ලිංගනාදන්ගේ සිට දර්ශන් දක්වා : අපි කැමති දෙමළ ප්‍රතිරූපයක මරණය

                  



සටහන : රියෝ


දර්ශන් ධර්මරාජ් හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය ඔක්තෝබර් 2 මිය ගියේය. ඔහු සිඩ්නි චන්ද්‍රසේකරගේ ,A9,  ටෙලි නාට්‍යයෙන් සහ තුෂාර පිරිස් විසින් අධ්‍යක්ෂණය කළ ‘ප්‍රභාකරන්‘ - (2008) චිත්‍රපටය හරහා සිය රංගන ජීවිතය ඇරඹුවේය. ඉන්පසුව ඔහු මචං (2008), ඉර හඳ යට (2009)  ඉනිඅවන් (2012), මාතා (2012), නෝ ඇඩ්‍රස් ( 2015) ආදි නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය සැපයූවේය. ඒ අතරින් අශෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කළ ‘ඉනිඅවන්‘ (2012) චිත්‍රපටය වෙනුවෙන් හොඳම නළුවා - දෙරණ ලක්ස් සිනමා සම්මානය (2013) සහ හොඳම නළුවා - හිරු රන් සිනමා සම්මානය (2014) දිනා ගැනීමට සමත් විය. 

දර්ශන්ගේ හදිසි මරණයත් සමඟ දර්ශන් පිළිබඳව විවිධාකාර අදහස් සමාජ මාධ්‍ය හරහා සංසරණය විය. මෙම අදහස් නිරීක්ෂණය කරන විට, පෙනී යන ගැඹුරු දේශපාලනික ගැටළු කිහිපයකි. එකක් ලිංගනාදන් ධර්මරාජ් සිය නළු සිහිනය සැබෑ කරගැනීම පිණිස දර්ශන් ධර්මරාජ් වී සිංහල සමාජය කැමති දෙමළෙක් බවට පත් නොවී නම් දර්ශන් පිළිබඳව වර්තමානයේ සිංහල සමාජයේ නිර්මාණය වී ඇති කතිකා උඩුයටිකුරු වීමේ යථාර්ථයයි. සිංහල සමාජය ආසක්ත වන එකී ‘පරිකල්පිත දෙමළා‘ නොවන වෙනත් දෙමළෙකුට ලාංකීය (සිංහල) සිනමාව තුළ පය ගසා සිටිය හැකිද යන්න දෙවැන්නයි.


පරිකල්පිත දෙමළා සහ සැබෑ දෙමළා

සිංහල සමාජ මනෝ භාවය තුළ විවිධාකාරයේ උපකල්පන මත ගොඩනඟන ලද පරිකල්පිත දෙමළෙක් සිටියි. බහුතර සිංහල ජනයා මෙම පරිකල්පිත දෙමළාට කොතරම් ප්‍රේම කරනවාද කිවහොත්, මේ දෙමළා අපි විසින්ම නිර්මාණය කරගන්නා ලද, අපේ ආශාවන් මත අපේ ෆැන්ටසිය තුළ සිටින දෙමළෙක් වග අමතකව යයි. සිංහල සමාජය විසින් මෙම පරිකල්පිත දෙමළා නිර්මාණය කිරීමෙන් නොනැවතී එම පරිකල්පිත දෙමළා සමඟ සැබෑ දෙමළා සසඳමින්, පරිකල්පිත දෙමළා සේ හැඩ ගැහෙන ලෙස සැබෑ දෙමළාට පවසයි. සිංහල ජනයා සැබෑ දෙමළාගේ ප්‍රශ්නවලට පිළිතුරු සකසන්නේද එකී පරිකල්පිත දෙමළා දෙස බලමිනි. සිංහලයාගේ පරිකල්පිත දෙමළා යනු සිංහල සමාජයේ මතවාදවලට පහසුවෙන් එකඟ වන, සිය ගැලවුම්කාරයා සිංහල සමාජය බවට සිතන, තමන්ගේ දෙමළ ප්‍රභූ තන්ත්‍රයට නිතර රැවටෙන, වාර්ගික දේශපාලන අභිලාෂයක් නැති දෙමළාය. යම් හෙයකින් දෙමළ ජාතිකයෙක් සතුව වාර්ගික දේශපාලන අභිලාෂයක් තිබේ නම් එම දෙමළා සිංහල සමාජයට තර්ජනයක් බව සිංහලයා සිතයි. දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීම් නොසළකා හැර, දෙමළාගේ අයිතිවාසිකම් උල්ලඝණය කරමින් දෙමළාට එරෙහිව සිදු කරන රාජ්‍ය මර්දනය පිළිබඳව අඳ ගොළු බිහිරන් සේ සිටිමට සිංහල සමාජය උත්සුක වන්නේ එනිසාය.

සිංහල බෞද්ධ චින්තනයේ සීමා මායිම් ලකුණු කිරීම තීරණය කරනු ලබන්නේ මහාවංශය විසිනි. දෙමළාගේ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමටත්, තේරුම් ගැනීමටත්  සිදුව ඇත්තේ මහාවංශ චින්තනය විසින් නිර්මාණය කළ ඉතිහාසයෙනි. සිංහලයා සහ දෙමළා එකතුව වෙසන ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනු වෙනුවට මහාවංශ චින්තනය තුළින් නිර්මාණය කර ඇත්තේ දුටුගැමුණු වාදයයි. ඊට අනුව සිංහලයාගේ පරම සතුරා දෙමළාය. ඒ පරම සතුරා වන දෙමළාට සිංහලයා සමඟ එක් වී ලාංකීය අනන්‍යතාවයක් නඩත්තු කිරීමට අවශ්‍ය නම් එම දෙමළාගේ අනන්‍යතාවය සිංහල සමාජය තුළ දියකර දැමිය යුතුය. 

මුත්තයියා මුරලිදරන් බී.බී.සී ය සමඟ කරන ලද සාකච්ජාවකදී පවසන්නේ “තුන් වේල කන එක මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයට වඩා වැදගත්” බවයි. සිංහල සමාජයේ බහුතරයක් එම ප්‍රකාශය සමඟ දැඩි ලෙස එකඟ වෙමින් මුරලිව අගය කළහ. ලාංකීය ජාතියක් වශයෙන් ගොඩනැඟීමට නම් මුරලි සේ විය යුතු යැයි ඔවුහු ප්‍රකාශ කරති. මුරලි චැනල් ෆෝ සමඟ කළ සාකච්ජාවක් තුළ දී ”යාපනයේදී මව්වරුන් විස්සක්, තිහක් ඇවිල්ලා හඬමින්, වැළපෙමින් කරන පැමිණිලි සත්‍යය බව පිළිගන්නේ කෙලෙසදැ?” යි විමසමින් උතුරේ අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ මව්වරුන් පිළිබඳ අදහස් දක්වයි. සිංහල සමාජය විසින් ආශා කරන සහ සිංහල සමාජය වඩාත් තෘප්තිමත් කරන දෙමළා වන්නේ දෙමළා රාජ්‍ය මර්දනයට ලක්වීම මුසාවක් බව කියාපන මුරලි වැනි දෙමළුන්ය. යම් හෙයකින් මුරලි මේ සම්බන්ධව මීට ප්‍රතිවිරුද්ධ අදහසක් දැරුවේ නම්, මුරලිට සිංහල සමාජය තුළ වර්තමානයේදී හිමි ස්ථානයට කුමක් වේද? 

දර්ශන් ධර්මරාජ් පිළිබඳව මතු කළ යුත්තේද මෙම සරල යථාර්ථයයි. දර්ශන් රක්වාණ වැනි දුර බැහැර අප්‍රසිද්ධ ග්‍රාමයක උපත ලබා බොහෝ කටුක වූ මාර්ගයක් ඔස්සේ පැමිණ සිංහල සිනමාව තුළ සිය ස්ථාවරත්වය තහවුරු කර ගත්තේය. ඔහුම පැවසූ ඔහුගේ ජීවිත කතාවට අනුව දර්ශන් නළුවෙක් වීමට ජීවත්වීම පිණිස බොහෝ දුක් පීඩා විඳි අයෙකි. විශේෂයෙන් යුද්ධය පැවති සමයේ දෙමළ ජනයා පොදුවේ දකුණේ සමාජයට ත්‍රස්තවාදීන් විය. සෑම දෙමළෙකුම සිය දෙමළ බව නිසාම දැඩි පරීක්ෂාවට ලක් විය. එවක නළුවෙක් නොවූ දර්ශන්ටද හිමි වූයේ එම ත්‍රස්තවාදී නාමකරණයමයි. දර්ශන් පසුකාලීනව රංගන ජීවිතයට අවතීර්ණ වන්නේත් සිනමාව තුළ කතාබහට ලක්වන්නේත් කොටි සංවිධානය නියෝජනය කරන ත්‍රස්තවාදී යැයි සම්මත චරිත හරහාය. දර්ශන්ගේ නම නොදන්නා බොහෝ පිරිසක් ‘කොටි චරිත රඟපෑ දෙමළා‘ ලෙස දර්ශන්ව හඳුන්වන බව නොරහසකි.


 ප්‍රභාකරන් ( 2008)



ප්‍රතිපත්ති සහ ආර්ථික අර්බුද අතර තේරීම

ඔස්කාර් සිනමා උළෙලෙහි හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූ පළමු කළු ජාතික නළුවා වන සිඩ්නි පොයිටර්, සිය ප්‍රතිපත්තිවලට එකඟ නොවන බැවින්  The Phoneix City (1955) හි රඟපෑම ප්‍රතික්ෂේප කරන ලද්දේ ඔහුගේ රංගන ජීවිතය ආරම්භයේය. එසේම ඔහු වරක් “ඔතෙලෝ” හි  රඟපෑමද ප්‍රතික්ෂේප කළේ ඔහුගේ රංගනයෙහි අනන්‍යතාව ඔහුගේ කළු ජාතිකත්වය බවට පත් වීමට ඔහුට අවශ්‍ය නොවූ හෙයිනි.

දර්ශන් රංගන දිවිය ආරම්භ කළේ ‘ත්‍රස්තවාදී චරිත’ නිරූපණය කරමිනි. එසේ ඔහු සිය දෙමළ අනන්‍යතාවය සිංහල සමාජය ප්‍රිය කරන දෙමළා නඩත්තු කිරීම සඳහා කැප කිරීම ඇරැඹූ මොහොතේම ලිංගනාදන් ධර්මරාජ් නම් දෙමළාගේ අනන්‍යතාවය නඩත්තු කිරීම ඔහු විසින් අත්හැර දමන ලදී. සිංහල සමාජයේ කල්පිත දෙමළා බවට පරිවර්තනය වීම මඟින් ඔහුට දෙමළ වීම නිසා ඇති වූ ප්‍රශ්නවලින් යම් ප්‍රමාණයකට මිදීමට හැකි විය. ලිංගනාදන්ට ප්‍රතිපත්ති මත තීරණ ගැනීමට පසුබිමක් නොතිබුණ අතර ඒ වෙනුවෙන් ඔහුට තේරීමක් කරන්නට සිදු විය. ඒ තමන්ගේ ප්‍රතිපත්ති මත රැඳෙමින් සිනමාව තුළ රැඳීමට උත්සහ දරනවාද, නැතහොත් සිංහල සමාජයේ පරිකල්පිත දෙමළා නඩත්තු කරනවාද යන්නයි. ඔහුගේ තීන්දුව තුළින් ඔහුට සිංහල සිනමාව අතික්‍රමණය කිරීමටත්, සිංහල සමාජය තෘප්තිමත් කරමින් සිංහල ප්‍රේක්ෂකයන් දිනා ගැනීමටත් හැකි විය. නමුත් ලිංගනාදන් සහ දර්ශන් තුළින් නිරූපණය වන එක් සත්‍යයක් පැහැදිලිව පෙනේ. එනම්, සිංහල බෞද්ධ අනන්‍යතාවය කේන්ද්‍ර කරගත් සිංහල සිනමාව තුළ එකී අනන්‍යතාවය අභියෝගයට ලක් කරන හෝ විවේචනය කරන දෙමළ හෝ මුස්ලිම් නළුවෙක්ට ලාංකීය සිනමා කර්මාන්තයත්, සිංහල ප්‍රේක්ෂකාගාරයත් වශී කර ගැනීමට නොහැකි බවයි.



සිංහල බෞද්ධ අනන්‍යතාවය කේන්ද්‍ර කරගත් සිනමාව 

ලංකාවේ සිනමා වංශකතාව ආරම්භ වන්නේ දෙමළ ජාතිකයන්ගේ දායකත්වය මතය. කර්මාන්තයක් වශයෙන් ලංකාවේ සිනමාව නඟා සිටුවීමට දෙමළ නිෂ්පාදකවරු, කැමරා ශිල්පීහු, සංගීත අධ්‍යක්ෂවරු බොහෝ සේ කැප වූහ. ලංකාවේ පළමු කතානාද චිත්‍රපටය වන ‘කඩවුණ පොරොන්දුව (1947)' නිර්මාණය කළේ දෙමළ ජාතිකයෙක් වන එස්.එම්. සිවනාගයම් විසිනි. දේශීයව නිපදවූ පළමු චිත්‍රපටය වන ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ‘රේඛාව‘ (1956) නිර්මාණය කිරීමෙන් පසුව සිනමාව සඳහා රාජ්‍ය අනුග්‍රහය හිමි වූ අතර සිංහල අනන්‍යතාවය පදනම් කරගත් සිනමා නිර්මාණකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු විය.  දෙමළ සිනමාව කෙරෙහි රාජ්‍ය අනුග්‍රහයක් හෝ අවධානයක් යොමු නොවූ අතර  ලාංකීය සිනමාව ලෙස පොදුවේ ව්‍යවහාරයට ලක් වුවද එම සිනමාව තුළ දෙමළ සිනමාව බිඳ වැටෙමින් හුදකලා විය. තවද, දේශීය සිනමාව වශයෙන් සිංහල බෞද්ධ අනන්‍යතාවය පදනම් කරගත් සිනමාව දියුණු වූ අතර එම කර්මාන්තය පොදුවේ ලාංකීය සිනමා කර්මාන්තය ලෙස ව්‍යවහාරයට ලක් විය. එකී සිංහල සිනමාව තුළ සිංහල බෞද්ධ සමාජය විසින් මුහුණ දුන් ප්‍රශ්න පිළිබඳ චිත්‍රපට නිර්මාණය වූ අතර පසුකාලීනව එම සිංහල බෞද්ධ අනන්‍යතාවයට හානි කරන පිරිස් ද්‍රෝහින් ලෙස වර්ග කරමින් ප්‍රචාරණවාදී චිත්‍රපට නිර්මාණය වීම දක්වා එය වර්ධනය විය. ලංකාවේ සිවිල් යුද්ධය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය කළ චිත්‍රපට බොහෝමයක් මෙසේ ප්‍රචාරණවාදී (Propaganda) චිත්‍රපට වූ අතර ඒ තුළින් සමාජ ගත කළේ යුද්ධය පිළිබඳව ඒක පාර්ශ්වික කියවීමකි. අනෙක් පසෙන් ඓතිහාසික සිංහල බෞද්ධ ආගමික කතා සිනමාකරණය හරහා සියුම් අයුරින් අන්‍යාගමිකයන් නිර්ධය ලෙස විවේචනයට ලක් කරන ලදී. සනත් ඔබේසේකර විසින් අධ්‍යක්ෂණය කළ අනගාරික ධර්මපාලගේ චරිතය පදනම් කරගත් ‘අනගාරික ධර්මපාල ශ්‍රිමතාණෝ‘ එයට හොඳම නිදසුනකි.

දර්ශන් ධර්මරාජ් ලාංකීය සිනමා කර්මාන්තය යැයි සැබෑ ලෙස ගනුදෙනු කළේ මෙකී සිංහල බෞද්ධ අනන්‍යතාවය කේන්ද්‍ර කරගත් සිංහල සිනමාව තුළය. එකී සිනමාව තුළ දර්ශන්ට හිමි වුණේ සිංහල ජනයා දකින්නට කැමති ‘ත්‍රස්තවාදියාගේ’ චරිතයයි.  දර්ශන් එම චරිත රඟපෑම ප්‍රතික්ෂේප කළේ නම් ඔහුට සිංහල සිනමාව තුළ ඔහුගේ නළු සිහිනය යථාර්ථයක් කර ගැනීමට ඉඩක් හිමි වනු ඇතිද?  දර්ශන් විසින් රඟපෑ එම චරිත සිංහල ප්‍රේක්ෂකාගාරය වශී කිරීමට සමත් වූයේ සිංහල ප්‍රේක්ෂකයන්ගේ පරිකල්පිත ලෝකය තෘප්තිමත් කළ හැකි වූ හෙයිනි. දර්ශන් පණ පෙව්වේ සිංහල ප්‍රේක්ෂකාගාරය බලාපොරොත්තු වන දෙමළාගේ චරිතයටයි. සිංහල ගැළවුම්කාර මානසිකත්වය ආමන්ත්‍රණය කළ ගාමිණි, ප්‍රභාකරන් වැනි චිත්‍රපටවල දර්ශන්ගේ රඟපෑමට සිංහල ප්‍රේක්ෂකයන් වඩාත් ප්‍රිය කරන්නේ එම නිසාය.


ප්‍රභාකරන් ( 2008)



පරිකල්පිත දෙමළා අභියෝගයට ලක් කිරීම

උතුරේ බිහි වූ ජ්‍යෙෂ්ඨ සිනමාකරුවෙක් වන කේසවරාජන් නවරත්නම් පසුගිය වසරේ මිය ගියේය. ඔහු අවම පහසුකම් යටතේ යුධ වාතාවරණය මැද සිනමාකරණයේ නියැලුණු දක්ෂ අධ්‍යක්ෂවරයෙකි. ඔහුගේ 'අම්මා නල්ලමා? '(අම්මේ, සුවෙන්ද?) සිනමා පටය හරහා සන්නද්ධ අරගලයේ යෙදුණු දෙමළ ජනයාගේ ජීවන යථාර්ථයත්,'කඩරෝල කාට්රු' (මුහුදු සුළං) සිනමාපටය තුළින් දෙමළ සන්නද්ධ අරගලයේ අත්දැකීමුත් “පනෛමරක්කාඩු“ (තල් කැලෑව) සිනමා පටය හරහා යුද්ධයට මුහුණ දුන් මිනිසුන්ගේ මිනිස් සබඳතාත් සිනමාවට නැඟීමට උත්සාහ කළේය. නමුත් ලාංකීය සිනමාව හෝ දකුණේ සමාජය ඔහුගේ හදිසි මරණය පිළිබඳව කිසිදු ලෙසකින්වත් සංවේදී වූයේ නැත. දර්ශන් පිළිබඳවත්, ලංකාවේ දෙමළ සිනමාව ගැනත් වර්තමානයේ සංවේදී වෙමින් සිටින කලාකරුවෝ බහුතරයක් එදා කේසවරාජන්ගේ වියෝවෙන් කම්පිත වූයේ නැත. එයට හේතුව කේසවරාජන් සිංහල සමාජය මවාගෙන සිටි කල්පිත දෙමළාට ප්‍රතිවිරුද්ධ අදහස් දරමින් ජීවත් වු දෙමළෙකු නිසාද? සිංහල සමාජය ආකර්ෂණය කරමින් නිර්මාණය වූ යුධකාමී, දෙමළ වැසියන් දුෂ්ටයන් කරමින් සහ යුද්ධය පිළිබඳව ඒක පාර්ශ්වික මෙන්ම අර්ධ සත්‍ය කරුණුද සමාජ ගත කරමින් නිර්මාණය වූ සිංහල සිනමාපට විවේචනය කළ කේසවරාජන් උතුරේ දෙමළ වැසියන්ට යුක්තිය ඉටු විය යුතු බවට විශ්වාස කරමින් ඒ වෙනුවෙන් අදහස් දැක්වූ අයෙකි. එබැවින් සිංහල සමාජය පිළිගන්නා, ඔවුන්ගේ පරිකල්පිත දෙමළාට සාපේක්ෂව කේසවරාජන් යනු සැබෑ දෙමළෙකි, එනම් ද්‍රෝහියෙකි. කේසවරාජන් දකුණේ කලාකරුවන් සමඟද ගනුදෙනු කළ දෙමළ සිනමාවේ පශ්චාත් යුධ සමයේ පුරෝගාමී චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි. ජාතිකත්වය මත බෙදීම් ඛණ්ඩනය නොවුණ  ලාංකික සිනමාවක් පැවතියේ නම් කේසවරාජන්ගේ සිනමා නිර්මාණ සඳහා මීට වඩා අවධානයක් සහ ඇගයීමක් ලැබෙන්නට ඉඩ තිබුණි. එසේම එම සිනමා නිර්මාණ දකුණේ සිංහල ප්‍රේක්ෂකාගාරය වෙත පැතිරීමටද  ඉඩ තිබුණි. නමුත් අප රටේ ලාංකීය සිනමාවක් නොමැතිකම නිසාවෙන් දෙමළ සිනමාවේ පශ්චාත් යුධ සමයේ පුරෝගාමී චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූ කේසවරාජන් තවත් එක් දෙමළෙක් පමණක් විය. එම නිසා කේසවරාජන්ට දකුණේ සිංහල සිනමාව අතික්‍රමණය කිරීමට නොහැකි විය. සිංහල සිනමාව අතික්‍රමණය කිරීමට නම් සිංහල සමාජය ප්‍රිය කරන දෙමළෙකු විය යුතුය. එසේ වීමට නම් කේසවරාජන් හට සිය දෙමළ අනන්‍යතාවය දිය කිරීමට සිදු වන අතර, ඒ වෙනුවට ඔහු තෝරා ගනු ලැබුවේ සිංහල සමාජයේ පරිකල්පිත දෙමළාට අභියෝග කිරීමයි. එබැවින්, කේසවරාජන්ගේ මරණය හෝ ඔහුගේ නිර්මාණ පිළිබඳව සිංහල ජනතාව සංවේදී නොවීම අරුමයක් නොවේ.


ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ චෝදනාව මත වව්නියාව, මාන්කුලම්හිදී අත්අඩංගුවට ගෙන ලංකාවෙන් පිටුවහල් කළ කිවියර වී.අයි.එස්. ජෙයබාලන් ගැනද සංවේදී වීමට දකුණේ සමාජයට හෝ දකුණේ කලාකරුවන්ට අමතක විය. ජෙයබාලන් යනු ලාංකීය දෙමළ කවියෙකි. එමෙන්ම වර්තමානයේදී දකුණු ඉන්දියානු සිනමා නළුවෙකි. ලංකාවේ උපත ලද ඔහු යාපනය විශ්වවිද්‍යාලයේ පළමු ශිෂ්‍ය සංගම් නායකයාද විය. නමුත් 2013 දී ඔහුව ත්‍රස්තවාදියෙකු ලෙසත්, ජාතීන් අතර වෛරය පතුරුවන්නෙකු ලෙසත් නම් කරමින් සිය මව් රටෙන් පිටුවහල් කරන විට ඊට විරුද්ධත්වයක් ලාංකීය සිනමාවෙන් හෝ කලාකරුවන්ගෙන් යොමු වූයේ නැත. ඔහු පිටුවහල් කිරීමේදී එම කලකාරුවෝ නිහඬ වුහ. දකුණේ සමාජය ජෙයබාලන් ත්‍රස්තවාදියෙකු ලෙස නම් කරමින් දිවා වරුවේ ඔහු රඟපෑ චිත්‍රපට ආශාවෙන් නැරඹීය. සිංහල සමාජයට ප්‍රශ්න තිබෙන්නේ කොලිවුඩ් සිනමාවේ රඟපාන ජෙයබාලන් සමඟ නොව , සිංහල සමාජය මවාගෙන සිටින පරිකල්පිත දෙමළාට අභියෝග කරන ජෙයබාලන් සමඟය. එබැවින් එකී ජෙයබාලන් පිළිබඳව සිංහල සමාජය හෝ දකුණේ සිංහල කලාකරුවන් සංවේදී නොවීමද අරුමයක් නොවේ. 


ශ්‍රී ලාංකීක සම්භවයක් සහිත කලාකරුවන් අතරින් ලෝකයේ  වඩාත් ඉහළ ජනප්‍රියත්වයක් ලබා සිටින පොප් තරුවක් ලෙස මතංගි ”මායා” අරුල්ප්‍රගාසම් හෙවත් MIA හැඳින්විය හැක. යාපනයේ ඉපිද පසුකාලීනව සරණාගතයෙකු ලෙස බ්‍රිතාන්‍යයට ගොස් පසුව පොප් තරුවක් වූ ඇයගේ නිර්මාණ බොහෝමයකට යුද්ධය, සමාජීය ප්‍රශ්න සහ දේශපාලන ප්‍රචණ්ඩත්වය තේමාවන් විය. නමුත් ශ්‍රී ලංකාව තුළ ඇය සළකන්නේ ද්‍රෝහියෙකු ලෙසය. එයට හේතුව ඇය විසින් දේශපාලනික කාරණා  මතු කිරීම සහ උතුරේ සිවිල් යුද්ධයේදී රජය විසින් දෙමළ වැසියන්ට එරෙහිව සිදු කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ අදහස් දැක්වීමය. ඇය මතු කරන ලද කාරණා පිළිබඳව දකුණේ  බහුතරයක් වූ සිංහල සමාජයට තවමත් තේරුම් ගැනීමට වුවමනාවක් නොමැති අතර, තමාට අවාසිදායක වන බැවින් එම කරුණු සිතාමතාම අමතක කිරීමට ඔවුහු උත්සාහ කරති. ඒ තරමට සිංහල සමාජය රාජ්‍ය අපරාධකාරීත්වය ස්වභාවීකරණය කර ගනිමින් සිටියි. MIA යුද්ධය නාමයෙන් සිදු වූ වර්ග සංහාරය පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස් දැක්වූ අතර, දෙමළ ජනතාව ආරක්ෂා කිරීමටත් ඔවුන්ට යුක්තිය ඉටු කිරීමටත් ඒ සඳහා ජාත්‍යන්තරය මැදිහත් වීමේ අවශ්‍යතාවයත්  අවධාරණය කළාය. එබැවින් මතංගි ”මායා” අරුල්ප්‍රගාසම් හෙවත් MIA සිංහල සමාජ දෘෂ්ටි කෝණයට අනුව වීරෝදාර සිංහල හමුදාවට අපහාස නඟන රජය අපහසුතාවයට පත් කරමින් රට පවා දෙන ද්‍රෝහී කාන්තාවකි.



සිංහල සිනමාව තුළ සිංහල සමාජයේ පරිකල්පිත දෙමළාගේ චරිතයට පණ පෙවූ පළමු සහ අවසාන දෙමළා දර්ශන් නොවේ. ඔහුට පෙර සිංහල සමාජයේ කල්පිත දෙමළාට අනුගත වෙමින් රංගනයේ නිරතවූවන් ලෙස මර්වින් මහේෂන්, නඩරාජා ශිවම් යනාදි පුද්ගලයන් නම් කළ හැකිය. ප්‍රශ්නය වන්නේ ඔවුන්ට සිංහල සමාජයේ පරිකල්පිත දෙමළාට අභියෝග කරමින් නැගි සිටීමට නොහැකි වූයේ ඇයිද යන කාරණයයි. ලාංකීය සිනමාවක් වෙනුවට සිංහල බෞද්ධ අනන්‍යතාවය පදනම් කර ගනිමින් වර්ධනය වූ ශ්‍රී ලංකාවේ සිනමාව තුළ දෙමළ සිනමාවේ බිඳ වැටීමත් සමඟ සිනමා නළුවෙක් ලෙස මතු වීමට නම්, සිංහල සිනමාව තුළ ඉහළට යාමට නම් සිංහල ප්‍රේක්ෂකයා තෘප්තිමත් කරන පරිකල්පිත දෙමළා බවට පරිවර්තනය වීම හැර වෙනත් කිසිදු අවස්ථාවක් නොමැත. 

මේ ඛේදවාචකය ප්‍රශ්න කිරීමට බොහෝ දෙනා මැළි වෙති. ශ්‍රී ලංකාවේ කලාකරුවෝ වනාහී අසාධාරණය හමුවේ නිහඬ වන, රාජ්‍ය මර්දනය සමඟ අත්වැල් බැඳ ගන්නා පිරිසකි. 1973 ඔස්කාර් සම්මාන උළලේදී රතු ඉන්දියානුවන් හට හොලිවුඩ් සිනමා කර්මාන්තය තුළ සිදු වූ අසාධාරණකම්වලට මාලන් බ්‍රැන්ඩෝ සිය විරෝධය ප්‍රකාශ කළේය. එහෙත් දකුණ කේන්ද්‍රීය ලාංකීය සිනමාව තුළ මාලන් බ්‍රැන්ඩෝ කෙනෙක් තවමත් බිහි වී නැත.