කඳුකර අරගල

             ජායාරූපය උපුටා ගැනීම : THARAKA BASNAYAKA/NURPHOTO VIA GETTY IMAGES

අද දක්වා  ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳු නාරටිය වන්නේ බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන් විසින් ශ්‍රම බලකායක් ලෙස දකුණු ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද කඳුකර දෙමළ ප්‍රජාවයි. පළමුවබ්‍රිතාන්‍යයන් යටතේ ද ඉන් පසුව ශ්‍රී ලංකාවේ පාලකයන් යටතේ ද ශ්‍රම සූරාකෑමට ලක් වෙමින් සිටින මෙම ජනයා අද දක්වාම ජීවත් වන්නේ අර්ධ වහල් තත්ත්වයේ ය. කඳුකර දෙමළ ජනයා අතීතයේ පටන් ගෞරවණීය ජීවිතයක් උදෙසා විවිධ අරගල කළ ද ඒවා ශ්‍රී ලංකා ඉතිහාසය තුළ සනිටුහන් වී නැත. සමාජයේ ජනප්‍රිය මතය වන්නේ එම ජනයා දේශපාලනික අවබෝධය නැතියෙන් දේශපාලන නායකයන්ගේ රැවටීම්වලට නිරන්තරයෙන් ගොදුරු වන, අයිතිවාසිකම් උදෙසා නැඟී නොසිටින සටන්කාමී ගුණයෙන් හීන සමාජ කණ්ඩායමක් බව යි. මේ, ඉතිහාසය වෙනත් ලෙසකට සාක්ෂි දරන හෙයින් ඒවා ලියා තැබීමට බල කෙරෙන මගහැර යා නොහැකි සටහනකි. මන්ද ආන්තික භාවයේ පතුලටම හෙළා තිබියදීත් පීඩිත භාවයට එරෙහිව සටන් කිරීමට තෝරාගැනීමම අරගලයක් වන හෙයිනි.


කොටියාගල වැඩවර්ජනය - 1939

බගවන්තලාව කොටියාගල වත්තේ කම්කරුවෝ තම වතුයායේ මත්පැන් අළෙවිය තහනම් කිරීමේ සහ සූදුව වැළැක්වීමේ අරමුණින් සංගමයක් පිහිටුවීමට වතු අධිකාරීවරයාගෙන් අවසර ඉල්ලා සිටියහ. යෝජිත සංගමයේ අරමුණ සමාජ ප්‍රශ්නවලට සීමා වුවද කළමණාකාරීත්වය අවසර දීම ප්‍රතික්ෂේප කළේය. කම්කරුවෝ දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත් කළ අතර දහසක් පමණ 1939 අප්‍රේල් 17 දින දැවැන්ත වැඩ වර්ජනයකට අවතීර්ණ වූහ. වතු අධිකාරීවරයා විසින් ක්‍රියාකාරී සේවකයන්ව සේවයෙන් පහ කරන බවට තර්ජනය කරමින් වැඩ වර්ජනය නවතා දැමීමට පොලීසිය ද කැඳවූ නමුත් කම්කරුවෝ තමන්ගේ අයිතිවාසිකම් සපුරා ගන්නා තෙක් නොසැලී සිටියහ. අවසානයේ කම්කරු දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් සමථයකට පත් වූ අතර, වැඩ වර්ජනය නිමාවූයේ කම්කරුවන්ට වෘත්තිය සමිතියක් පිහිටුවීමේ අයිතිය ද දිනා දෙමිනි.

තම අයිතිවාසිකම් වෙනුවෙන් කඳුකර දෙමළ කම්කරුවන් කළ සටනේ ප්‍රබලත්වය 1939 කොටියාගල වැඩ වර්ජනයට අදාළ පොලිස් චක්‍රලේඛණවලින් මනාව පැහැදිලි වේ. පොලිස්පතිවරයා වූ පී. එන්. බෑන්ක්ස් (1937 - 1942) 1939 අගෝස්තු 13 දින නිකුත් කළ විශේෂ චක්‍රලේඛය මෙසේය,

වතු කම්කරුවන්ගේ දේශපාලනික මනස අවදි කරවන ලද විවිධ බලපෑම් පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ අතර ඒ අනුව තමන්ගේ වර්තමාන ජීවන තත්වය සහ රැකියා තත්වයන් පිළිබඳව අසතුටට පත් කම්කරුවෝ බොහෝය. වැඩවර්ජනය නතර කිරීමට තර්ජන එල්ල වී තිබුණි. වතු අධිකාරීවරු විසින් ඇතැම් වර්ජකයන්ට නොතිසී දී ඇති අතර ඔවුන් ඉවත්වීම ප්‍රතික්ෂේප කළ විට ඔවුන් නෙරපා හැරීමට අධිකරණයෙන් නියෝග ලබා ගැනීම පවා සිදු වූ අවස්ථා විය. එබැවින් අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය කුමක්දැයි පොලිසිය නිශ්චිතව දැන සිටිය යුතුයි.”

මධ්‍යම පළාත් සහකාර පොලිස් අධිකාරී රොබින්ස් විසින් වැඩවර්ජනය කරන කඳුකර දෙමළ වැසියන් “වර්ජන උණකාරයන්” ලෙස හඳුන්වමින් එම වර්ජන උණකාරයන් සමඟ කටයුතු කිරීමේදී අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති නිශ්චිතව නිර්වචනය කළේය. ඔහු පොලිස් නිලධාරීන්ට මෙසේ උපදෙස් දුන්නේ ය.

“සියලුම නිලයන් තම වෙඩි තැබීමේ නියෝග කට පාඩමින් දැන සිටිය යුතු අතර, එම නියෝග ක්‍රියාත්මක කිරීම කෙතරම් අත්‍යවශ්‍ය දැයි අගය කිරීම ද කළ යුතුය. නොසන්සුන්තා උද්ඝෝෂණ සහ ඉදිරියේදී ඇති විය හැකි බාධක පිළිබඳව තොරතුරු රැස් කිරීම සඳහා සියලුම නිලයන් උපරිම ලෙස කැපවීම අත්‍යවශය වේ”



පොලිස්පති පී. එන්. බෑන්ක්ස් (1937 - 1942)

ජායාරූපය උපුටා ගැනීම : police.lk


මුල්ඔය වැඩ වර්ජනය - 1940 

බාන්ක්ස්ගේ විශේෂ චක්‍රලේඛණයෙන් මාස කිහිපයක් ඇතුළත් ”වතු කම්කරුවන්ගේ නොසන්සුන්තාව” සමඟ කටයුතු කිරීම සඳහා බි්‍රතාන්‍යය යටත්විජිත ආණ්ඩුවෙහි අමානුෂික ප්‍රතිපත්තිය මුල්වරට ප්‍රායෝගිකව මුල්ඔය වතුයායේ දී ක්‍රියාත්මක විය. මෙම වතුයායේ බහුලව සමසමාජ පක්ෂයේ සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සාමාජිකයෝ සිටි අතර ආසන්නව වශයෙන් කම්කරුවෝ 1400ක් පමණ සිටියහ. ඔවුන් විසින් වැටුප් වැඩිවීමක් සහ ජීවත්වීමට සුදුසු නිවාස ඉල්ලා සිටියේ මේ අතරවාරයේය.

වතු පාසැල් ගුරුවරයෙක් වූ ජෙගනාදන් සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වූ අතර ඔහු කම්කරුවන්ගේ අරගලවලට ද නොයෙක් ආකාරයෙන් සහාය වූයේය. මේ හේතුවෙන් වතුයායේ හිමිකරු වූ ඩබ්ලිව්.ඊ.ස්ප්‍රාලිං ජෙගනාදන්ට ලයින් කාමරයෙන් ඉවත් වන ලෙස නියෝග කළේය. කම්කරුවෝ ස්ප්‍රාලිංගේ ක්‍රියාවට විරෝධය දක්වමින් 1940 ජනවාරි 01 දින වැඩ වර්ජනයක් ආරම්භ කළහ.

මේ වැඩ වර්ජනය අතරතුර මුල්ඔය කම්කරුවන්ගේ සහායට සමස්ත ලංකා වතු  කම්කරු  සංගමයේ මහනුවර දිසා ලේකම් පී. එම්. වේලුසාමි පැමිණියේය. ඉන්පසුව සහකාර පොලිස් අධිකාරි රොබින්ස්, වේලුසාමි වතුයායට අනවසරයෙන් ඇතුළු වී ”කම්කරුවන් වැඩවර්ජනයට පොළඹවා ගැනීමට” උත්සාහ දරන්නේ යැයි චෝදනා කරමින් වේලුසාමිව වහාම අත් අඩංගුවට ගැනීමට නියෝග කළේය. අර්ධ ලෙස වැඩ වර්ජනය කරමින් සිටි කම්කරුවෝ මෙම සිදුවීමෙන් කෝපයට පත් වී පූර්ණ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළහ. පළමුවරට තේ කම්හලෙහි ක්‍රියාකාරීත්වය සම්පුර්ණයෙන් ඇණ හිටියේය. 

වැඩ වර්ජකයෝ සිංහල සහ දෙමළ බසින් මුද්‍රණය කරන ලද අත් පත්‍රිකා බෙදා හරිමින් සිය වර්ජනයේ අරමුණු පැහැදිලි කළහ. වැඩ වර්ජනය වර්ධනය වීම සමඟ කලබලයට පත් වූ අධිකාරීවරයා මහනුවරින් සන්නධ පොලිස් නිලධාරීන් දුසිම් ගණන් ගෙන්වා කම්කරුවන් බිය වැද්දීමට උත්සාහ කළේය. මේ අතර ජනවාරි 8 වතු අධිකාරි ස්ප්‍රාලිං වේලුසාමිට එරෙහිව මහනුවර දිසා අධිකරණය වෙත ගිය අතර අවසානයේ අධිකරණය විසින් කම්කරුවන් වර්ජනයට පෙළඹවීම වෙනුවෙන්  වේලුසාමිට බරපතල වැඩ සහිත තුන් මාසයක සිර දඬුවමක් නියම කරන ලදී. නමුත් ඉන්පසු වැඩ වර්ජනය තව තවත් ශක්තිමත්ව සිදු විය.

නුවරඑළිය රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රී ඊ.ඩබ්ලිව්.අබේසේකර වැඩ වර්ජනය බිඳ දැමීම සඳහා සහකාර පොලිස් අධිකාරි රොබින්ස් වෙත තම සහාය සහතික කරමින් විදුලි පණිවිඩයක් යවමින් කියා සිටියේ මුල්ඔය වැඩ වර්ජනය සඳහා වතුකරයේ කුලීවැසියන් සිය ගණනක් වැඩ වර්ජනයට සම්බන්ධව සිටින බවත්, වහාම කලෝචිත පියවරක් ගත යුතු බවත්, එම ක්‍රියාමාර්ගවලට තමන් ඕනෑම සහායක් ලබාදීම කැමති බවත් ය. 

අබේසේකරගේ ආධාරකරුවෝ තාවකාලික කම්කරුවන් ලෙස පොලිස් ආරක්ෂාව මැද මුල්ඔය තේ කර්මාන්ත ශාලාවේ ලොරි ප්‍රවාහනය කිරීම ආරම්භ කළහ. එහිදී කඳුකර දෙමළ කම්කරුවන් සහ අබේසේකරගේ ආධාරකරුවන් ලෙස ආ තාවකාලික කම්කරුවන් අතර ගැටුමක් ඇති විය. පසුව එම ගැටුම සමථය කිරීමට පොලිසිය පැමිණි අවස්ථාවේ අධික වේගයෙන් ගමන් ගත් පොලිස් ජීප් රථයකට පෙරියසාමි නම් කම්කරුවකු යට වී අනතුරට පත් වීම සමඟ කම්කරුවන්ගේ කෝපය උග්‍ර විය. මාර්ග අවහිර කරමින් පොලිසියට විරෝධය ප්‍රකාශ කළ කම්කරුවෝ ඉන් පසුව කර්මාන්ත ශාලාව ඉදිරිපිට රැස්වෙමින් සිය විරෝධය ප්‍රකාශ කළහ. මෙම අවස්ථාවේදී පොලිස් සැරයන් සුරවීර එල්ල කළ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් ගෝවින්දන් නම් කම්කරුවා ඝාතනය විය. ඒ 1940 ජනවාරි 10 දිනයි. එය මෙරට කඳුකර දෙමළ කම්කරු අරගල ඉතිහාසයේ පොලිස් වෙඩි පහරකින් සිදු වූ පළමු ඝාතනය විය. ලංකා සම සමාජ පක්ෂය කොළඹ ගෝල්ෆෙස් පිට්ටනියේ දැවැන්ත මහජන රැළියක් පවත්වමින් ගෝවින්දන්ගේ ඝාතනයට විරුද්ධත්වය ප්‍රකාශ කළේය.

කොමිසමක් ක්‍රියාත්මක වන බවින් විමර්ශන කටයුතු අවසන් වන තෙක් කම්කරුවන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග අත් හිටුවීමට තීරණය කරන ලදී. ඒ අනුව කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි පසු නීතිමය කටයුතු කල් දැමීමට එකඟ වන ලෙස ස්වදේශ කටයුතු පිළිබඳ ආමාත්‍යය ඩී.බී.ජයතිලක පොලිස්පති බාන්ක්ට උපදෙස් දුන්නේය. නමුත් අධිකරණය තුළ සිදුවුයේ වෙනස්ම සිදුවීමකි. විත්තියේ නීතිඥවරයා ඒ වනවිටත් සුදානම් කර තිබූ පරිදි කල් තැබීමට ඉදිරිපත් වූ විට, පොලිස් නිලධාරීහු එයට විරුද්ධ වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස කම්කරුවන් හත් දෙනෙකු වරදකරුවන් ලෙස නම් කළ අතර ඔවුන්ට මාස හයක සිර දඬුවම් නියම විය. වීරසාමිට ද  මාස තුනක දඬුවම් නියම විය. ආමාත්‍යය ඩී.බී.ජයතිලක මේ තත්වය පිළිබඳව පොලිස්පතිවරයාගෙන් කරුණු විමසා සිටි අතර එයට ප්‍රතිචාර දක්වමින් පොලිස්පතිවරයා විමසා සිටියේ අධිකරණ කටයුතුවලට ඇඟිලි ගැසිමට අමාත්‍යවරයාට ඇති බලය කුමක්ද යන්නයි. ඉන්පසුව අමාත්‍යවරයා පොලිස්පතිවරයා ඉවත්කරන ලෙස ආණ්ඩුකාර ඇන්ඩෘ කැල්ඩිකොට්ගෙන් ඉල්ලා සිටියේය. නමුත් ආණ්ඩුකාරවරයා පොලිස්පතිවරයාට සහය පළ කළේය. ගෝවින්දන්ගේ ඝාතන්‍ය පිළිබඳව ආණ්ඩුකාර කැල්ඩිකොට්ගේ මතය වුයේ පොලිසිය භාර ස්වදේශ ඇමති සභානායක සර්. ඩී. බී. ජයතිලක මේ පිළිබඳව වගකීම භාර ගත යුතු බවය. නමුත් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අමාත්‍ය මණ්ඩලය ඒකමතිකව තීරණය කළේ වගකීම පොලිස්පති බාන්ක් විසින් දැරිය යුතු බවය. මෙය ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලපැවති මුළු කාලය තුළම විශාල ව්‍යවස්ථාමය අර්බුදයකට තුඩ දුන් සිදුවීමක් විය. ආණ්ඩුකාරවරයාගේ තීරණයට දැඩිව විරෝධය පෑ ඇමති මණ්ඩලය සාමූහිකව සිය පදවිවලින් ඉල්ලා වුහ. අවසානයේ ආණ්ඩුකාර කැල්ඩිකොට් තත්වය සමථයකට පත් කරමින් ජී. ජී. පොන්නම්බලම් රාජ්‍ය මන්ත්‍රණ සභාවට කළ  යෝජනාවකට අනුව මුල්ඔය පොලිස් වෙඩි තැබීම සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත් කළේය. දීර්ඝ කාලීන සාක්ෂි විමසීමකින් පසුව එම තේරිම් කාරක සභාව විසින් ගෝවින්දන් ඝාතනය නීතිවිරෝධී බව ප්‍රකාශයට පත් කරන ලදී.


නාස්මයර් වැඩ වර්ජනය - 1946

ශ්‍රී ලංකා රාජ්‍ය ඉඩම් පිළිබඳව අනුගමනය කළේ ජාතීන් අතර ගැටුම් අවුළුවාලන වර්ගවාදී ප්‍රතිපත්තියකි. 1946 දී “නාස්මයර්” වතුයායේ ඇති වූ සිදුවීම ද රාජ්‍ය විසින් අනුගමනය කළ එම පටු වර්ගවාදී ප්‍රතිපත්තිය ඉස්මතු කරයි. නාස්මයර් යනු කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි රබර් වත්තක් වූ අතර 1946 දී ඊට අයත් ඉඩම් අක්කර 400ක් රජය විසින් අත්පත් කර ගැනීමට උත්සාහ කළේය. වතුයාය අත්පත් කරගැනීමේ ආරම්භයක් ලෙස කම්කරුවන් ජීවත්වන නිවාස වටා කටු කම්බි දමා ප්‍රවේශය වැළැක්වීමට පියවර ගන්නා ලදී. පසුව රජය විසින් එම ඉඩම් අත්පත් කරගෙන ඉඩම් නොමැති සිංහල ගොවීන් අතර බෙදා දෙන ලදී. රජය විසින් එම ඉඩම් අත්පත් කර ගැනීම හේතුවෙන් එම වතුයායේ විසූ ඉන්දීය දෙමළ කම්කරුවන්ගේ රැකියා අහිමි විය. වතුයායේ දිර්ඝකාලීනව රැඳී සිටි කම්කරුවන්ට වත්තෙන් ඉවත්වෙන ලෙස නියෝග ලැබුණ නමුදු ඔවුන් එසේ ඉවත්වීම ප්‍රතික්ෂේප කළ බැවින් ඔවුන් “සාපරාධී ලෙස අනවසරයෙන් ඇතුළුවීම”ට වරදකරුවන් වන බව අධිකරණය තීන්දු කළේය. අභියාචනා කළ නමුත් එම තීන්දුව යළි තහවුරු විය. අවසානයේදී ප්‍රිවි කවුන්සලය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන ලදී. එහිදී දෙමළ කම්කරුවන් නීත්‍යානුකූලව වතුයායේ රැඳී සිටින බැවින් අනවසරයෙන් රැඳී සිටින්නේය යන චෝදනාව පදනම් විරහිත හෙයින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලදී. මේ අතර ලංකා ඉන්දීය කොංග්‍රසය, දිවයිනේ සියලුම වතු කම්කරුවන්ගේ එක්දින වැඩවර්ජනයක් කැඳවීය. මෙම වැඩවර්ජනයට කැළණි මිටියාවත, කෑගල්ල, අවිස්සාවේල්ල, යටියන්තොට, මස්කෙළිය, හැටන්, නාවලපිටිය යන ප්‍රදේශවල  125,000කට අධික කම්කරුවෝ සහභාගී වූහ. 


ඩෙවෝන් වැඩ වර්ජනය

සේවකයන්ට පැවති එදිනෙදා ගැටළු කිහිපයක් පිළිබඳව කළමනාකාරීතවය දැනුවත් කළද ඒවාට නිසි අවධානයක් යොමු නොවීම නිසා කම්කරුවෝ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූහ. මේ අතරවාරයේ වතු වෘත්තීය සමිති නායකයෙක් වූ වෛතියලිංගම්ව ඝාතනය කිරීමට කළමනාකාරීතවය සැලසුම් කළේය. දිනක් රාත්‍රියේ වෛතියලිංගම් නිවසේ සිටින විට දෙදෙනෙක් දොරට තට්ටු කර වතු හිමිකරුට ඔහුව මුණ ගැසීමට අවශ්‍යය බව පවසමින් ඔහු කැටුව ගියේය. වෛතියලිංගම් බංගලාවෙන් පිටත්ව නැවත එන අතරමගදී ඔහුව ඝාතනයට ලක්විය. වතු අධිකාරීවරයා ඇතුළු පිරිස මෙම ඝාතනයට වගකිව යුතු නමුත් සාක්ෂි නොමැතිකම මත මෙම ඝාතනය සම්බන්ධයෙන් කිසිවෙකු අත් අඩංගුවට නොගන්නා ලදී.


මීරියද්ද වැඩ වර්ජනය - 1953

මීරියද්ද නොහොත් කැල්ඩෝනියාව වතුයාය නුවරඑළිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ඩොනල්ඩ් රණවීර සතු විය. මෙම වත්තේ කංගානී ක්‍රමය ක්‍රියාත්මක වූ අතර එමඟින් කම්කරුවෝ මහත් පීඩාවට පත්වුහ. වතු කළමනාකාරීත්වය සහ කංගානී වෘත්තීය සමිති ක්‍රියාකාරකම්වලට විරුද්ධ බැවින් කම්කරුවෝ වෘත්තිය සමිති ක්‍රියාකාරකම්වල නිරත වූයේ රහසිනි. එම වතුයායේ වෘත්තිය සමිති නායකයා වූ මුතුලිංගම් කළමනාකාරීත්වයට රහසින් රාත්‍රියේ තේ වත්තේ රැස්වීම් පැවැත්වීය. ඔවුහු තම දුක්ගැනවිලි, ප්‍රශ්න වාර්තා පොතක (Minute book) සටහන් කළහ.

මුතුලිංගම් එළුවන් ඇතිදැඩි කළ අතර දිනක් ඔහුට අයත් එළුවෙකු තේ වත්තේ තණ කෑම නිසා එළුවාට හිතාමතාම නිදැල්ලේ යෑමට ඉඩහැර ඇතැයි වත්තේ මුරකරු චෝදනා කළේය. එම චෝදනාව නිසා වතු කළමනාකාරීත්වය මුතුලිංගම්ට විරුද්ධව පරීක්ෂණයක් පවත්වන බවටත් ඒ සඳහා මුතුලිංගම්ට වතු කමිටුවේ පරීක්ෂණයට ඉදිරිපත් වන ලෙසත් දන්වා තිබුණි. මුතුලිංගම් නියමිත දින කමිටුවේ පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය. නමුත් වතු කළමනාකාරීත්වය ඔහුගේ ඉදිරිපත් වීම පිළිනොගත් අතර පරීක්ෂණය පැවැත්වීම ද ප්‍රතික්ෂේප කළේය. ඒ වෙනුවට මස්කෙළිය පොලිසිය වත්තට කැඳවන ලදී. පොලිසිය රාත්‍රියේ පැමිණ මුතුලිංගම්ව බලහත්කාරයෙන් ඔහු ජීවත්වෙන ලැයිම් කාමරයෙන් පිටතට ගෙන අමානුෂික ලෙස පහර දුන්හ. විරුද්ධ වන  කම්කරුවන් අත් අඩංගුවට ගන්න බවට ද තර්ජන කළහ.

පසුදින නැවත වත්තට පැමිණි පොලිසිය විසින් සාමය කඩ කිරීමේ චෝදනාව මත කම්කරුවන් 24 දෙනෙකු  අත් අඩංගුවට ගන්නා ලදී. පසුව අධිකරණය විසින් එම කම්කරුවන්ව ඇප මත නිදහස් කරන ලදී. කෙසේ නමුත් ඊට පසු දින වතු කළමනාකාරීත්වය එම කම්කරුවන්ව රැකියාවෙන් ඉවත් කළේය. අනෙක් කම්කරුවන්ට වෘත්තිය සමිතිය විසුරුවා හරින ලෙස තර්ජනය ද කළ නමුත් කම්කරුවෝ වෘත්තිය සමිතිය පවත්වාගෙන ගිය අතර, ප්‍රතිචාර ලෙස 1953 නොවැම්බර් මාසයේ දී දින 16ක් පුරා පැවති වැඩ වර්ජනයක් දියත් කළහ. කළමනාකාරීත්වය විසින් කම්කරුවන් බිය ගන්වමින්, වැඩවර්ජනය අපකීර්තියට පත් කරමින්  වැඩවර්ජනය කඩාකප්පල් කිරීමට උත්සාහ කළ ද ඒ සියලු ක්‍රියාමාර්ග අසාර්ථක විය. වැඩවර්ජනය දිගින් දිගටම ක්‍රියාත්මක වීම නිසා වතුයායේ සේවය කිරීමට පිටතින් කම්කරුවන් 40ක් රැගෙන ආ අතර ඔවුන්ගේ ආරක්ෂාව සඳහා මුරකරුවන් හට ආයුධ ද ලබාදෙන ලදී. මේ අතර කාන්තා කම්කරුවන් සහ කංගානී අතර ඇති වූ ගැටුමක දී මුරකරු විසින් වෙඩි තැබිම නිසා කම්කරුවන් 16ක් තුවාල ලැබූ අතර එක් අයෙකු බරපතල ලෙස තුවාල විය. ඔහු පසුව මහනුවර මහ රෝහල දී මිය ගියේය. වතු කළමනාකාරීත්වය එම මියගිය කම්කරුවාගේ දේහය වත්තට ගෙනඒම ප්‍රතිෂේප කළේය. පසුව එයට ප්‍රතිචාර ලෙස සියලුම කම්කරුවෝ වත්තෙන් පිටව ගියහ. පසුව එම වතුයාය වල් බිහි වී අත්හැර දමන ලදී.
 නුවරඑළිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ඩොනල්ඩ් රණවීර
ජායාරූපය උපුටා ගැනීම : www.historyofceylontea.com

ඩයගම  වැඩ වර්ජනය - 1956

1955 වනවිට ලංකා කම්කරු ක්‍රොංග්‍රසය තුළ සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ (1913-1999) සහ ලංකා ඉන්දීය කොංග්‍රසයේ නිර්මාතෘවරයෙක් වූ අබ්දුල් අසීස්ගේ (1912-1990) මූලිකත්වයෙන් යුත් කණ්ඩායම් දෙකක් ඇති විය. මෙම පාර්ශව දෙක අතර මතභේද සමථයකට පත් කළ නොහැකි වූ අතර අවසානයේ අසීස් ඔහුගේ සගයන් වූ සී.වී.වේළුපිල්ලේ, එස්.එම් සුබ්බහ්, කේ.ජී.එස්.නායිර් සහ පී.දේවරාජා සමඟ එක්ව 1956 ජනවාරි මාසයේ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය ආරම්භ කළේය. ඉන් පසුව දහස් ගණන් කම්කරුවෝ ලංකා කම්කරු කොංග්‍රසය අත්හැර ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසයට එකතු වූහ. නමුත් වෘත්තිය සමිතියක් ලෙස ලංකා කම්කරු කොංග්‍රසය පමණක් පිළිගත් ලංකා වතු හාම්පුතුන්ගේ සම්මේලනය  ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය  පිළිගැනීම ප්‍රතික්ෂේප කළේය. හැටන් සහකාර කම්කරු කොමසාරිස්වරයා මෙම ගැටලුව විසඳීමට සාකච්ජාවක් පැවැත්වූ අතර වතු කළමනාකාරීත්වය එම සාකච්ජාව පවා ප්‍රතික්ෂේප කළේය.

වතු කළමනාකාරීත්වයට විරෝධය පළ කරමින් 1956 මැයි මාසයේ ඩයගම අගරපතන වතු යායේ දැවැන්ත වැඩවර්ජනයක් ආරම්භ විය. ඊට කම්කරුවෝ 2000ක් පමණ සහභාගී වූහ. ඩයගම සහ අනෙකුත් වතුවල අසීස් සහ වේළුපිල්ලේ රැස්වීම් ගණනාවක් අමතා කරුණු කාරණා පැහැදිලි කළහ. මේ අතර පොලිසිය විසින් කම්කරුවන් අට දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබූ අතර වැඩවර්ජනය බිඳ දැමීමට පොලිසිය මැදිහත් විය. ඒ අනුව සන්නද්ධ පොලිස් භට පිරිසක් ඩයගම නැගෙනහිර කොටසට ඇතුළු වූහ. එහිදී පොලිසිය විසින් එල්ල කළ වෙඩි පහරකින් ඒබ්‍රහම් සිංඤෝ මරණයට පත්විය. මෙම ඛේදවාචකය සැල වූ විගස දහස් ගණන් දෙමළ කඳුකර කම්කරුවෝ එම ස්ථානය පැමිණියහ. කෝපයට පත් වූ කම්කරුවෝ පාලම් කඩා දැමූ අතර පොලිස් භට පිරිස වත්තට කොටු විය.. වතු අධිකාරීවරයා ද ඒ වනවිට වතුයායෙන් පලා ගොස් තිබුණි. ලංකා කම්කරු කොංග්‍රසය මෙම වැඩ වර්ජනයට සහභාගි නොවීය. නමුත් පොලිස් වෙඩි තැබීමේ සිදුවීමෙන් පසුව එහි සාමාජිකයෝ 60,000ක් පමණ වර්ජනයට සහය පළ කළහ.  තමන් අගමැති වීමෙන් පසුව ආරම්භ වූ පළමු වැඩවර්ජනය වූ මෙම වැඩවර්ජනය නවතා දැමීමට එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක උනන්දු විය. ඒ අනුව සමුළුවක් සඳහා වතුකරයේ වෘත්තිය සමිති, ලංකා වතු හාම්පුතුන්ගේ සම්මේලනය සහ කම්කරු කොමසාරිස්  කැඳවන ලදී. අසීස්, වේළුපිල්ලේ, තොණ්ඩමන් සහ ලංකා වතු කම්කරුවන්ගේ සංගමයේ නායක ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා යන අය ද මෙයට සහභාගි වූහ. එහිදී ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය වෘත්තීය සමිතියක් ලෙස පිළිගැනීමට ලක් විමත් සමඟ වැඩවර්ජනය නිමාවට පත්විය.

පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක් වූ ඒබ්‍රහම් සිංඤෝගේ අවමංගල්‍යය සඳහා 30000ට අධික කම්කරුවෝ සහභාගි වුහ. රතු සහ සුදු කොඩිවලින් සැරසු අවමංගල්‍යය භූමියේ අබ්දුල් අසීස් සහ ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වා රැස්ව සිටි ජනතාව ඇමතූහ. කම්කරු පංතිය වෙනුවෙන් දිවි පිදු කම්කරුවෙකුට උපහාර දැක්වීම සඳහා වතුකරයේ එබඳු රැස්වීමක් දක්නට ලැබුණු ප්‍රථම අවස්ථාව ඒබ්‍රහම් සිංඤෝගේ අවමංගල්‍යය අවස්ථාව විය.



මැඩෙනා වැඩ වර්ජනය - 1959

මාතලේ දිස්ත්‍රික්කයේ ගල්කඩුව ප්‍රදේශයේ පිහිටා තිබූ මැඩෙනා වතුයායේ කම්කරුවන්ගේ දුක්ගැනවිලි පිළිබඳව කළමනාකාරීත්වය අවධානයක් යොමු නොකරන ලදී. 1959 දී කම්කරුවෝ කළමනාකාරීත්වය දැනුවත් කරමින් පවසා සිටියේ තවදුරත් තමන්ගේ දුක්ගැනවිලි පිළිබඳව අවධානය යොමු නොකරන්නේ නම් වෘත්තිය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව යි. කළමනාකාරීත්වය ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් කම්කරුවන් කොටසක් වැඩවර්ජනයේ නිරත වූ අතර තවත් කොටසක් සූපුරුදු පරිදි සේවයේ නිරත විය. මේ නිසා වැඩ වර්ජකයන්, වැඩවර්ජනය නොකළ කම්කරුවන් සහ මුරකරුවන් අතර ගැටුමක් ඇති විය. එහිදී මුරකරුවෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් කළකාර මුත්තුසාමි බරපතළ ලෙස තුවාළ ලැබු අතර මහනුවර මහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව රෝහලේදී මිය ගියේය. ඉන්පසුව මාතලේ දිස්ත්‍රික්කයේ කම්කරුවෝ පනස්දහසක් වැඩ වර්ජනය කළහ. මුත්තුසාමිගේ දේහය මිහිදන් කිරීම සඳහා ඇල්කඩුව නගරයේ සිට වතු යාය වෙත පෙරහැරකින්  රැගෙන එන ලදී.


රු. 17.50ක විශේෂ ජීවන දීමනාව සඳහා කළ වැඩ වර්ජනය - 1965/66

1952 සිට ප්‍රබල ලෙස ආර්ථික වෙනස්කම් සිදු වී තිබියදීත්, සංශෝධනය නොකළ 1952 වර්ෂය මත පදනම්ව සකස් කිරීම හේතුවෙන් 1957 ජීවන වියදම් දර්ශකය තාත්වික නොවීය. මෙම වාතාවරණය තුළ රාජ්‍ය සේවකයෝ සහ වෘත්තිය සමිති කම්කරුවන්ගේ වැටුප් ඉහළ නංවන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණය කළහ. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක රජය රාජ්‍ය සේවකයන්ට මසකට රු 17.50ක විශේෂ ජීවන දීමනාව නමින් අතුරු දීමනාවක් ලබාදීමට එකඟ විය. ලංකා වතු හාම්පුතුන්ගේ සංගමය සහ වාමාංශික වෘත්තිය සමිති අතර ඇතිකර ගත් සාමූහික ගිවිසුමක් මඟින් 1959 මැයි මාසයේදී තේ සහ රබර් අපනයන වෙළදාම්හි නියැලෙන්නන් හට සහ 1965 දී ලංකා වතු සේවක සංගමයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් හට රු 17.50ක විශේෂ ජීවන දීමනා හිමිවිය. නමුදු මෙම විශේෂ ජීවන දීමනාව වතුකම්කරුවන් හට හිමි නොවුණි. ඒ නිසා අගමැති ඩඩ්ලි සේනානායක විසින් නම් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ තොණ්ඩමන්ගේ  ලංකා කම්කරු කොංග්‍රසය ඇතුළු වතුකරයේ සියලුම වෘත්තිය සමිති රු 17.50ක විශේෂ ජීවන දීමනාවක් ඉල්ලමින් උද්ඝෝෂණය කළහ. අසීස්ගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය 1966 ජූනි 13 දින වැඩවර්ජනය කරන ලෙස තම සාමාජිකයන් දැනුවත් කළේය. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාගේ නායකත්වයෙන් ලංකා වතු කම්කරුවන්ගේ සංගමයේ සහ සිතම්පෙරම් නඩේශන්ගේ නායක්ත්වයෙන් යුතු වූ එක්සත් වතු කම්කරුවන්ගේ සංගමය එක්ව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් වැඩවර්ජනයක් දියත් කිරීමට සහය ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. දහස් ගණන් කම්කරුවෝ සති තුනක් තිස්සේ  රු 17.50ක විශේෂ ජීවන දීමනා ඉල්ලමින් උද්ඝෝෂණය කළ නමුත් වැඩවර්ජනය දිගින් දිගටම පවත්වාගෙන යා නොහැකි විය.

අසීස්ගේ ඒකපාර්ශවික වැඩවර්ජන ප්‍රකාශ කිරීම ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ප්‍රසිද්ධියේ විවේචනය කළ අතර, තොණ්ඩමන් කම්කරුවන් පාවාදීම හෙළා දුටුවේය. ඔහු මෙසේ පැවසුවේය, “මෙම අරගලය තුළින් නැවතත් තොණ්ඩමන් මහතාගේ ප්‍රතිගාමී භුමිකාව හෙළිදරව් කරයි. එසේම ඔහු තම සාධාරණ අයිතීන් වෙනුවෙන් සටන් කළ සටන්කාමී වතු කම්කරුවන්ට එරෙහිව ධනේශ්වර පාංතිකයන් සමඟ සිටගෙන ඇත. කිසිදු සැකයක් නැත. මෙහි ප්‍රතිඵයක් ලෙස, රජය සහ හාම්පුතුන් තොණ්ඩමන් මහතාගේ ඉල්ලීම පරිදි වතුකම්කරුවන්ට සුළු සහනයක් ලබා දීමට උත්සාහ දරනු ඇත.” 

ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාගේ අනාවැකිය පරිදිම දිනකට ශත 10ක සොච්චම් වැටුප් වැඩිවීමක් සහ ජයැජන දff පහසුකම් ලබාදුන් 1967 අංක 3 දරණ සාමූහික ගිවිසුමට ලංකා කම්කරු ක්‍රොංග්‍රසය  අත්සන් තබන ලදී. ඒ මඟින්, වෘත්තිය සමිති සාමාජික ගාස්තු කම්කරුවන්ගේ වැටුපෙන් අඩු කර සංගමයට ලැබෙන සේ ඉඩ සළසා දීම හරහා සාමාජික මුදල් සෘජුවම එකතු කිරීමේ ක්‍රමය ඉවත් කරන ලදී.


මයිලිට්ටිය වැඩ වර්ජනය - 1968

මයිලට්ටිය වතුයාය පිහිටා තිබුණේ රත්නපුර දිස්ත්‍රික්කයේය. කුටියපිල්ලෛ නම් කම්කරුවෙක් මෙම වත්තේ වෘත්තිය සමිතියක් පිහිට වු අතර  කරන ලද වැඩ සඳහා වැටුප් නොගෙවීම සහ මූලික පහසුකම් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම වැනි මූලික ගැටළු කිහිපයක් අරඹයා කම්කරුවෝ වැඩවර්ජනයක් ආරම්භ කළේය. එම වර්ජනය මාස තුනක කාලයක් පැවැතුණි. වතු කළමනාකරු විසින් පත් කළ නව සහකාර අධිකාරීවරයා කම්කරුවන්ට තම ලයින් කාමරවලින් හෝ වත්තෙන් පිටතට නොයන ලෙස නියෝග කළේය. කම්කරුවන් දැඩි නිරීක්ෂණයට යටත් වූ අතර සුපුරුදු පරිදි සතිපතා ලබාදුන් සලාකය ද ලබා නොදෙන ලදී. තවද වැඩ කිරීම සඳහා පිටතින් පුද්ගලයන් ගෙන්වා ගැනීමද සිදු විය. සතිපතා යාඥා පැවැත්වීමට වත්තට පැමිණි රත්නපුර ප්‍රදේශයේ පූජක ජේකබ් පියතුමා මෙම ප්‍රශ්නය පිළිබඳව අවධානය යොමු කරමින් කච්චේරි නිලධාරීන් ද මැදිහත් කරගනිමින් සලාක නැවත ලබා දීම ආරම්භ කළේය. මේ අතර 1968 ඔක්තෝම්බර් 27 දින කම්කරුවන් කිහිපදෙනෙකු නගරයේ සිට වත්තට පැමිණෙමින් සිටියදී, වතු කම්හලේ  මුරකරුවෙකු සමඟ ගැටුමක් ඇති විය. එහිදී මුරකරු විසින් ඇන්තනිසාමි නම් කම්කරුවාට වෙඩි තබා මරා දමන ලදී.


නාලන්ද  වැඩ වර්ජනය - 1970

මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි නාලන්ද වතුයාය පෞද්ගලික වතුයායකි. එහි කම්කරුවන් වෘත්තිය සමිතියක් පිහිටුවා ගෙන තිබුණි. 1970 දෙසැම්බර් 30 වැනිදා රාත්‍රියේදී වතු කළමනාකාරීත්වය වත්තට මැර කණ්ඩායමක් රැගෙන ආවේය. පොලු, කඩු, පිහිවලින් සන්නද්ධ වූ එම මැරයන් පැමිණීමට පෙර කම්කරුවන්ට පුර්ව අනතුරු ඇඟවීමක් ලැබී තිබූ නිසා කාන්තාවන් සහ ළමයින් වතුයායෙන් පිටත් කරන ලදී. කම්කරුවන් එල්ල කල ප්‍රතිප්‍රහාර හමුවේ මැරයන් පළා ගියහ. පසුදින කම්කරුවෝ සේවයට පැමිණි විට මුරකරුවෝ ඔවුන්ට ආක්‍රෝෂ පරිභව කළහ. ආරුමුගම් නම් කම්කරුවා මුරකරුවන්ව ප්‍රශ්න කළ අතර මුරකරුවෝ වෙඩි තැබූහ. වෙඩි පහරින් තුවාල ලැබූ වතු කම්කරු ස්ත්‍රියක් මිය ගියාය. තුවාල ලැබූ තවත් වතු කම්කරුවෝ දෙදෙනෙක් පසුව මිය ගියහ. මාතලේ සහ හැටන් ප්‍රදේශවල වෘත්තීය සමිති එදිරිවාදීකම් පසෙක ලා රැස්වීම් පවත්වා සිදුවීමට එරෙහිව එක්ව ක්‍රියා කළහ. 

කීනකැලේ වැඩ වර්ජනය - 1970

1970 දී ඌව පළාතේ  ස්ටර්ලින් සමාගම පාලනය කළ මෙම වත්තේ කම්කරුවෝ දින 90ක් වැඩවර්ජනයක නිරත වුහ. රෝගාතුර වූ කම්කරුවෙකු රෝහලට ගෙන යාමට වතු කළමනාකාරීත්වය විසින් වාහනයක් නොසැපයීම නිසා වාහනයක් සොයා ගැනීම සඳහා සැතපුම් හතක් පමණ ගොස් වතු වෛද්‍ය සහායකයාගෙන් අවසර ගැනීමට සිදුවීම එම වර්ජනයට හේතුව විය. කම්කරුවන්ගේ වැඩවර්ජනය ආරම්භයේ පටන්ම මර්දනය කිරීමට කළමනාකාරීත්වය උත්සාහ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සන්නද්ධ බලඇණියක් වත්තට ඇතුළු විය. කම්කරුවෝ වතු කම්හල අසළ රැස්ව සිටි අතර එහිදී පොලිසිය බැටන් පොලු ප්‍රහාර එල්ල කරමින්, වෙඩි තබමින් කම්කරුවන්ගේ වැඩවර්ජනය මර්දනය කළේය. වෙඩි පහරින් අලගර්සාමි (22) සහ රමිෂ් (26) බරපතළ ලෙස තුවාල ලැබූ අතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගියහ. මියගිය කම්කරුවන්ගේ මළ සිරුරු වත්තට ගෙනයාමට පොලිසිය පළමුව අවසර නොදුන් නමුත් පසුව ඉඩ ලබා දෙන ලදී. කෙසේ නමුත් මෙම අවමංල්‍යයට කම්කරුවන්ට හෝ  සාමාන්‍ය ජනතාවට  සහභාගි වීමට අවසර හිමි නොවූ අතර ඥාතීහු කිහිපදෙනෙක් පමණක් සහභාගී වූහ.

ඉංග්‍රීසි ජාතික සමර්විල් නම් වතු පාලකයා කීනකැලේ ක්වීන්ස්ටවුන් සමඟ ඒකාබද්ධ කිරීමට සැලසුම් කළේය. එමඟින් වතු කම්කරුන්ව සහ කාර්ය මණ්ඩලයට අහිතකර බලපෑමක් සිදුවන බැවින් 1970 දී ලංකා වතු මාණ්ඩලික සංගමයට අයත් වතු කම්කරුවෝ වැඩ වර්ජනයක් නිරත වුහ. මෙම සැලැස්මට විරෝධය පළ කරමින් සංගමයේ ඌව ශාඛාවද වැඩ වර්ජනයක් දියත් කළේය. නිෂ්පාදන කටයුතු අඩාල වූ නමුත් පසුව කාර්ය මණ්ඩලය සහ කම්කරුවන් කමිටුවක් පිහිටුවා මාසයකට ආසන්න කාලයක් ආයතනය පවත්වාගෙන ගියහ.


පුඬළුඔය චොයිසි වත්තේ අරගලය - 1976/77

1972 වතු ඉඩම් ජනසතු කිරීම සමඟ කඳුකර දෙමළ ජනතාවට වෙනස් කොට සැළකීමේ ප්‍රතිපත්තිය සහ ඔවුන්ට එරෙහි  ප්‍රචණ්ඩත්වය තව දුරටත් වර්ධනය විය. නමුත් තවදුරටත් තමන්න් වෙත එල්ල වු ප්‍රචණ්ඩ ක්‍රියා සහ බිය ගැන්විම් හමුවේ නිඬව නොසිටි කම්කරුවෝ සහ වෘත්තීය සමිති එක්ව ඒවාට විරුද්ධව සටන් කළහ. ඒ අනුව 1976 දී පූඬළුඔය චොයිසි වත්ත අවට ගම්වැසියන් හට බෙදා දීම සඳහා එම වත්තේ වාසය කළ කඳුකර දෙමළ ජනයාට වත්තෙන් ඉවත් වන ලෙස රජය නියෝග කළේය. නමුත් ඔවුහු එම නියෝගය නොතකා වත්තේ රැඳී සිටීමට තීරණය කළ අතර තමන්ට එරෙහිව සිදු කරන වෙනස් කොට සැළ්කීමේ ප්‍රතිපත්තියට සිය විරෝධය ප්‍රකාශ කරන්නට වූහ. ඒ අනුව එතෙක් සිංහල ජනයාට පමණක් ලබා දී තිබූ ඉඩම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා පුරවැසියන් ලෙස ලියාපදිංචිව සිටි කඳුකර දෙමළ වැසියෝ ඉල්ලු‍ම් කළහ. එසේම කම්කරුවෝ වෘත්තිය සමිති සමඟ එක් වී 1977 අප්‍රේල් මාසයේදී වැඩවර්ජනයක් ආරම්භ කළහ. එම වැඩවර්ජනය සඳහා පිළිතුරු දෙමින් කම්කරු කොමසාරිස්වරයා පැවසුවේ ‘වතු ජනසතුකරණය කිරීම සඳහා කම්කරුවන් ඔවුන්ගේ වාසභූමි තුළින් ඉවත් කිරීම සිදු නොකළ යුතු‘ බවයි. ඒ අනුව අවසානයේ රජය සහ කම්කරුවන් එකඟතාවයට පැමිණීමෙන් පසු වැඩවර්ජනය අවසන් කරන ලදී. නමුත් රජයේ නිලධාරීන්ගේ උසිගැන්වීම් මත සන්නද්ධ මැර කණ්ඩායම් ඩෙවොන් (තලවාකැලේ) සහ සන්කුගාර් (පුස්සැල්ලාවේ)  කම්කරුවන් වෙත පහර දුන්හ. එම ප්‍රහාරවලින් එක් කම්කරුවෙකු ඝාතනය විය.


වතු අධිකාරීවරුන්ගේ උද්ඝෝෂණය -  1977

සාමාන්‍යයෙන් වතු අධිකාරීවරයාගේ කාර්ය භාරය වූයේ වර්ජනවලට එරෙහිව කටයුතු කිරීම සහ බිඳ දැමීමයි. කෙසේ නමුත් එක් අවස්ථාවකදී ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලට එරෙහිව කටයුතු කිරීමට වෘත්තිය සමිති සහය ලබාගැනීමට ඇතැමුන්ට සිදු විය. 1976 වසරේ වලපනේ එම්.පී.ටී.බී.එම්.හේරත් ලිඩස්ඩේල් වත්තේ අධිකාරී ත්‍යගරාජා හමුවී මුදල් ඉල්ලා සිටියේය. නමුත් ත්‍යාගරාජා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර, පසුව මන්ත්‍රීවරයා වලපනේ පොලිසියට ගොස් පැමිණිල්ලක් කරමින් කියා සිටියේ ත්‍යාගරාජාගේ දියණිය පිස්තෝලයකින් තමාට වෙඩි තැබීමට උත්සාහ කළ බවයි. එදින රාත්‍රියේ පොලිසිය විසින් ත්‍යාගරාජාගේ දියණිය අත් අඩංගුවට ගැනීමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක විය.

1977 මහ මැතිවරණය ආසන්න වන විට, හොඳින් වැඩුණු තේ ඉඩම් විශාල ප්‍රමාණයක් තම දේශපාලන ආධාරකරුවන්ට ලබාදීමට රජය උත්සහ කළේය. කම්කරුවෝ මෙයට විරෝධය ප්‍රකාශ කළහ. පතන ඩෙවෝන් වත්තේ එවැනි ඉඩමක් මායිම් කිරීමට මිනින්දෝරුවන් වත්තට ඇතුළු වූ අතර, එහිදි ඇති වූ ගැටුමකදී පොලිස් නිලධාරියෙක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් සිවනු ලෙට්සුමන් නමැති කම්කරුවා මරණයට පත් විය. ඔහුගේගේ අවමංගල්‍යයට වෘත්තිය සමිති නායකයෝ ඇතුළු බොහෝ පිරිසක් සහභාගි වුහ.

වර්ජකයෝ ප්‍රධාන කරුණු තුනක් මුල් කරගෙන සිය විරෝධය ප්‍රකාශ කළහ. එනම්,
ඩෙල්ටා සහ සැන්ක්වාර් වතුවල කම්කරුවන්ට සිදු කරන හිරිහැර නතර කිරීම.
නුවරඑළිය සහ මස්කෙළිය ප්‍රදේශවල නීතිවිරෝධී ඉඩම් අන්සතු කිරීම වහාම නතර කිරීම.
සී.ත්‍යාගරාජාගේ දියණියට විරුද්ධව ගොනු කර ඇති බොරු පැමිණිල්ල ඉවත් කිරීම.

ලංකා කම්කරු සංගමය, ලංකා වතු මාණ්ඩලික සංගමය, ලංකා වතු කම්කරුවන්ගේ (රතු කොඩි) සංගමය සහ ජාතික කම්කරු සංගමය යන සංගම්වලින් මෙම විරෝධතාකරුවන්ට සහය හිමි විය. කොළඹ ගාලුමුවදොර පිටියට ගොස් සිය විරෝධය ප්‍රකාශ කිරීමට බොහෝ දෙනෙක් රැස් වූ නමුත් පොලිසිය සාකච්ජා කිරීමට එකඟ වීම නිසා එම විරෝධතාවය අවලංගු කරන ලදී.

 

1000 ව්‍යාපාරය - 2015 


දෙමළ තරුණ ප්‍රජාව සහ සිවිල් සමාජ ක්‍රියාකාරීහු කොළඹ කොටුව දුම්රියපොළ අසළ සිට ගාලු මුවදොර වෙත පා ගමනින් ගොස්  ජනාධිපති ලේකම් කාර්යාලය අභියස කළ විරෝධතාවය - 2018 ඔක්තෝම්බර් 24 - ජායාරූපය උපුටා ගැනීම : www.jdslanka.org


1998 වසරේ දී චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව යටතේ සාමූහික ගිවිසුම හඳුන්වා දුන් අතර එම ගිවිසුම වසර දෙකින් දෙකට අලුත් කෙරේ. 1998න් පසුව කඳුකර දෙමළ කම්කරුවාගේ වැටුප, සේවා සැපයීම කළ යුතු දින ගණන් සහ තේ වතුවල ක්‍රියාපාටිපාටිය තීරණය කළේ වෘත්තිය සමිති සහ වතු හිමිකාර පෞද්ගලික ව්‍යවසායකයන් අතර ඇති කරගන්නා ලද සාමූහික ගිවිසුමක් මඟිනි. 2015 වසරේ අත්සන් කළ සාමූහික ගිවිසුම මඟින් කඳුකර දෙමළ කම්කරුවන්ගේ වැටුප රු. 515 සිට රු.620 දක්වා ඉහළ නංවන ලදී.  2015 වසරේ දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ සිය මූලික වැටුප රු.1000ක් දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලමින් කම්කරුවෝ අරගල කිරීම ආරම්භ කළහ. ඊට ප්‍රතිචාර ලෙස 2016 වසරේ මුලික වැටුප රු.500ක් කර, මිල දර්ශක මත දීමනාව රු.30 සහ දිරි දීමනාව හා පැමිණීමේ දීමනාව රු.200කින් ඉහළ නංවන ලදී. ඒ අනුව දෛනික මුළු වැටුප රු.730ක් විය. නමුත් කම්කරුවෝ දිගින් දිගටම ඉල්ලා සිටියේ සිය මූලික වැටුප රු.1000 දක්වා ඉහළ නංවන ලෙසයි. 2017, 2018 වර්ෂවල ජීවන වියදම් ඉහළ ගියද වැටුප් ඉහළ යාමක් සිදු නොවීය. 

තමන් ඉල්ලා සිටි වැටුපට වඩා අඩු වැටුප් වැඩිකිරීමක් සඳහා වැවිලිකරුවන්ගේ සංගමය හා වෘත්තීය සමිති නියෝජිතයන් අතර ඇති කරගත් එකඟතාවයට සිය විරුද්ධතාව ප්‍රකාශ කරමින් 2018 ජුලි 27 දින හැටන් දික්ඔය ට්‍රිලරි වත්තේ ඉහළ කොටසේ විරෝධතාවයක් අරඹන ලදී. එකී විරෝධතාවය කඳුකරය පුරා පැතිරයන්නට වූ අතර ඒ අනුව ආගරපතන වෙවර්ලි වත්තේ කරුපයියා ධර්මලිංගම් හා ග්ලාස්ගෝ වත්තේ සුප්පයියා සත්‍යෙන්ද්‍රා උපවාසයක් ආරම්භ කළහ. එම උපවාසයට සහය පිණිස 2018 අගෝස්තු 14 දින කම්කරුවෝ 2000ක් පමණ තවලවාකැලේ-ඩයගම මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කළහ. 2018 සැප්තැම්බර් 23 දින තලවාකැලේ නගරයට එකතු වූ කම්කරුවෝ සිය දෛනික මූලික වැටුප රු.1000කින් ඉහළ නංවන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණය කළහ. 2018 ඔක්තෝම්බර් 21 වන විට ලිඳුල, තලවාකැලේ, නානුඔය හා හැටන් යනාදී ලෙස කඳුකරය පුරාම කම්කරුවෝ එක්ව සිය විරෝධතා උද්ඝෝෂණ සිදු කළහ. 2018 ඔක්තෝම්බර් 24 දෙමළ තරුණ ප්‍රජාව සහ සිවිල් සමාජ ක්‍රියාකාරීහු කොළඹ කොටුව දුම්රියපොළ අසළ සිට ගාලු මුවදොර වෙත පා ගමනින් ගොස්  ජනාධිපති ලේකම් කාර්යාලය අභියස විරෝධතාවයේ නියැලුණහ. එදින රාත්‍රීයේ කැරළි මර්දන පොලිසිය විසින් විරෝධතාකරුවන්ට පහර දී විරෝධතාවය විසුරුවා හරින ලදී. කොළඹ උද්ඝෝෂණයට සමගාමීව හැටන් නගරයේ ද විරෝධතා පෙළපාලියක් පැවත්වූ අතර ඊට සහය පළ කරමින් හැටන් නගරයේ වෙළඳසැල් වසා හර්තාල් ව්‍යාපාරයක් ද දියත් විය. 

කම්කරුවන්ගේ අරගල හමුවේ වතුහිමියන් විසින් රු.700කින් මූලික වැටුප ඉහළ නැංවීම සඳහා යෝජනාවක් ගෙන එන ආ අතර, වතුකරය නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ කිසිදු විරෝධය පෑමකින් තොරව ඊට එකඟ විය. ඒ අනුව 2019 සාමූහික ගිවිසුම මඟින් මූලික වැටුප රු.700ක් බවට පත් කරන ලදී. කම්කරුවෝ මෙම යෝජනාවට එරෙහිව හැටන්, බගවන්තලාව ප්‍රදේශවල මාර්ග අවහිර කරමින්  විරෝධය දැක්වූහ. 2019 ජනවාරි 23 දින වෘත්තිය සමිති, රාජ්‍ය නොවන සංවිධාන, ශිෂ්‍ය කණ්ඩායම්, බහුජන සංවිධන සහ වාමාංශික පක්ෂ එක්ව දෛනික මූලික වැටුප රු.1000ක් කළ යුතු බවට වූ කඳුකර දෙමළ කම්කරුවන්ගේ අරගලයට සහය පළ කරමින් කොළඹ උද්ඝෝෂණය කළහ. 

දේශපාලනාධිකාරියේ පොරොන්දු, යෝජනා කිසිවක් ක්‍රියාත්මක නොවූ අතර වතු හාම්පුතුන් දිගින් දිගටම වැටුප් ඉහළ නැංවීමට විරුද්ධ වූහ. වතු කම්කරුවන්ගේ වැටුප් ගැටළුව සම්බන්ධයෙන් කටයුතු කිරීමට 2021 දී නව පඩි පාලක සභාවක් පත් කරන ලදී. එහිදී සම්මත වූ දෛනික මූලික වැටුප රු.1000ක් කිරීමේ යෝජනාවට එරෙහිව විරෝධතා 400ක් ලැබුණු බව කම්කරු දෙපාර්තමේන්තුව දක්වයි. පඩි පාලක සභාව හාම්පුතුන්ගේ විරෝධතා මැද බහුතර එකඟතාවෙන් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් කිරීමේ තීරණය අනුමත කළ අතර, 2021 මාර්තු 05 දින සිට ක්‍රියාත්මක වන පරිදි  රජය විසින් නිවේදනය කළ අංක 2217/37 දරණ ගැසට් නිවේදනය මඟින් කම්කරුවන් සඳහා ගෙවිය යුතු අවම  දෛනික වැටුප රු.900ක් ලෙසත් අයවැය දීමනාව ලෙස රු.100ක් ලෙසත් ඉහළ නංවන ලදී. පඩි පාලක සභාවේ නියෝගයට පටහැනිව යම් පිරිසක් ක්‍රියාත්මක වන්නේ නම්, ඔවුන්ට මාස 06ක සිර දඬුවම් හෝ දඩයක් නියම කිරීමේ නෛතිකමය නීතිමය ප්‍රතිපාදන තිබෙන නමුත් තවමත් අවම දෛනික වැටුප ලෙස රු.1000 ගෙවීම සිදු නොවේ. දෛනික වැටුප ලෙස රු.1000ක් හිමිවීමට වතු කම්කරුවන් විසින් දිනකට තේ දළු කිලෝ 20ක් නෙලීම, මාසයේ සෑම දිනකම සේවය කිරීම යන අසාධාරණ කොන්දේසි වතු හාම්පුතුන් විසින් පනවා ඇත. ඒ නිසා ප්‍රායෝගිකව කිසිදු වතු කම්කරුවෙක් රු.1000ක දෛනික වැටුපක් නොලබයි.




සටහන :  රියෝ

සහෘදස්පන්දන : 2023 පළමු කලාපය