයන් ලෙසද පෙන්නුම් කිරීමට උත්සාහ දරන විට අපි හුදෙක් සත්‍යය පමණක් ඉදිරිපත් කළෙමු. අපි කළේ එය පමණකි. ඒ මඟින් අපට වේදිකා නළුවන් වීමට අවශ්‍ය නොවේ. සත්‍යයට වේදිකාවන් සහ අවධාරිත අලෝක ධාරාවන් අවශ්‍ය නොවේ. සත්‍යය සතුව එහිම ආලෝක ප්‍රභාවක් ඇත. මිහිමත කිසිදු බලයකට කිසි දිනෙක එය යටපත් කළ නොහැකි ය.

අපි ප්‍රචණ්ඩත්වයට ඇලුම් කරන්නන් හෝ මානසික විකෘතිතාවන්ගේ ගොදුරු නොවෙමු. අපි ජනතාවකගේ විමුක්තිය උදෙසා සටන් කරන සංවිධානයක අව්‍යාජ සටන්කරුවන් වෙමු.

අපව “ත්‍රස්තවාදීන්, භීෂකයන්“ ලෙස නම් කරන මේ වැදගත් නම්බුකාර මහත්වරුන් වෙත පැවසීමට යමක් අපට තිබේ. අහිංසක දෙමළ ජනතාව සිය ගණනින් ලේ විලක් මැද සමූල ඝාතනය කරමින්, ඔබගේ දේශය හරහා වාර්ගික වෛරය ලැව්ගින්නක් මෙන් පැතිර යද්දී ඒ ත්‍රස්තවාදය ඔබ බියපත් නොකළේද? දෙමළ ස්ත්‍රීන් දූෂණය කරන විට, සංස්කෘතික උරුමයන් ගිනිබත්කරන විට, දස දහස් ගණනින් දෙමළ නිවාස මංකොල්ල කන විට ත්‍රස්තවාදය යනු කුමක් දැයි ඔබට අදහසක් නොතිබිණිද? 1977 දී පමණක්  400ක් දෙමළ ජනයාට සිය ජීවිත අහිමි කරමින්  ඔවුන්ගේ විසිර ගිය රුධිරයෙන් අහස් ගැබ රත්පැහැ ගැන්වෙන විට, ඔබ ඒ තුළ  ත්‍රස්තවාදයක් දැකීමට අසමත් වූයේද? දෙමළ ඊළාමයේදී පොලිස් නිලධාරින් කීපදෙනෙකු මරණයට පත් වූ විට පමණක්, රුපියල් මිලියන කීපයක් බැංකුවලින් මංකොල්ලකෑ විට පමණක් ත්‍රස්තවාදයෙන් ඔබගේ මුහුණට පහර එල්ලවිණි ද? දෙමළ ජනයාගේ ජීවිත සහ දේපොල විනාශය ගැන පමණක් ඔබගේ සිතුවිලි සහ හැඟීම් මියගොස් ඇත්ද? නැතහොත් දෙමළ ජනයාගේ වේදනාවන් ගැන අදහසක් ඇතිකර ගැනීමට ඔබගේ හෘදය සාක්ෂිය අසමත්ව ඇත්ද?

අපගේ ඒකායන අරමුණ දෙමළ ඊළම පමණක් යැයි යන සිතුවිල්ල කැටුව ඔබ පලා යා යුතු නැත. දෙමළ ඊළම නිශ්චිතවම අපගේ අරමුණ  වී ඇත්තේ දෙමළ ජනයාගේ ආත්ම ගෞරවය දිනාගත හැක්කේ දෙමළ ඊළම ස්ථාපිත කිරීමෙන් පමණක් බව පසුගිය වසර කීපය තුළ අපගේම කටුක පාඩම්වලින් අප උගෙන ඇති බැවිනි. නමුත් අපගේ දැක්ම ඊට වඩා බෝහෝ සෙයින් පෘථුලය. අපගේ දැක්ම ගෝලීය එකකි. පීඩනයක් ඇත්තේ කොහිද, මිනිස් අයිතීන් උල්ලංඝණය වනු ඇත්තේ කොහිද, ඒ සිදුවන්නේ අප්‍රිකාවේ හෝ ලතින් ඇමෙරිකාවේ වේවා, එහි පීඩිතයන් දුබලයන් වෙත අපි අපගේ සහයෝගයේ දෑත් දිගුකිරීමටත්, පරිත්‍යාගයන් සහ කැපකිරීම්වලටත් සුදානම්ව සිටිමු. අපගේ දැක්ම ඒ තරම් පුළුල් එකක් වන විට අපගේ සහෝදර ජාතියක් වන සිංහල ජනතාවගේ අනාගත අභිවෘද්ධිය නොසිතා සිටීමට අප අසමත්වන්නේ කෙසේද? මට මෙය පැවසීමට ඉඩ දෙන්න. අසල්වැසී ජාතීන් සහයෝගයෙන් ජීවත්වීම වැළැක්විය හැකි කිසිවෙක් නැත. වෙනස් ප්‍රතිපත්තීන් සහිත ජාතීන් වුව ද පොදු ආර්ථික ශුභසිද්ධිය සඳහාත්, පොදු ආරක්ෂාව සඳහාත් එක්ව කටයුතු කරති. ඔවුහු ඔවුන්ගේ ස්වෛරීත්වය හෝ සුවිශේෂී වෙනස්කම් අත්හැර දමන්නේ යැයි එයින් අදහස් වේ ද?

අපි මෙම දිවයිනේ පොදු යහපත ආරක්ෂා කළ යුතු වෙමු. තුන්වන ලෝකයේ රටවලට එරෙහිව දියත් වන දේශපාලනික සහ ආර්ථික සමූල ඝාතනය හමුවේ,  විශේෂයෙන් මේ  ඉන්දියානු උප මහාද්විපය තුළ අනාගතයේ යම් දිනෙක ඊට එරෙහිව සටන් වැදීමට පොදු සංවිධානයක අවශ්‍යතාව මතුවන විට, දෙමළ ඊළාමය එහි උපරිම ශක්තියෙන් මේ කලාපයේ ජනතාවගේ පොදු යහපත සහ ජීවන අභිවෘද්ධිය වෙනුවෙන් නැගී සිටිනු  ඇති බවට අපට ඔබ වෙත සහතික විය හැකි ය.

මම මේ ප්‍රශ්නය මගේ සිංහල මිතුරන්ගෙන් ඇසිය යුතු ය. අපගේම භූමිය මත පමණක් නොව,  ඔබගේ භූමියේ විවිධ ප්‍රදේශ තුළ දී ද, විවිධ ත්‍රස්තවාදී ක්‍රියා සහ මැර බලයේ ප්‍රතිඵලයක් ලෙස මේ දක්වා දෙමළ ජනයාට මුහුණ පෑමට සිදුව ඇති පීඩකාරී ක්‍රියාවන් සාධාරණීකරණය කළ හැකි බවත්, නිවැරදි බවත් ඔබ විසින් පිළිගනු ලබන්නේද?  ඔබගේ රජය විසින් අප මත පටවා ඇති  අශික්ෂිත පීඩනයට එරෙහිව අපගේ පැත්තෙන් නිදහස උදෙසා අප සටන් කරනු ලැබීම වැරැදි යැයි ඔබ සිතන්නේ ද? නැතහොත් සාමාන්‍ය නීතිය ද,  විවිධ විශේෂ නීති ද යටතේ  මෙම නඩු විභාගයක් නමින් පවත්වාගෙන යන  ඇස්බැන්දුම  මඟින්, උත්තුංග අරමුණක් වෙනුවෙන් - මිනිස් නිදහස නැමැති උත්තුංග අරමුණ වෙනුවෙන් - සටන් වදින අප වැනි මිනිසුන්ට එරෙහිව කටයුතු කිරීම යුක්ති සහගත ක්‍රියාමාර්ගයක් ලෙස ඔබ දකින්නේද?

නැතහොත් එහි ගොදුරු බවට පත්ව ඇත්තේ දෙමළුන් පමණක් බැවින් ඔබ එය නොසළකා හැර ඇති බව අදහස්වන්නේද? එසේ නම් ඔබට අපගේ අනුකම්පාව හිමි විය යුතු ය.

මා විශ්වාස කරන්න! අපගේ නිදහස අප විසින් යම් දිනෙක, කෙසේ හෝ දිනා ගැනීම ස්ථිර ය. එය සිදූ වූ විට ඔබගේ නීති පොත් සහ ත්‍රස්තවාදී නීති අපට තවදුරටත් වලංගු නොවේ. එයින් පසුව අද අපව පීඩනයට ලක්කරන මෙම නීතිවල “ඵල ප්‍රයෝජන“ ලැබීමට ඉතුරුවන එකම හිමි කරුවා ඔබ වනු ඇත.

“අපට එරෙහිව පවත්වා ගෙන අයුක්තිය නවත්වන ලෙසත්, අපගේ ස්වෛරීත්වය පිළිගනු ලබන ලෙසත්  ඔබ ඔබගේ රජයෙන් ඉල්ලා සිටීමට සුදානම් ද? ත්‍රස්තවාදය වැළැක්වීමේ පළමු පියවර ලෙස ත්‍රස්තවාදයේ තොග වෙළෙන්දන් වන ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලිසිය අපගේ භූමියෙන් ඉවත් කරන ලෙස ඔබගේ රජයෙන් ඉල්ලා සිටීමට සුදානම් ද? ඔබ සතුව කොතරම් පළල් මනසක් සහ චින්තනයක් ඇතිදැයි පෙන්වීමේ තීරණය ගැනීම මම ඔබ වෙතම පවරමි. වෙනත් ජාතියකට අයත් වුවද  සහෝදර වැසියන් ලෙස අපි මෙම අධිකරණ විමර්ශනයට සහභාගී වූයේ ඔබගේ අවබෝධය පිළිබඳ අපේක්‍ෂාවෙනි. අපි අද අපගේ ස්ථාවරය පැහැදිලිව ඉදිරිපත් කළෙමු. මේ මඟින් ඔබ තුළ ජනිත වන අවබෝධය විසින් අනාගතයේ යම් දිනෙක ඔබ අප වෙනුවෙන් ඔබගේ කටහඬ අවදි කරන්නේ නම් අපගේ හදවත් තෘප්තිමත් බවින් පිරී යනු ඇත.

මම මෙහි දී ඔබට තවත් යමක් හෘදයංගමව පැවසීමට කැමැත්තෙමි. අප අතර අවබෝධය පිළිබඳ  අපේක්‍ෂාවන් යථාර්ථයක් බවට පත් නොවූව ද,  අනාගතයේ යම් දිනෙක, අද ඔබ බැඳ දමා ඇති ආර්ථික සහ සමාජයීය විලංගු බිඳ දමනු වස්  ඔබ නැගී සිටින විට,  අප අපගේ පූර්ණ සහයෝගය ඔබ වෙත ලබා දෙමු.

මෙම නඩු විභාගය හරහා අපි අපගේ සැබෑ ස්ථාවරයන් ලෝකයටත් විශේෂයෙන් දිවයිනේ ජනතාවටත් හෙළි කළෙමු. අපගේ සන්තානයන් තුළ වන උත්තම ප්‍රමෝදයේ නිමිත්ත එයයි. අපට වැදගත් වනුයේ ජනතාව අප පිළිබඳව ලබා දෙන තීන්දුව පමණි. එය අපගේ පැත්තේ බවට අප තුළ දැඩි විශ්වාසයක් ඇත. සිය ගණන් ගොතන ලද බොරු නඩු අපට එරෙහිව  පැවරුව ද, සියළු බොරු චෝදනාවන් අප හිස් මත වැගිරුව ද මින් මතුව අපි ඒ පිළිබඳව මොහොතකට හෝ නොසැළෙමු.

ඔබගේ මෙවැනි ක්‍රියාමාර්ග වලින් ජයග්‍රහණය ලැබෙනු ඇත්තේ අප වෙත ය. ඔබගේ තීන්දුවේ ප්‍රතිඵල අපව ස්පර්ශ කිරීමට අසමත් ය. එය අපට බාහිර ව පවත්නා දෙයකි. මරණය හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් වැළඳ ගැනීමට සිදුවුවද  එයින් අපි නොසැළෙමු. ඒ අප අපගේ යුතුකම ඉටුකර ඇති බැවිනි. මේ සියළු දේ ඉතිහාසය තුළ ජාතියකගේ නිදහස උදෙසා අරගලයක සාමාන්‍ය සිදුවීම් ය. අපි කරන්නේ කුමක් දැයි යන්න ගැන අපට දැඩි විශ්වාසයක් තිබේ. එහෙයින් අපි අපේක්‍ෂා භංගත්වයට පත් නොවෙමු.

යමෙකු විසින් නෙළා ගනු ලබන්නේ ඔහු විසින් වපුරන දෙයයි යන කියමන අපි විශ්වාස කරමු. අපේ මනස සන්සුන් එබැවිනි. අපි විෂ නොවැපිරුවෙමු. එහෙයින් විෂ නෙළා නොගනිමු. අපගේ හී තුඩුවල විෂ පොවා නැත. එහෙත් මගේ එකම හෘදයංගම ප්‍රාර්ථනය වන්නේ බලලෝභී සිංහල දේශපාලකයන් විසින් වපුරන ලද දෙයෙහි අස්වැන්න නෙළාගැනීමට අහිංසක සිංහල වැසියන්ට සිදු නොවිය යුතුය යන්නයි. මේ  අපරිමිත මහා වේදනාවන් වූ කලී අපව පිවිතුරු බවට පත් කරනු වස් දෙවියන් විසින් තිලිණ කරන ලද ආශිර්වාදයකි. අවසාන ජයග්‍රහණය අප සතු ය.

අපගේ නීතිඥයන්ට, අප වෙනුවෙන් හඬ නැගූ, අප වෙනුවෙන් කථා කළ හා සහයෝගය දුන් සංවිධාන සහ පුද්ගලයන්ට ස්තූතිය පළ කරන අතර ඔවුන් අතර වෙනස් කම් දුරලා එක් වන ලෙස ඉල්ලා සිටිමු. මක් නිසාද යත් නිදහස කරා ඇති එකම මග එය බැවිනි.


"දෙමළ ජනතාව දිනේවා! දෙමළ ඊළම දිනේවා!!"

1983, නඩරාජා තං‍ගවේලු හෙවත් තංගදුරෙයි


“අනෙකාගේ නිදහස ගැන උනන්දු නොවන පුද්ගලයා  තමාගේ නිදහස ද වළලා ගනී”

-කුට්ටිමනී -
කුට්ටිමනී
(මෙය මුල් වරට විවරණ සඟරාවේ 1988 මාර්තු කලාපයේ පළ විය)

අපි ජාතිවාදීන් නොවෙමු. සිංහල ජනයාගේ සතුරන් නොවෙමු. සිංහල ජනයාගේ අයිතිය උදුරා නොගනිමු. අපි අපේ සටනේදී සිංහල ජනතාව ආදරයෙන් සිහි කරමු. ඔවුන්ගේ සාධාරණ සටන්වල දී අපගේ සහයෝගය පළ කරමු. එලෙසම අපගේ විමුක්ති සටනට සිංහල ජනයා සහාය දිය යුතුය. අනෙකාගේ නිදහස ගැන උනන්දු නොවන පුද්ගලයා තමාගේ නිදහස ද වළලා ගනී.


මීට පෙර අප ව්‍යාපාරයේ නායක පළමුවැනි විත්තිකරු පැහැදිලි ප්‍රකාශයක් කළා. නමුත් ම’ විසින් ද සඳහන් කළ යුතු කරුණු වෙයි. 1982 නොවැම්බර් 2 වැනිදා සිට ශ්‍රී ලංකා රජයේ මෙම අධිකරණය හමුවට අප ගෙන ආවා. එදා වැරදිකරු ද, නිවැරදිකරු ද යනුවෙන් අධිකරණය ඇසූ ප්‍රශ්ණයකට මා පිළිතුරු වශයෙන් කීවේ අප මේ රටේ පුරවැසියන් නොවන හෙයින් ලංකා අධිකරණය හමුවේ අපගේ නඩුවක් ඇසීමට නොහැකි බව යි. මෙම අධිකරණයට බලය නැති එම බව මම අදත් කියමි.

ශ්‍රී ලංකා රජය  අපගේ හතුරා වෙයි. මේ අධිකරණය එම රජයේම අංගයකි. එම අධිකරණය මගේ නිදහසට මගේ ස්වාධිපත්‍යයට අත ගසා ඇත. සාධාරණය, යුක්තිය යටපත් කොට නඩු විභාගය යනුවෙන් නාඩගමක් නැටු අතර අපි එහි රඟපෑවෙමු. එම අධිකරණය අප නිදහස් කර අපගේ අරගලයට උදව් නොකරන බව අපි දනිමු. ශ්‍රී ලංකා රජය නමැති සතුරාගේ අත ළඟ සිටින අරගල කරුවෝ අපි වෙමු.


අප යුක්තිය බලාපොරොත්තු වන්නේ බහු ජනතාව ගෙනි. කවදා හෝ බහුජන නිගමනය තුළින් සත්‍යය ජය ගනු ඇත. ශ්‍රී ලංකා රජය අප කොල්ලකරුවන්, මිනීමරුවන්, ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා ඇත. දෙමළ ජනයා මෙම අසත්‍යය පිළි නොගනිති. සිංහල ජනයා නොමඟ යවා භයානක අශීලාචාර නීති පැනවීමට මෙම අසත්‍ය ප්‍රචාරය අවියක් වී තිබේ. මර්දනකාරී  වැඩ පිළිවෙල කඩතුරාවකින් වසා සාමය හා ආරක්ෂාව මවාපායි.


අද ද්‍රවිඩ ජනතාව මර්ධනය කිරීමට පාවිච්චි කරන ත්‍රස්තවාදී පනත විසින්ම අනාගතයේ දිනක සිංහල ජනතා පිබිදීම මඬිනු ඇත. දැනටමත් එසේ සිතීමට සාධාරණ ලකුණු පහළ වී ඇත. අපි සමාජයේ හතුරන් නොවෙමු. අපි දෙමළ ජනතාවගේ විමුක්ති ඊළම් සටනට උනන්දුවෙන් සහභාගි වූ අරගලකරුවන් වෙමු. අපි ජනතා ආදරය ලද පුද්ගලයන් වෙමු. අප දෙමළ ඊළම් විමුක්ති සටන් පාඨය පෙරටු කොට පෙරමුණේ යන සටන්කාමීන්ය.


දේශපාලනය යනු ජනතාව සූරාකමින් පොහොසත් වන පක්ෂවල ව්‍යාපාරයක් නොවේ. මර්දනයට ලක් වූ ජනතාවගේ දේශපාලනය ඊට වෙනස්ය. අප දේශපාලනය යනු උතුම් කටයුත්තක් ලෙස පිළිගත් පුද්ගලයන්ය. ද්‍රවිඩ ජනතාවගේ විමුක්තිය පිණිස ජීවිත පරිත්‍යාගයට වුවත් අප සූදානම්ය. මරණයට හෝ සිර ගෙදරට අපි බිය නොවෙමු. අපේ පාරම්පරික භූමියෙන් ශ්‍රී ලංකා හමුදාව හා ශ්‍රී ලංකා රාජ්‍ය යන්ත්‍රය ඉවත් නොවන්නේ නම් බලහත්කාරයෙන් හෝ ඉවත් කරමු. ලෝක අධිරාජ්‍යයන් ජනතා ශක්තිය හමුවේ පොඩිපට්ටම් වූ හැටි ඉතිහාසය පවසයි.

දෙමළ ජනතාව අද මරණයට පත් කරති. ඔවුන්ගේ දේ පොල සුරාකති. ඔවුන්ගේ සංස්කෘතික වස්තූන් ගිනිබත් කරති. මේ නිසා ව්‍යාකූලත් වයට පත්ව සිටින ඇතැම් ද්‍රවිඩ තරුණයෝ ප්‍රචණ්ඩ ක්‍රියා කරති.


බ්‍රිතාන්‍යයට විරුද්ධව ඉන්දිය නිදහස් සටනේ දී සාමකාමී වූත් ප්‍රචණ්ඩ වූත් අවස්ථා විය. ප්‍රචණ්ඩ සටන්කරුවන්ට අදත් ජනතා උපහාරය හිමිය. ඊළම් සටන්කාමීන්ට ද එලෙසම ජන උපහාර පිදේ. එය දකින ශ්‍රී ලංකා රජය වෙව්ලයි. ඒ නිසා එම ව්‍යාපාරය විනාශ කිරීමට වෑයම් කරයි. අප මැරුවත් හිරේ දැම්මත්, එල්ලුම් ගස් ඇරියත්, වෙඩි තැබුවත් ඊඑළම් ව්‍යාපාරය මඬිනු නොහැකියි.



අපි ජාතිවාදීන් නොවෙමු. සිංහල ජනයාගේ සතුරෝ නොවෙමු. සිංහළ ජනයාගේ අයිතිය උදුරා නොගනිමු. අපි අපේ සටනේදී සිංහල ජනතාව ආදරයෙන් සිහි කරමු. ඔවුන්ගේ සාධාරණ සටන්වල දී අපගේ සහයෝගය පළ කරමු. එලෙසම අපගේ විමුක්ති සටනට සිංහල ජනයා සහාය දිය යුතුය. අනෙකාගේ නිදහස ගැන උනන්දු නොවන පුද්ගලයා  තමාගේ නිදහස ද වළලා ගනී.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යනු ද්‍රවිඩ ජනයාට විරුද්ධව පාවිච්චි කරන අසීලාචාර නීතියකි. අපට අත් වූ ඉරණම ශ්‍රී ලංකා ජනතාවටද මතු දිනක අත්වනු ඇත. මෙම නීතිය සමඟ මා සිංහල ජනයා සිහි කරන්නේ අනුකම්පා පෙරදැරිවය. දෙමළ ඊළම් ජයග්‍රහණය කළ පසුත් ශ්‍රී ලංකා රජයේ මෙම නීතිය ඒ රටේ පවතිනු ඇත. එදාට අලිමංකඩ වධ කඳවුර හම්බන්තොටට ගෙනයනු ඇත. තුරුනගර් වධ කඳවුර කුරුණෑගලට ගෙන යනු ඇත. අද ද්‍රවිඩ තරුණයන් වෙනුවට සිංහල තරුණයන් එදාට ඒවායෙහි වධ විඳිනු ඇත. ඒ නිසා අද සිටම සිංහල ජනයා මේ අසීලාචාර පනතට විරුද්ධව සටන් කළ යුතුය.


සෙල්වරාජා යෝගචන්ද්‍රන් හෙවත් කුට්ටිමනී