“ත්‍රස්තවාදය කියලා කියන්නේ අදහස් ප්‍රකාශ කිරීමට ද?” - අහ්නාෆ් ජසීම්

 

සංවාදය - ජෙගන් ගනේෂන්

1995 වසරේ පුත්තලමෙහි කල්පිටිය ග්‍රාමයේ උපන් අහ්නාෆ් ජසීම් වෘත්තියෙන් ගුරුවරයෙක් විය. 2020 වසරේ දී ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලද්දේ කවි එකතුවක් පළ කිරීමේ වරදට යි. දින 587ක් රඳවා ගත් අහ්නාෆ් ඇප මත නිදහස් වූ අතර පසුව ‘ත්‍රස්තවාදී’ ලැයිස්තුවට ඔහුගේ නම ඇතුළත් කරන ලදී. මේ, රාජ්‍ය මර්දනයේ ගොදුරක් වන්නට වූ ලේඛක අහ්නාෆ් සමඟ සහෘදස්පන්දන කළ සහෘද සංවාදය යි. 


01 - ඔබව දින 579 ක් සිරගත කළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන නැවතත් දකුණේ සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා. ඒ ගැන ඔබට දැනෙන්නේ මොකක්ද?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් අවශ්‍ය නැහැ. ත්‍රස්තවාදය වළක්වනවා කියන නමින් මේ පනත රජය භාවිතා කරන්නේ, රජයේ තීරණවලට විරුද්ධව හඬ නගන අයව මර්දනය කරන්නයි. මුල දී මේක දෙමළ ජනයාට විරුද්ධවත්, ඊට පස්සේ මුස්ලිම් ජනයාට විරුද්ධවත්, දැන් මහාජාතිය වන සිංහල ජනයාට විරුද්ධවත් භාවිතා කරනවා. මොකද දැන් ඔවුන් තමයි රජයට එරෙහිව සටන් කරන්නේ. 1989/90 භීෂණ සමයේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දකුණේ සිංහල තරුණයන්ට විරුද්ධව මෙම පනත යොදාගත්තා.


මේ පනත භාවිත කරන්නේ අසාධාරණයට විරුද්ධව හඬක් නගන අයව මර්දනය කරන්න. රාජ්‍ය තමන්ගේ බලය තහවුරු කරගන්න මේ පනත යොදා ගන්නවා. මේක බොරු පනතක්. ඒ නිසා මේ වගේ පනතක් රටට අවශ්‍ය නැහැ.

02. ඔබව අත්අඩංගුවට ගන්නේ ලංකාවේ ඇති වූ මුස්ලිම් විරෝධයේ ප්‍රතිඵලයක් ලෙස. ඔබව අත්අඩංගුවට ගත් අන්දම සහ ඒ පසුබිම කෙටියෙන් විස්තර කළොත්?

2020 මැයි 16 වැනිදා තමයි මාව අත්අඩංගුවට ගත්තේ. 2019 මාර්තු 30 වැනිදා දක්වා මම බේරුවල ප්‍රදේශයේ ඉගෙනීමේ කටයුතු කරගෙන හිටියා. උසස් පෙළ ලියලා, බාහිර උපාධියක් හදාරමින් හිටියේ. මාර්තු 30 වෙනිදා වෙද්දී අධ්‍යයන වැඩ අවසන් වුණා. අප්‍රේල් 21  පාස්කු ප්‍රහාරය සිදු වුණා. අපිට කොහෙටවත් යන්න බැරි වුණා. ඒ දවස්වල ගෙදර නිකම් තමා හිටියේ. එහෙම ඉන්නකොට පුත්තලමේ, මදුරන්කුලියේ තියෙන ජාත්‍යන්තර පාසලක  දෙමළ ගුරුවරයෙකුට රැකියා පුරප්පාඩුවක් තියෙනවා කියලා මම දැක්කා. ඒකට අයදුම් කරලා සම්මුඛ පරීක්ෂණ රැසකට පස්සේ මාව තෝරාගත්තා. 2019 ජූලි 02 වැනිදා  මම පත්වීම් භාරගත්තා. ඒ පාසලේ දරුවන් ප්‍රථම වතාවට සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න හිටියේ. ඉංග්‍රීසි පාසලක් වුණත් දෙමළ භාෂාව අනිවාර්ය නිසා ඔවුන් මාව බඳවා ගත්තේ 9,10,11  ශේණිවලට දෙමළ සාහිත්‍ය උගන්වන්න. ඒ දරුවන්ට වැඩිපුර උගන්වන්න කියලා පාලනාධිකාරියෙන් කිව්වා. එතකොට මම මගේ ලොකු අම්මාගේ ගෙදර නතර වෙලා ඉඳලයි බස් එකෙන් පාසලට ගියේ. ඊට පස්සේ දරුවන්ට වැඩි දුරටත් උගන්වන්න ඕන නිසා පාසලේ නිල නිවාසයේ නතර වෙලා උගන්වන්න පටන් ගත්තා. ඒ සැප්තැම්බර් 02 වැනිදා. සාමාන්‍ය පෙළ විභාගය ඉවර වුණා ම මම නිල නිවාසයෙන් ආවා. නමුත් මගේ ඇඳුම්, පොත් එහෙම එහේ තිබුණා. මම ඒ ටික අරන් ආවේ නැහැ. 2020 මාර්තු 20 වගේ වෙද්දී කොරෝනා නිසා ලංකාවේ පාසල් සේරම වගේ වැහුවා. ඊට පස්සේ මන්නාරමේ ඉඳන් පුත්තලමේ තිබුණ මගේ ගෙදරට ආවා. මම මාස දෙකක් වගේ ගෙදර හිටියේ. මාව අත්අඩංගුවට ගත් හේතුව මම නතර වෙලා හිටිය ගොඩනැඟිල්ල. ඒක තමයි මේකට මුල් වෙලා තිබුණේ. ඒ ගොඩනැඟිල්ල පාසලට අයිති එකක් නෙවෙයි. ඒ ගොඩනැඟිල්ල අයිති කාටද කියන එක මම දැනගෙන හිටියේ නැහැ. ඒක පාසලේ එකක් නෙවෙයි කියලා මම දැනගත්තෙත් මාව අත්අඩංගුවට ගත්තාට පස්සේ. ආයෙත් මහ මැතිවරණයක් ආවා. ඒ වෙනුවෙන් ආයෙත් මුස්ලිම් විරෝධයක් ඇති කරන්න මාවත් භාවිත කළා කියලා කියන්න පුළුවන්. ඒකෙන් තමා අසීමිත බහුතර බලයක් දිනාගත්තේ. මුස්ලිම් ජනයාට එරෙහි ආණ්ඩුවේ වර්ගවාදී ප්‍රහාරයේ දිගුවක් විදිහට තමයි අර ගොඩනැඟිල්ල පරීක්ෂාවට ලක් කරන්නේ. 2017 වසරේ දී මම එළිදක්වපු කවි පොතක පිටපතක් එහෙ තිබුණා. ඊට පස්සේ තමා මැයි මාසයේ 16 වැනිදා මාව අත්අඩංගුවට ගත්තේ. 


03. ඔබව දිගු කලක් ගතවන තුරු විනිසුරුවරුන් හමුවට පැමිණුවේ නැහැ. සිර භාරයේ දී ඔබ මුහුණ දුන් අත්දැකීම් කෙබඳුද?

මේක ආයෙත් කියන්න ඕනේ කියලා හිතද්දී පොඩි බියක් දැනෙනවා. ඔවුන් අත්අඩංගුවට අරන් ගිහින් මානසිකව වධ දෙනවා. ශාරීරිකව වධ දෙන එකට වඩා මානසිකව වධ දෙන එක දරුණුයි. කෙනෙක් මානසිකව වැටුණාම ජීවත් වුණත් එකයි නැතත් එකයි කියන මට්ටමට එනවා. වෙන කෙනෙකුට වධ දෙන හැටි පෙන්වනවා. එක එක විදිහට තියෙනවා. තනි කරලා තියනවා. කන්න, බොන්න දෙන්නේ නැහැ. තවත් ගොඩාක් දේවල් තියෙනවා. සමහර දේවල් තියෙනවා, ඒවා ප්‍රසිද්ධියේ කියන්න අමාරුයි. දණ ගස්සලා ප්‍රශ්න කරනවා. එක අතක් උඩින් අරන්, අනිත් අත යටින් අරන් මාංචු දානවා. එහෙම කළා ම විනාඩි 15කින් ඔළුව කැරකෙන්න ගන්නවා. පැයක් විතර එහෙම තියෙනවා. ප්‍රශ්න කරද්දී ඔළුව මේසයේ, බිත්තියේ හප්පනවා, නිදාගන්න දෙන්නේ මාංචු දාලා ඉද්දීමයි. මෙයාලා දෙන දඩුවම් වෛද්‍ය පරීක්ෂණයේ දී අහුවෙන්නේ නැහැ. එයාලාට මේවා ශාරීරිකව හොයාගන්න බැහැ. මේවා අදියර මට්ටමින් තමයි කරන්නේ. සමහර අය මූලික අදියරයේ දීම එයාලා කියන දේවල්වලට එකඟ වෙනවා. මේ යටතේ අත්අඩංගුවට පත් වුණ අය විතරයි දන්නේ මෙහෙම නීතියක් තියෙනවා, මේ විදිහට වධ දෙනවා කියලා. සාමාන්‍ය මිනිසුන් දන්නේ නැහැ. ඇතුළේ ගොඩාක් කාන්තාවන් අත්අඩංගුවේ ඉන්නවා. එයාලා එකක් දරුවන් පවා ඉන්නවා. නිලධාරීන් කියන දේවල් පිළිගන්න ඕනේ, කියන තැන්වලට අත්සන් කරන්න ඕනේ. නැත්නම් ‘අවුරුදු 20 ක් හිරේ දානවා‘, ‘අවුරුදු එකහාමාරක් මෙහෙ හිර කරලා තියාගෙන ඉන්නවා‘, ‘අපි තමා දෙවියෝ අපි කියන දෙය තමා මෙතැන වෙන්නේ‘ කියලා තර්ජනය කරනවා.  

04. පසුගිය දවස්වල තිබුණ ඉන්ධන අර්බුදය අතර පවා ඔබට අත්සන් කරන්න පුත්තලම ත්‍රස්ත මර්දන කොට්ඨාසයට යන්න වුණා...

ඔව්. මට ඇප දුන්නේ දැඩි කොන්දේසි සහිතව. දැන් තමයි මුන්දලමට ගිහින් අත්සන් කරන්න තිබුණ එක මන්නාරමට මාරු කරලා දුන්නේ. මම නිදහස් වුණේ පසුගිය අවුරුද්දේ දෙසැම්බර් 16 වෙනිදා. එහෙම බැලුවොත් මාස 8 ක් මම අත්සන් කළේ මුන්දලමේ. වාහනවල යන්න ඉන්ධන නැහැ.  ආරක්ෂාවක් නැති නිසා මට තනියෙන් කොහෙවත් යන්න එපා කියලා මගේ නීතිඥවරු මට උපදෙස් දුන්නා. ඒ නිසා තාත්තා එක්ක හරි මල්ලි එක්ක හරි තමයි යන්නේ. එහෙම වුණොත් අත්සන් කරන්න යන්න දෙන්නෙකුගේ ගමන් වියදම් දරන්න වෙනවා. පාරේ බස් ධාවනය අඩුයි. මගේ ස්ථිර ලිපිනය වෙනස් කරන්නත් බැහැ. මම ඉන්න ඕනේත් මන්නාරමේමයි. පුත්තලමේ කුලියට ගෙයක් අරන් නතර වෙලා ඉන්නත් බැහැ. හැම මාසයකම පළමු ඉරිදාත් අවසන් ඉරිදාත් උදේ 9යි 12යි අතර අත්සන් කරලා තියෙන්නත් ඕනේ. මන්නාරමේ ඉඳලා කොහොම හරි ආවත් අත්සන් කරලා යන්න බස් තියෙන්නේ නැහැ. බස් නැති නිසා ලොරියක නැඟලා අත්සන් කරන්න යන පින්තූරයක් මම සමාජ මාධ්‍යයේ පළ කළා. ඉඳලා ඉඳලා බලලා බැරිම තැන තමයි ඒ ලොරියේ නැඟලා ගියේ. ඒක යකඩ බඩු එකතු කරන ලොරියක්. ඒකේ එල්ලිලා ගියා. ඇත්තටම මේක ශාරීරික වධයක්. හැම මාසයක ම යන්න ඕනේ. මට හරියට රස්සාවක් නැහැ. උගන්වන්න ගිහින් ආයෙත් මම අන්තවාදී ක්‍රියාවට සම්බන්ධයි කියලා කිව්වොත් මාව නැවතත් අත්අඩංගුවට ගනියි. මට දීලා තියෙන්නේ නීතිපතිවරයාගේ විශේෂ අනුමැතියක් සහිත ඇපයක් විතරයි. එයාලා හිතුවොත් මම අන්තවාදී ක්‍රියාවක් කරනවා කියලා ඇප අවලංගු කරන්නත් පුළුවන්. ඒ නිසා මට රස්සාවක් කරන්න බැහැ. එළියට යන්න විදිහක් නැහැ. කාත් එක්කවත් තනියෙන් යන්න බැහැ. අපි ජීවත් වුණේ ආර්ථික අර්බුද මැද. අත්සන් කරන්න යන්න එන්න විතරක් ලොකු ගාණක් වියදම් වෙනවා. අත්සන් කරලා එන්න දවසක් ම යනවා. පාන්දර තුනේ බස් එකට නැග්ගොත් තමා උදේ වෙද්දී පුත්තලමට එන්න පුළුවන් වෙන්නේ. මේ අපහසුතා අධිකරණයට දැනුම් දුන්නායින් පස්සේ මාස දෙක තුනකට කලින් අලුතින් පටන් ගත්ත මන්නාරම ත්‍රස්ත විමර්ශන ඒකකයට අත්සන් කරන්න කියලා මාරු කළේ. 

05. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මත කළේත් මුලින්ම භාවිතා කළේත් දෙමළ සමාජය මර්දනයට බව ප්‍රසිද්ධ කරුණක්, පසුව එයට මුස්ලිම් සමාජය ගොදුරු වුණා..

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, හදිසි නීතිය ආණ්ඩුව තම බලය තහවුරු කරගන්න මහජනයා මත යොදවනවා. ඒකට ජාතිය, ආගම, ප්‍රදේශය කියලා භේදයක් නැහැ. ආණ්ඩුවට එරෙහිව ඉන්න ඕනෑම කෙනෙකුට මේ පනත භාවිත කරනවා. මිනිස්සුන්ට කතා කරන්න අයිතියක් නැහැ. අදහස් දක්වන්න බැහැ.  ඒ දවස්වල දෙමළ අය අයිතීන් වෙනුවෙන් හඬ නගපු නිසා ඔවුන්ට විරුද්ධව භාවිතා කළා. ඊට පස්සේ මුස්ලිම් ජනයා. දැන් සිංහල ජනයාට විරුද්ධව භාවිත කරනවා.


06. ඔබේ කවි සම්බන්ධයෙන් විවිධ දේශපාලනඥයන් විවිධ අර්ථකථන ඉදිරිපත් කළේ සිංහල පරිවර්තනයක් එන්නත් කලින්. ඔබට ඒ ගැන දැනුන හැඟීම මොකක්ද?

ත්‍රස්ත විමර්ශන ඒකකයේ ඉන්න දෙමළ පරිවර්තකයන් පවා හරියට දෙමළ භාෂාව ගැන  දන්නේ නැහැ. මාව අත්අඩංගුවට ගනිද්දී නවරසම් පොත් පිටපත් 100 ක් සහ මම කියවමින් හිටිය පොත් 49 ක් විතර තිබුණා. මේකෙන් පොත් 14 ක් දෙමළ සාහිත්‍ය සම්බන්ධ පොත්. කිසිම තේරුමක් නැතිව මේවා අරන් ගිහින් තිබුණා. දෙමළ සාහිත්‍ය යුග, මණිමේඛලෛ, කන්ද පුරාණම් පවා අරන් ගිහින් තිබුණා. බයිබලය හා කුරාණය සංසන්දනය කරලා ලියැවුණ පර්යේෂණ කෘතියක් තිබුණා. ඒකත් අරන් ගිහින්. එහෙ හිටියා භාෂා පරිවර්තකයෙක්. ත්‍රස්ත විමර්ශන ඒකකයේ ඉන්න භාෂා පරිවර්තකයාගේ පරිවර්තන තමයි දේශපාලනඥයන් කියන්නේ. එයා තමා හැම පරිවර්තනයක් ම කළේ. එයාගේ පරිවර්තන නිසා අහිංසක මිනිසුන් කීදෙනෙක් හිරේ ඉන්නවා ද කියලා දන්නේ නැහැ. එයා මගෙත් එක්ක සම්භාව්‍ය දෙමළ සාහිත්‍ය සම්බන්ධයෙන් තර්ක කළා. මම කියපු සමහර කරුණු එයාට තේරුම් ගන්න බැරි වුණා. මම ඒ වෙලාවේ දැනගත්තා මෙයාට සාහිත්‍ය දැනුමක් නැහැ කියන එක. ඉතිං මෙහෙම කෙනෙක් මගේ කවි පරිවර්තනය කළා ම කොහොමද සිංහල අයට ඒක පැහැදිලිව යන්නේ? මගේ පොතේ තියෙන “උරුවාක්කු”  කවිය තමා ආන්දෝලනාත්මක කවියක් කියලා කියන්නේ. ඒක ත්‍රස්තවාදියට විරුද්ධව ලියවිලා තියෙන කවිය. මාව හැම උසස් නිලධාරියෙක් ළඟට ම එක්කගෙන ගියා. එයාලා හැම කෙනෙක් ළඟම මේ කවියේ පිටපත් තියෙනවා. මම ඒ හැම කෙනෙකුට ම කිව්වා මේක ත්‍රස්තවාදයට විරුද්ධ කවියක් කියලා. නමුත් එයාලා ඇහුවේ නැහැ. “ඔසවන තුවක්කුවෙන් ප්‍රහාරයක් එල්ල වෙයි අපට...” කියලා ඒකේ සඳහන්. මේකෙන් මම කියන්නේ ආයුධය අතහැරලා පෑන ගන්න කියලයි. මම මේක පැහැදිලි කරලා දීලත් එයාලා අර පරිවර්තකයා කියපු දෙය තමා පාර්ලිමේන්තුවේ දී කිව්වේ. ඇතුළේ ඉන්න භාෂා පරිවර්තකයා හරි නැත්නම් කොහොමද මේ වැඩ හරි කියලා කියන්නේ? එයාලා මේක ඇත්ත කියලත් දන්නවා. පොලිසියේ ඉහළ නිලධාරීන් වගේ ම ආණ්ඩුවේ මැති ඇමතිවරුන් දන්නවා මම ලියලා තියෙන්නේ ත්‍රස්තවාදයට විරුද්ධ බව. ඔවුන්ගේ දේශපාලන ගමන ගෙනියන්න කෙනෙක් ඕන වුණා. පාර්ලිමේන්තුවේ කියපු දේවලටත් වඩා දේවල් ඔවුන් කියාවි. 


07. අත්අඩංගුවට පත් වීමත් එක්ක සමාජයෙන් ඇති වූ විරෝධය සහ පවුලේ අයට මුහුණ දෙන්න සිදු වුණ දේවල් මොනවාද?

මාව අත්අඩංගුවට ගත්තා ම ගමේ අයට විශ්වාස කරන්න බැරි වුණා මමත් මේකට සම්බන්ධයි ද කියලා. අනිත් පැත්තට විශ්වාස නොකර ඉන්නත් බැහැ. අල්ලපු ගෙදර අය හොඳටම බය වෙලා අපේ ගෙදරට එන එකත් නතර කළා. නෑයන්ගෙන් ආවේත් ළඟ හිටපු අය විතරයි. ඒ අයත් බියෙන් වගේ තමා ආවේ. ඒකා ත්‍රස්වාදියෙක් කියලා ගමේ ගොඩාක් අය කියලා තිබුණා. මගේ නවරසම් පොත් ගත්ත ගොඩාක් අය ඒවා ගිනි තිබ්බා. ගිනි තියෙනවා කියලා ප්‍රසිද්ධියේ කිව්වා. මල්ලි යාපනය විශ්වවිද්‍යාලයට තේරිලා හිටියා. එහෙට යනවාද නැද්ද කියලත් බයෙන් කල්පනා කළා. අපි හැමෝම දිනපතා මැරි මැරී ඉපදුණා කිව්වොත් හරි. රජය මාව ත්‍රස්තවාදියෙක් කියලා හංවඩු ගැහුවා. ගමේ අය මාව ගමෙන් ඈත් කරලා තියන්න හදනවා. මං ගැන හරි ප්‍රවෘත්තිය ඇවිත් තියෙන්නේ දෙසැම්බර් අවසානයේ. මාව අත්අඩංගුවට ගත්තේ මැයි මාසයේ. මාස 7 ක් මගේ පවුලේ අයගේ ජීවිත ගෙවිලා තියෙන්නේ මේ විදිහටයි.  ත්‍රස්තවාදයට සම්බන්ධ නැහැ කියන පුවත එළියට ආවාම තමා අනිත් අය සුපුරුදු විදිහට ආශ්‍රය කරන්න පටන් අරන් තියෙන්නේ. නමුත් මුල ඉඳන් එක මාමා කෙනෙක් විතරක් මගේ පවුලට උදව් කරමින් මං ගැන හොයන්න මහන්සි ගත්තා. 

08. ඔබට එරෙහි නඩුව තවමත් අවසන් වෙලා නැහැ. ඔබේ නමත් ත්‍රස්තවාදී යන ලැයිස්තුවට ඇතුළත් කරලා තියෙනවා..

ඒක ආසියාවේ අශ්චර්ය කියලා කියන්න පුළුවන්. ත්‍රස්තවාදයට විරුද්ධව ලියපු කෙනෙක් ව, ත්‍රස්තවාදයට කිසිම සම්බන්ධයක් නැහැ කියලා දැනගෙනත්, උසාවියේ මගේ නඩුව විභාගයට අරන් නැහැ කියලා දැනගෙනත්, මාව ත්‍රස්තවාදී ලැයිස්තුවට දාලා තියෙනවා. මගේ බැංකු ගිණුමත් අවහිර කරලයි තියෙන්නේ. මේකට විරුද්ධව මම මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් දැම්මා. ඒ පැමිණිල්ල භාරගත්තා. ඒ ගැන විමර්ශනය කරන්න සූදානම් කියලා කොමිසමෙන් ලිපියක් දීලා තියෙනවා. මගේ නමත් තහනම් කළ පුද්ගල ලැයිස්තුවට ඇතුළත් කරපු ගැසට් එක රජය නිකුත් කළේ, අගෝස්තු මාසයේ දීයි. නමුත් මට දැනුම් දෙන්නේ ඔක්තෝබර් මාසයේ දී. මේවා ගැන මොනවා කියන්න ද කියලා හිතාගන්න බැහැ.


09. ඔබ වගේ ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත් වූ ලේඛකයෝ බොහෝ ගණනක් ඉන්නවා. මේ තත්වය ගැන ඔබේ අදහස මොකක්ද?

මම දන්න ගොඩාක් අය ඉන්නවා ඇතුළේ. ගොඩාක් අය ඇප මත නිදහස් වෙලා තියෙනවා. නීතිඥවරු, දොස්තරවරු හිරේ ඉන්නවා. ඒ හැමෝම නිදහස් වෙන්න ඕනේ. ඒ වගේ ම ටියුබ් ටැමිල් මාධ්‍යවේදිනි දිවන්‍යාත් රඳවාගෙන ඉන්නවා. මේ විදිහ ගොඩාක් අය ඉන්නවා. සියලු ම දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරන්න ඕනේ. ත්‍රස්තවාදය අහෝසි කිරීමේ පනත අහෝසි කරන්න ඕනේ. මිනිස්සුන්ට ලියන්න අයිතියක් තියෙනවා. භාෂණය සහ විරුද්ධ වීම කියන්නේ අපේ අයිතියක්. අපි ප්‍රචණ්ඩ ක්‍රියා කරන්නේ නැහැ. අදහස් ප්‍රකාශ කරනවා. මේකට ද ත්‍රස්තවාදය කියලා කියන්නේ? අපේ අයිතිවාසිකම් අපිට ඕනේ. නන්දිකඩාල්වල තිබුණ දිලීපන් සැමරුමක් ගැන වීඩියෝවක් ටික්ටොක්වල දැම්මා කියලා අවුරුදු 23 ක් තරුණයෙක්ව මේ පනතෙන් අත්අඩංගුවට අරන් තියෙනවා. සාමාන්‍ය ටික්ටොක් වීඩියෝවක් වත් ප්‍රසිද්ධ කරන්න බැරි රටක් තමයි මේක. අත්අඩංගුවට අරන් තියෙන්නේ අහිංසක ජනතාව සහ උගත් බුද්ධිමත් පිරිස්. ඔවුන්ගේ මතවාද පාලකයන්ට අනතුරුදායක නිසා ඔවුන්ව සිරගත කරලා තියෙනවා. 



10. ආන්දෝලනයට තුඩු දුන් ඔබේ නවරසම් පොතෙහි අන්තර්ගතය ගැන කර්තෘගේ හඬින් අපි දැනගන්න කැමැතියි. ඔබේ ලේඛණය පිළිබඳව   පැහැදිලි කළ හැකි ද?

මම කවි ලියන්න පටන් ගත්තේ නවය වසරේ දී. වස්තු විෂය බොහොමයක් පාදක කරගෙන මම කවි ලිව්වා. ගොඩක් ඇතුළත් කළේ සමාජීය ප්‍රශ්න. භාරදි, භාරදිදාසන්ගේ කවිවල අභාෂය මේකට හේතුවක් වුණා. ඔවුන්ගේ කවි නිර්මාණය වුණේ සමාජයේ ඇති අසාධාරණයට එරෙහිව. භාරදි ඔහුගේ කවිවලින් නිදහස් ඉන්දියාවක් දුටුවා. මේ විදිහට මම ලියපු කවි එකතුවක් තිබුණා. මේ සේරම කවි පොතක් විදිහට එළිදක්වන්න බැරි නිසා නව නළු රස අරන් එක රසයකට කවි පහ බැගින් අරන් කවි 45ක පොතක් කළා. පළවෙනි පොත නිසා තාත්තාගෙන් සල්ලි අරන්, ණයට සල්ලි අරන් තමා මේ පොත කළේ. ඒකේ ඉස්ලාමය සම්බන්ධ සමාජීය කවි, සමාජ සංස්කෘතිය බිඳ වැටීම් ගැන කවි ඇතුළත්. ඊට අමතරව ජාත්‍යන්තර දේශපාලනය සම්බන්ධයෙන් කවිත් මීට ඇතුළත්. මියන්මාර සමූල ඝාතනය, සිරියා යුද්ධය, මේවායෙන් මිය ගියේ මනුෂ්‍යත්වය සහ මිනිසුන් කියන එක ගැනයි ලිව්වේ. මේ පොතේ තියෙන කවි සේරම මනුෂ්‍යත්වයට එරෙහිව සිදු කරන ක්‍රියා සම්බන්ධයෙන් විවේචනාත්මකව ලියවුණු නිර්මාණ. උදාහරණයකට භාරදි කියනවා,ිඑක් අයෙකු කුසගින්නේ සිටින්නේ නම් මේ භූ තලය විනාශ කරනු..’ කියලා. මේකේ භාරදි කියන්නේ මේ ලෝකයේ ඉන්න කවුරුත් කුසගින්නේ සිටිය යුතු නැහැ කියලා. කවියක තියෙන උපමා, රූපක, උත්ප්‍රසාය, අනුප්‍රහසය, අතිශෝක්තිය වගේ සාහිත්‍ය කරුණු තේරුම් ගන්න ඕනේ. ලංකාවේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ කවුරු හරි මේ කවිය පරිවර්තනය කළොත්, භාරදි ත්‍රස්තවාදියෙක් කියලා කියයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙමළ භාෂා අංශයේ මහාචාර්ය එම්.ඒ නුහුමාන් මේ කවි පොතේ කිසිම අන්තවාදී අදහසක් නැහැ කියලා ශේෂ්ඨාධිකරණයට කිව්වා. මීට කලින් දෙමළ ජනයාට කළා වගේ දැන් මුස්ලිම් ජනයාව මර්දනය කරනවා. රජයට විරුද්ධව එන ජනතා නැඟිටීම් පාලනය කරන්න මේවා භාවිතා කරනවා. හෙට වුණත් ඕනෑම කෙනෙකුට මොනවා හරි දෙයක් වෙන්න පුළුවන්. නවරසම් තමා මගේ පළමු පොත. මම ගොඩාක් පොත් එළිදක්වන්න කැමැත්තෙන් හිටියා. මගේ ගමේ ඉතිහාසය සම්බන්ධයෙන් පර්යේෂණ කෘතියක් එළිදක්වන්නයි හිටියේ. ඒවාට අදාළ ලිපි සේරම මේ වෙද්දී ත්‍රස්ත විමර්ශන කොට්ටාසය භාරයේ තියෙන්නේ. ඒවා නිරුපද්‍රිතව තියෙනවා ද නැද්ද කියලාවත් මම දන්නේ නැහැ. මගේ ලැප්ටොප් පරිගණකයත්, දුරකථනයත් තියෙන්නේ ඔවුන් භාරයේ. ඒවා තියෙනවා ද කියලා දන්නේ නැහැ. 

11. රැඳවුම්භාරයේ ඉද්දී, කවි ලියන්න හිතුණේ නැද්ද.?

මම පොත්වලට ගොඩක් කැමැතියි. කෑමට තියෙන සල්ලි ඉතුරු කරලා පවා පොත් අරන් තියෙනවා. හිරේ ගියාම පොත් අරගෙන කවි ලියන්න පටන් ගත්තා. ලියද්දී එයාලා ප්‍රශ්න කරනවා. ඒ නිසා බොහෝදුරට ප්‍රේමය සම්බන්ධ කවි ලිව්වේ. සමාජීය ප්‍රශ්න ගැන කවි ලිව්වොත්, එයාලා ප්‍රශ්න කරලා ඉරලා දාන්න ඉඩ තියෙනවා. නමුත් ඒ අතරින් හංඟලා සමාජ ගැටලු ගැන කවි ලිව්වා. පොත් 10ක විතර කවි ලියලා තිබ්බා. ඊට පස්සේ උසාවියෙන් මාව බන්ධනාගාර ගත කළා. මගේ පොත් ටික ඇතුළට ගන්න බැහැ කියලා බන්ධනාගාරයෙන් කිව්වා. ගෙදරින් කෙනෙකුට එන්න කියලා පොත් ටික භාර දෙන්න කිව්වා. මගේ නීතිඥවරුන්වත් මාව බන්ධනාගාර ගත කළා කියලා දැනගෙන හිටියේ නැහැ. දන්නවා වුණත් එහෙම එන්න විදිහක් නැහැ. කොරෝනා වැඩියි කියලා ඇඳිරි නීතිය දාලා තිබුණා නිසා මොකුත්ම කරන්න විදිහක් තිබුණේ නැහැ. මට පොත් ටික විතරක් අරගෙන යන්න අවසර දෙන්න කියලා මම වැඳලා ඉල්ලුවා. ඔවුන්ගේ පිළිතුර වුණේ සහරාන්ගේ අයට එහෙම කරන්න බැහැ කියන එකයි. මම කිව්වා පොත් නැතිව මම වාහනයට නඟින්නේ නැහැ, මාව මෙතැනම වෙඩි තියලා මරලා දාන්න කියලා. ඊට පස්සේ රෙදි බෑගයයි පොත් ටිකයි දිහා බලලා කිව්වා, දෙකෙන් එකක් විතරයි අරන් යන්න පුළුවන් කියලා. මම ඇඳුම් බෑගය විසි කරලා පොත් ටික ගත්තා.