ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන් ජීවිතාන්තය දක්වා සිරගත කළ පන්හිඳ - සතීෂ්



ජෙගන් ගනේෂන් 

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු බව සමාජ ගත වෙමින් පවතින පසුබිමක බොහෝ දෙනා විසින් අමතක කරනු ලබන වැදගත් කාරණාව වන්නේ ත්‍රස්තවාදය පිළිබඳ සියලු අර්ථ කථන සිදු කරනු ලබන්නේ ත්‍රස්ත මර්දන නීතිවල පිහිටෙන් බලය චිරස්ථායී කරගනු ලබන රාජ්‍යය විසින්ම බවය. ත්‍රස්තවාදියෙකු ලෙස නම් කර ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියමව සිටින සෙල්ලයියා සතීෂ්කුමාර් නම් සාහිත්‍යවේදියා අපට අමතක කළ නොහැක්කේ එම සන්දර්භය තුළය.


1974 වසරේදී කුරුණෑගල - මැල්සිරිපුර ප්‍රදේශයේ දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ තෙවැන්නා ලෙස සෙල්ලයියාට දාව  පවලවල්ලිගේ කුසින් සෙල්ලයියා සතීෂ්කුමාර් මෙලොව එළිය දුටුවේය. ඔහුගේ පියා රියදුරෙක් වූ අතර මව සන්නාලියක් වූවාය. ඔවුන් කුරුණෑගල ප්‍රදේශයේ ජීවත් වූ නිවස 1983 වසරේ දී ඇති වූ දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේදී දෙවරක් ගිනිලනු ලැබිණි. දිනපතා මරණ බියත් සමඟ ජීවත් වීමට නොහැකි බව හැඟුණු සෙල්ලයියා සහ පවලවල්ලි සිය දරුවන් පස්දෙනා සමඟ කිලිනොච්චිය කරා ගොස් පදිංචි වීමට තීරණය කරන ලදි. යුද්ධයට මැදිව ජීවත් වූ ඔවුන්ට දරුණු ආර්ථික අර්බුදවලට මුහුණ දෙන්නට සිදු විය. ආර්ථික අර්බුද මධ්‍යයෙහි වුවද සතීෂ්ගේ දෙමාපියන් තම දරුවන්ට අවශ්‍ය අධ්‍යාපනය අඛණ්ඩව ලබා දීමට කටයුතු කරන ලදි. බෝම්බ පිපිරීම්ද වෙඩි හඬවල්ද මැද බංකර් වෙත දිව යමින් සතීෂ් සිය ළමා කාලය ගත කළේ නොයෙකුත් දුක්කම්කටොලු සමඟිනි. අධ්‍යාපන කටයුතු නිමා කළ ඔහු සිය මවගේ අඩි පාරේ යමින්, ඇඳුම් මැසීමටත් උගත්තේය. ඉන් අනතුරුව මුද්‍රණාලයක සහ බේකරියක රැකියාවක් කළේය. රියැදුරු බලපත්‍රය ලබා ගැනීමෙන් අනතුරුව ඔහු වව්නියාව ඩිපෝවේ කොන්ත්‍රාත් පදනම මත රියැදුරෙක් ලෙස සේවය කළ අතර, අනතුරුව පෞද්ගලික ආයතනයක රියැදුරෙක් ලෙසද සේවය කළේය. කිලිනොච්චි දිස්ත්‍රික් රෝහලේ ගිලන් රථ රියැදුරෙක් ලෙස සේවයට බැඳුණේ එයින් ඉක්බිතිවය.

එම කාලයේදී සෞඛ්‍යය සංවිධානයක සහකාර ගිණුම්කාරිණියක ලෙස සේවය කළ ශාමලා නමැති තරුණිය සමඟ විවාහ ජීවිතයට එළැඹුණ සතීෂ් ඉන් වසර එකහාමාරක ඇවෑමෙන් පිය පදවියට පත් විය. සතීෂ් - ශාමලා යුවළ සිය දියණියට ‘කම්සා‘ යනුවෙන් නම් තැබූ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සතීෂ් අත්අඩංගුවට පත්වන විට ඇගේ වයස අවුරුදු දෙකකි. 

වෘත්තීය ජීවිතය

සතීෂ් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරනු ලැබුවේ දරුණු යුද වාතාවරණය මැදයි. කුමන ස්ථානයක බෝම්බ පිපිරුණද, වෙලාවක් නොබලා සේවය වෙනුවෙන් කැප වී සිටිය යුතුය. පැය 24 ම සේවය වෙනුවෙන් කැප වී සිටි සතීෂ් තමන්ට නියමිත රාජකාරිය පමණක් නොව, අවස්ථානුකූලව පැවරෙන සියලුම කාර්යයන් ඉටු කළේය. තුවාල ලැබූවන් කිලිනොච්චියේ සිට යාපනය, වව්නියාව, නුවර, මහරගම සහ කොළඹ යන රෝහල් කරා රැගෙන යාම ඔහුගේ දෛනික රාජකාරිය විය. මෙම ගමන් මාර්ගයේදී, මුහමාලේ පිහිටා තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සහ ශ්‍රී ලංකා හමුදාවට අයත් මුරපොළවලදී වාහනය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කෙරිණි. ඕමන්තයේදීද ඊට සමානව පරීක්ෂා කෙරිණි. අවම වශයෙන් පරීක්ෂා කිරීම් සහ ලියාපදිංචි කිරීම් සඳහා විනාඩි 45 ක පමණ කාලයක් ගත විය. එහි සිටින්නේ සෑබෑ රෝගීයෙක්ද නැතිද යන්නත් පරීක්ෂාවට ලක් විය. 

සතීෂ් මෙම වෘත්තිය සිදු කළේ නොයෙකුත් බලපෑම් මැදය. කිසිදු සහායකයෙකු නොමැතිවද සතීෂ් තුවාල ලැබූවන් වෙනත් රෝහල් කරා රැගෙන ගියේය. හමුදා පාලනයට නතු නොවී තිබූ කිලිනොච්චි ප්‍රදේශයට හමුදාව අවස්ථා කිහිපයකදී ගිලන් රථ ඉලක්ක කරමින් ක්ලේමෝ ප්‍රහාර එල්ල කර ඇත. ඒ හේතුවෙන් කාර්යය මණ්ඩලයේ බොහෝ පිරිස් ගිලන් රථ මඟින්  ගමන් කිරීම ප්‍රතික්ෂේප කළහ. අනිවාර්යයෙන් යා යුතු බවට කිසිවෙකුටත් බල කෙරුණේ ද නැත. යුද සමයේ බොහෝ ජීවිත බේරා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඇගැයුමට ලක්වූ සතීෂ්ට ලබා දුන් සහතික පත්‍රද යුද්ධයේදී විනාශ වී තිබේ. සතීෂ්ට සිය වෘත්තියේ යෙදීමට සිදු වූයේ ඖෂධ, වෛද්‍යවරු, වෛද්‍ය උපකරණ රජය විසින් ලබා නොදුන් වාතාවරණයක් යටතේය.

අත්අඩංගුවට පත් වීම

2008 වසරේ ජනවාරි මස 28 වන දින සතීෂ් සුපුරුදු පරිදි සිය රාජකාරියට වාර්තා කළේ, එදිනට ඔහුට මුහුණ දීමට සිදු වන අවාසනාවන්ත ඉරණම සම්බන්ධයෙන් කිසිවක් නොදැනය. එදින රෝහලට අවශ්‍ය ඖෂධ වර්ග රැගෙන ඒම සඳහා කොළඹට යාමට නියමිතව තිබුණි. රෝහල් පරිපාලකවරයාගේ උපදෙස් පරිදි ඔහු මෙම ගමනට සූදානම් විය. මුහමාලේ ප්‍රදේශයේ තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මුරපොළේ පරීක්ෂා කිරීම් සහ ලියාපදිංචියෙන් අනතුරුව ඕමන්තේ ශ්‍රී ලංකා හමුදා මුරපොළේදිත්, තාණ්ඩිකුලම් මුරපොළේදිත් සතීෂ් විසින් පදවන ලද ගිලන් රථය පරීක්ෂාවට ලක් විය. යුද වාතාවරණය හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික් රෝහලේ සම්බන්ධීකරණ කාර්යාලයක් වව්නියාවේ පිහිටා තිබුණි. එහි ගොස් ඖෂධ ලබා ගැනීමට අවශ්‍ය ලිපි ගොනු රැගෙන එහි සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාවද රථයට නංවාගෙන සතීෂ් කොළඹ බලා ගමන් ආරම්භ කළේය. කොළඹ දෙසට එන සියලු වාහන වව්නියාව තේක්කවත්ත මුරපොළේදී පරීක්ෂාවට ලක් කිරීම සාමාන්‍ය සිදුවීමකි. එම අවස්ථාවේ සතීෂ් පදවන ලද රථයේ ඔහු සමඟ, ඖෂධ භාරව සිටි නිලධාරියා මෙන්ම ඔහුගේ සහායකයාද සිටියේය. පොලීසිය විසින් වාහනය පරීක්ෂාවට ලක් කරන අතරතුර සතීෂ් ලිපිගොනු රැගෙන ලියාපදිංචි කිරීමේ කටයුතු සඳහා පිටත්ව ගියේය. සෙසු දෙදෙන රථයෙන් පිටතට බැස සිට ඇති අතර  එම අවස්ථාවේදී රථය තුළ පුපුරණ ද්‍රව්‍ය තිබූ බවට පවසමින් ඔවුන් තිදෙනාව පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. 

වධ හිංසා

අත්අඩංගුවට ගනු ලැබූ ඔවුන්ගේ දෑස් බැඳ වව්නියාව පොලීසිය වෙත රැගෙන යන ලදී. එහිදී ඔවුන්ට පොලිසියේ දැඩි පහරදීම්වලට මුහුණ දීමට සිදු විය. ඉන් අනතුරුව ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය යටතේ ඔවුන්ව මාසයකට අධික කාලයක් රැඳවුම් භාරයේ තබා ගන්නා ලදී. සතීෂ්ව කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිව්වන මහලේ රඳවා තැබුණි. එහි මාස හයක කාලයක් දැඩි වධ හිංසාවලට මුහුණ දීමට සතීෂ්ට සිදු විය. ඉන් මුල් මාස තුන ඔහු අසීමිතව වධ හිංසාවලට ලක් විය. එහි සිටින නිලධාරීන් පවසන දේවල් සමඟ එකඟ වන ලෙසත්, හිස් කඩදාසිවල අත්සන් කරන ලෙසත් සතීෂ්ට බල කෙරිණි.  

රජයට අයත් වාහනයක තිබූ කිසියම් දෙයක වගකීම තමන්ට භාරගත නොහැකි බව සතීෂ් එම නිලධාරීන්ට පවසන විට ඔහුට තව තවත් දරුණු වධ හිංසාවලට ලක් වෙන්නට සිදු විය. ඔහුගේ හිස මත පොතක් තබා විකට් පොල්ලකින් දැඩි ලෙස පහර දීම් සිදු කර ඇත. එම පහරදීම් හේතුවෙන් දැඩි හිසේ වේදනාවක් හටගෙන ඇති අතර එයට අමතරව ඔහුගේ හිස අභ්‍යන්තරයටද හානි සිදු වී ඇත. මෙම පහරදීම් හේතුවෙන් අතුරු කායික ආබාධ හා ප්‍රතිවිපාකවලට මුහුණ දීමටද සතීෂ්ට සිදුව තිබේ. 

අධිකරණයට ඉදිරිපත් කිරීම 

මාස හයක කාලයක් රැඳවුම් භාරයේ සිටි සතීෂ්ව වව්නියාව මහාධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි. එහිදී ඔහුව රිමාන්ඞ් භාරය යටතේ අනුරාධපුර බන්ධනාගාරය වෙත යවන ලදී. මාස 18 කට පසුව යළිත් නඩුව වව්නියා අධිකරණයේදී කැඳවනු ලැබීය. මානව හිමිකම් සම්බන්ධයෙන් හඬ නඟන සිවිල් සංවිධානයක ආධාර මත නීතිඥවරයෙකුගේ සහාය ලබා ගැනීමට සතීෂ් කටයුතු කළේය. එහිදී ඔහු සමඟ අත්අඩංගුවට ගත් සෙසු දෙදෙනාව නිදහස් කර රථයේ රියදුරා වූ සතීෂ්ට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කෙරුණි.




ඥාතීන්ගේ බලාපොරොත්තු සුන් වීම 

නඩුව ගොනු කිරීමේදී තාක්ෂණික ගැටලු රැසක් පවතින බවට නීතිඥවරුන් සතීෂ්ගේ ඥාතීන් වෙත දැනුම් දී තිබිණ. ඒ හේතුවෙන් එදින ඔහුට නිදහස ලැබෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් පවුලේ උදවිය අධිකරණය වෙත පැමිණ සිටියහ. නඩු වාරය ආරම්භ කිරීමට පෙර කුඩා කම්සා දියණිය සිය පියා වෙත පැමිණ “ආහාර රැගෙන නොපැමිණි බවත්, නිදහස් වී පෙරළා ගොස් සියලු දෙනා එක්ව ආහාර අනුභව කළ හැකි බවත්” පැවසුවාය. ඔහුගේ බිරිඳ වන ශාමලා සතීෂ් සඳහා අලුත් ඇඳුම් පවා රැගෙන පැමිණ සිටියාය. කෙසේ වෙතත් අවසානයේදී අධිකරණය ලබා දුන් තීන්දුව ඔවුන්ගේ හිස මතට පතිත වූ අකුණක් මෙන් විය. ඔවුන්ගේ වැළපීම් හඬින් අධිකරණය දෝංකාර දෙන්නට විය. දින 14 ක් ඇතුළත නඩු තීන්දුව අභියෝගයට ලක් කරමින් කොළඹ අභියාචනාධිකරණයේ පෙත්සම් ගොනු කෙරිණි. ඉතා දීර්ඝ කාලයක් විභාග කළ මෙම නඩුවේදී ජීවිතාන්තය දක්වා වන සිර දඬුවම තහවුරු කරන ලදී. නඩු තීන්දුව ලැබී තිබුණද, එය තම පවුලේ උදවියට නොකියා සිටීමට ඔහු තීරණය කළේය. ශේෂ්ඨාධිකරණය හමුවට යාම පලක් නොවන බව ඔහුගේ අදහස වී තිබුණි. 

දේශපාලන සිරකරුවන්ට ඥාතීන්ට එල්ල වන තර්ජන ගර්ජන 

අභියාචනාධිකරණයේදී සතීෂ්ට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හිමි වූ බව කාලය ගත වන විට ඔහුගේ මව ඇතුළු පවුලේ ඥාතීන් විසින් දැන ගන්නා ලදි. කිලිනොච්චියේ සිට මසකට වරක් හෝ සිය පුතාව බැලීම සඳහා බන්ධනාගාරයට පැමිණීම පවලවල්ලි මව  පුරුද්දක් කරගෙන සිටියාය. මෙම ගමන සාමාන්‍ය ගමනක් ලෙස කිසිසේත් සැළකිය නොහැකිය. ඇය බන්ධනාගාරයට පැමිණෙන සෑම අවස්ථාවකදීම ආරක්ෂක අංශවලින් එල්ල වන විවිධ බාධා කිරීම්වලට ඈ මුහුණ දුන්නාය. දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් සිදු කරන විරෝධතාවලට සහභාගී නොවන ලෙසට ඇයට විවිධ තර්ජනාත්මක ඇමතුම් ලැබී තිබිණ. ඇයව මානසිකව පීඩාවට ලක් කිරීමට ආරක්ෂක අංශ විවිධාකාරයෙන් කටයුතු කර ඇත. මෙවැනි තර්ජන මධ්‍යයේ තව දුරටත් රට තුළ ජීවත් වීම කළ නොහැකි වූයෙන් ශාමලා සිය දියණිය සමඟ තමන්ට හිමිව තිබූ ඉඩකඩම් විකුණා විදේශ රටකට ගියාය. 

යළි අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම 

2017 වසරේදී, තමන්ට ලබාදී ඇති නඩු තීන්දුව අභියෝගයට ලක් කරමින් සතීෂ් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කළේය. වසර පහ හමාරක් ගත වීමෙන් අනතුරුව මෙම වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම සළකා බලා, එය ලබන වසරේ පෙබරවාරි මස 21 වනදාට කල් තබා තිබේ. 

සාහිත්‍ය ජීවිතය

බන්ධනාගාරය තුළ ජීවත් වෙමින් සිදු කරන ලිවීම ඉතා පහසු කාර්යයක් බව බොහෝ දෙනාගේ මතයයි. එහෙත් එහි නිරත වන්නෝ එය කෙතරම් අසීරු කරුණක්ද යන වගට සාක්ෂි දරති. ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හිමි වීමෙන් අනතුරුව සතීෂ් දැඩි ලෙස කඩා වැටුණේය. ඔහුගේ තනියට සිටියේ බෝම්බ පිපිරීම්ද වෙඩි හඬවල්ද මැද බංකරය තුළට වී ඉගෙන ගත් අකුරු පමණි. සිය දුක් වේදනා තුනී කර ගැනීමේ අරමුණින් ඔහු ලිවීම ආරම්භ කළේය. මීට පෙර පොතපත කියවීම පමණක් සිදු කළ ඔහු ලිවීම සඳහා යොමු වූයේ බන්ධනාගාරය තුළදීය. නමුත් බන්ධනාගාරය තුළදී පොත්පත් සහ පුවත්පත් ලබා ගැනීම ඉතා අපහසු කරුණකි. මීට පෙර ලිවීම සම්බන්ධයෙන් උනන්දුවක් නොමැති ඔහු තම අත්දැකීම් ඇසුරෙන් කවි ලිව්වේය. අනතුරුව අනෙකුත් සිරකරුවන්ගේ අත්දැකීම උකහා ගනිමින් කාව්‍යකරණයේ නියැලුණේය. ඉන් අනතුරුව විචාරාත්මක ලිපි සහ කෙටි කතා ලිවීම ආරම්භ කළේ ය. බන්ධනාගාරය තුළට පෑන්, පොත් සහ ලිවීමට අවශ්‍ය කඩදාසි ගෙන්වා ගැනීම ඉතා අසීරු කරුණකි. එලෙස ගෙන එන ඒවා ප්‍රවේශම් කරගැනීමට සිදුවෙයි. දුම් පානය කරන පිරිස් එම කඩදාසි සොරා ගැනීම සේම බන්ධනාගාර නිලධාරීන්ගේ සෝදිසි කිරීම් හමුවේදී තවත් ලිපි ලේඛන විනාශ වීමද සිදු වේ. එසේම බන්ධනාගාර තුළ සිදු වන නොසන්සුන්කාරී තත්ත්වයන් තුළදීද මේවා විනාශ වෙයි. අසුන් ගෙන ලිවීමට මේසයක් පුටුවක් නොමැති සිරමැදිරයක බිම හිඳගෙන ලෑලි කැබැල්ලක් උකුලේ තබා ගත් සතීෂ් ලිවීමේ කටයුතු සිදු කළේය. 

2017 වසරේදී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවියක් සිය අවසන් ව්‍යාපෘතිය ලෙස සතීෂ්ගේ කාව්‍ය සංග්‍රහය සම්බන්ධයෙන් වන පර්යේෂණ වාර්තාවක් සකස් කළාය. බන්ධනාගාරය තුළ සිට ලිවීමේ කටයුතු සිදු කරන සතීෂ් පළාත් මට්ටමේත්, දේශීය සහ ජාත්‍යන්තර මට්ටමේත් කෙටි කතා තරගාවලි සඳහා ඉදිරිපත් වී අත්කරගෙන ඇති ජයග්‍රහණද රැසකි. මේ දක්වා කාව්‍ය සංග්‍රහ තුනක් සහ කෙටි කතා සංග්‍රහ දෙකක් සතීෂ් විසින් එළි දක්වා ඇත.

ඉරුම්බු කදවුක්කුල් නින්ඩෘ (යකඩ දොරටු තුළ සිට), විඩියලෛ තේඩුම් ඉරවුගල් (අලුයම සොයනා රාත්‍රීන්), මන සිරෙයිල් ඉරුන්දු (සිත් බන්ධනාගාරයේ සිට), සිරෙයිල් ඉරුන්දු සිංහල සහෝදරනුක්කු (බන්ධනාගාරයේ සිට සිංහල සහෝදරයාට) යනුවෙන් සතීෂ් විසින් මේ දක්වා කාව්‍ය සංග්‍රහ හතරක් එළි දක්වා ඇත. වේප්ප මරුමුම් පවලම් ආච්චියුම් (කොහොඹ ගස සහ පවලම් ආච්චි) යනුවෙන් කෙටි කතා සංග්‍රහයක්ද ඔහුගේ නිර්මාණ අතරට එක්ව තිබේ. මීට අමතරව ඔහු විසින් රචිත ලිපි එකතුවක්, කෙටි කතා සංග්‍රහයක් සහ ගිලන් රථ රියදුරෙකු ලෙස ලද අත්දැකීම් ඇතුළත් කළ නව කතාවක්ද ඉදිරියේදී එළි දැක්වීමට නියමිතය. 



රාජ්‍ය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කරමින් සතීෂ් ආදි බොහෝ දෙනා සිරගත කර ඇත. ඇතැමුන්ට තවමත් චෝදනා  ගොනු කිරීම පවා සිදු කර නැත. ත්‍රස්තවාදය සහ  ත්‍රස්තවාදියා පිළිබඳ අවසන් නිර්වචනය තීන්දු කිරීමේ ක්‍රමවේදය රාජ්‍යය සතු බලයට යටත්ය. සතීෂ් ත්‍රස්තවාදියෙකු වන්නේ ඒ අර්ථයෙනි. සතීෂ් වැන්නන් ජීවිතාන්තය තෙක් සිරගත කිරීමට අවශ්‍ය නීතිමය පදනම සකසා ගැනෙන්නේ දැන් දකුණේ සිංහල ජනයාගෙන් සැළකිය යුතු පංගුවකගේ විරෝධයට පාත්‍රව ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මාර්ගයෙනි. 

සතීෂ් වැනි දෙමළ සිරකරුවන්ගේද, ප්‍රමාණය පවා හරියාකාරව නොදන්නා මුස්ලිම් සිරකරුවන්ගේ ද සාමූහික ඉරනමින් වියුක්තව ත්‍රස්ත මර්දන පනතේ ප්‍රජාන්ත්‍ර විරෝධී හරය ගැන කතා කළ හැකිද? ත්‍රස්ත මර්දන නීතිවල අනීතික පදනම් ගැන කතා කරන්නට දකුණු දිග ලංකා වාසී ජනයාට දැන් එළැඹ ඇති අවස්ථාව ඕනෑ නම් සතීෂ්ලා මුහුණ දුන් අයුක්ති සහගත ඉරණම් ගැන කතා කරන්නටද අවස්ථාවක් කර ගත හැකිය.