පෑන සහ අවිය II ( තවත් ත්‍රස්තවාදින් බිහි කරන්නේ කුමකටද?)

පෑන සහ අවිය II





සැටර්ඩේ රිවීව් (Saturday Review) පුවත්පත ආරම්භ වූයේ 1982 වසරේ ජනවාරි 30 වනදා ය. එහි පළමු කතුවරයා වූයේ කීර්තිමත් පත්‍රකලාවේදියෙක් වූ සුබ්‍රම්නියම් සිවනායගම් වේ. අභීත මාධ්‍යකරණයක නිරත වූ සැටර්ඩේ රිවීව් පුවත්පතට එවක රජය විසින් 1983 ජූලි 01 වනදා සීල් තබන ලදී. අත් අඩංගුවට පත්වීමේ අනතුරෙන් ගැලවී සිවනායගම් ඉන්දියාවට පලා ගියේ ය. මෙහි පල වන්නේ ඔහු විසින් සැටර්ඩේ රිවීව් පුවත්පතට ලියන ලද කතුවැකිවල සිංහල පරිවර්තන වේ.


සිංහල පරිවර්තනය - සංජුලා පීටර්ස්


තවත් ත්‍රස්තවාදින් බිහි කරන්නේ කුමකටද?

1982 පෙබරවාරි 20


අවුරුදු දෙක හමාරකට පෙර - 1979 ජූලි 14 - ජනාධිපති ජයවර්ධන, එවක යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි බ්‍රිගේඩියර් ටී.අයි. වීරතුංග වෙත විශේෂ නියෝගයක් සිදු කළේය. එම නියෝගයෙහි මෙසේ දැක්වේ: "රටේ නීතියට අනුකූලව දිවයිනෙන්, විශේෂයෙන්ම යාපනය දිස්ත්‍රික්කයෙන් ත්‍රස්තවාදී උවදුර එහි සියලු ස්වරූපවලින් තුරන් කර දැමීම ඔබගේ රාජකාරිය වේ. රාජ්‍යයේ සියලු සම්පත් ඔබේ කැමැත්ත පරිදි පරිහරණය කිරීම පිණිස මම ඔබට භාරදෙමි. මෙම කාර්ය ඔබ විසින් ඉටු කළ යුතු අතර, 1979 දෙසැම්බර් 31 වනදාට පෙර එය සම්පූර්ණ කළ යුතුය."  


ඒ, අපි සඳහන් කළා මෙන්, මීට වසර දෙක හමාරකටත් පෙර ය. මෑතක, 1982 පෙබරවාරි 14 දින "ජාතික" පුවත්පතක පළමු පිටුවේ පල වූ පුවතක සිරස්තලය වූයේ  "ඇස්තමේන්තු කළාට වඩා බොහෝ ත්‍රස්තවාදීන් උතුරේ සිටිති" ලෙස ය. වාර්තාවේ සඳහන් වූයේ මෙසේය: "උතුරේ ත්‍රස්තවාදී ව්‍යාපාරය කලින් ඇස්තමේන්තු කළ සංඛ්‍යාවට වඩා විශාල බවට සාක්ෂි පොලිසිය විසින් සොයාගෙන ඇත." 


කෙනෙක් මේ දෙක එකිනෙක මත සමපාත කර බලන විට පැහැදිලිව කරුණක් හෙළි වේ. ආණ්ඩුව විසින් තම ප්‍රචණ්ඩත්වය මැඩලීමේ බලය අත් හරිනු ඇතැයි සිහිබුද්ධිය ඇති කිසිවෙක් අපේක්ෂා නොකරන අතර, සැබවින්ම අවධානය යොමු කළ යුතු වඩා වැදගත් දේ මේ ගැටළුව තුළ පවතියි. ත්‍රස්තවාදය,  "නීතිය හා සාමය" පිළිබඳ ගැටලුවක් ලෙස පමණක් ඌනනය කළ හැකි ද? ත්‍රස්තවාදීන්ට අපි කැමති වුවත් නැතත්, ඔවුන්ව මංකොල්ලකරුවන්ට, හොරුන්ට, මංපහරන්නන්ට සහ ගිනි තබන්නන්ට සම කළ නොහැක. මේ දෙක අතර ඇති එකම පොදු ලක්ෂණය වන්නේ ප්‍රචණ්ඩත්වයට; නිසැකවම නීතියේ ආධිපත්‍ය ගරු කරන ශිෂ්ට සම්පන්න සමාජයකට අනුමත කළ නොහැකි ප්‍රචණ්ඩත්වයට, නැඹුරු වීමයි. 


නමුත් සැබවින්ම ත්‍රස්තවාදීන් යනු මංකොල්ලකරුවන් සහ මැරයන් හා සම තත්වයෙහි ලා සැලකිය හැකි පිරිසක් නම්, වසර දෙක හමාරකට පෙර ජනාධිපති ජයවර්ධන විසින් කළ නියෝගය 1979 දෙසැම්බර් 31 වන විට අතිසාර්ථකව ක්‍රියාත්මක වී තිබිය යුතුය. තරුණ ත්‍රස්තවාදය යනු ජාතික නිර්මිතයට අදාළ යම් ගැඹුරු සහ මූලධාර්මික කරුණක් පිළිබඳ ප්‍රචණ්ඩ ප්‍රකාශනයකි. මිනිස් සබඳතා යන්නට මිනිස් කණ්ඩායම්, ජනවර්ග හෝ ජාතින් ආදියට බලපාන සම්බන්ධතා පමණක් නොව, රටේ අනාගත ගමන් මඟට සහ ප්‍රගතියට බලපාන සබඳතා ද ඇතුළත් වේ.  


වසර දෙක හමාරකට පෙර, පොලිස් නිලධාරීන් ත්‍රස්තවාදි ප්‍රහාරවලට නිතිපතා ගොදුරු වෙමින් තිබිය දී, යාපනය තුළ සිටි හමුදාව සාපේක්ෂව මහජන විශ්වාසය දිනා සිටියහ. එතැන් පටන් සිදුවූයේ කුමක්ද? දේශපාලන ගැටළුවක් සඳහා මිලිටරීමය විසඳුමක් දීම යෝග්‍ය පිළිතුරක් නොවේ. මිලිටරි යාන්ත්‍රණයක සියලු ශක්ති ප්‍රමාණය යොදවා වුව මිලිටරීමය විසඳුම් කිසිදා සාක්ෂාත් කරගත නොහැක. මිහිමත බලවත්ම ජාතිය - ඇමරිකා එක්සත් ජනපදය, වසර ගණනකට ඉහත වියට්නාමයේදී අනාවරණය කරගත් පරිදි, තවත් ත්‍රස්තවාදීන් බිහි කරන්නේ කුමකටද?