පෑන සහ අවිය I (පිටස්තරයන් වීමේ වේදනාව )


පෑන සහ අවිය  I 




සැටර්ඩේ රිවීව් (Saturday Review) පුවත්පත ආරම්භ වූයේ 1982 වසරේ ජනවාරි 30 වනදා ය. එහි පළමු කතුවරයා වූයේ කීර්තිමත් පත්‍රකලාවේදියෙක් වූ සුබ්‍රම්නියම් සිවනායගම් වේ. අභීත මාධ්‍යකරණයක නිරත වූ සැටර්ඩේ රිවීව් පුවත්පතට එවක රජය විසින් 1983 ජූලි 01 වනදා සීල් තබන ලදී. අත් අඩංගුවට පත්වීමේ අනතුරෙන් ගැලවී සිවනායගම් ඉන්දියාවට පලා ගියේ ය. මෙහි පල වන්නේ ඔහු විසින් සැටර්ඩේ රිවීව් පුවත්පතට ලියන ලද කතුවැකිවල සිංහල පරිවර්තන වේ. 


සිංහල පරිවර්තනය - සංජුලා පීටර්ස්


පිටස්තරයන් වීමේ වේදනාව

1982 පෙබරවාරි 6


පසුගිය දිනක කොළඹ ඉරිදා පුවත්පතක වික්ෂිප්ත කරවන පුවතක් විය. එහි මෙසේ දැක්විණ:  "නුවර සහ ගාල්ල ප්‍රදේශවල විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කෙරෙමින් පවතියි. දුර බැහැර ප්‍රදේශවල සිට කොළඹට පැමිණෙන මහජනතාවට සිදුවන අපහසුතා අවම කිරීම සඳහා ගමන් බලපත්‍ර නිකුත් කිරීම විමධ්‍යගත කළ යුතු බවට පසුගිය සතියේ රජය විසින් ගත් තීරණයක් අනුව මෙම පියවර ගන්නා ලදී. බටහිර ආසියාව තුළ ශ්‍රී ලාංකිකයන් ලක්ෂයක් සඳහා රැකියා අවස්ථා සොයන ලෙස ජනාධිපතිවරයා විසින් කම්කරු අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇති අතර, කරදරයකින් තොරව ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට ඉඩ සැලසිය යුතු බවට රජය සැලකිලිමත් වේ."   


අපි දෙවරක්ම වාර්තාව කියෙව්වත්, යාපනය හෝ මඩකලපුව ගැන සඳහනක් සොයා ගත නොහැකි විය. ආණ්ඩුවේ තීරණය පිටුපස ඇති අදහස කුමක්ද? බැලූ බැල්මට, යාපනය "දුර බැහැර ප්‍රදේශයක්" නොවන බවට දිස්වනු ඇත. නමුත් නුවර සහ ගාල්ල කිලෝමීටර 116 ක් දුරින් ඇති විට, මඩකලපුවට සහ යාපනයට දුර පිළිවෙලින් කිලෝමීටර 303 ක් සහ 396 ක් වනවිට එය එසේ වන්නේ කෙසේද? අරමුණ වන්නේ "මහජනතාවට සිදුවන අපහසුතාවය අවම කිරීම" නම්, යාපනයේ සහ මඩකලපුවේ ජනතාව ඊට අයත් නොවන්නේද? ඔවුන්ට විදෙස් ගමන් බලපත්‍ර උවමනා නැද්ද? නැත්නම්, මේ රටේ දෙමළ ජනතාව මුහුණ දෙන අපහසුතාවන් අවම කිරීමට හෝ බටහිර ආසියාවෙන් ඔවුන්ට රැකියා සොයා දීමට තමන්ට කිසිදු බැඳීමක් නැතැයි රජය සිතනවාද? නැත්නම් යාපනයේ සහ මඩකලපුවේ ජනතාවට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ වගකීම ඇත්තේ වෙනත් රාජ්‍යයකට බව ආණ්ඩුව සිතනවාද? එසේත් නැත්නම්, යාපනය තුළ ගමන් බලපත්‍ර නිකුත් කිරීමෙන්, සෑම සතියකම සියගණන් යාපනය ජනයා තම ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා තදබද වූ දුම්රිය මැදිරි තුළ, නිල ඇඳුම් ලෑ විවිධ අය සහ මැරයන්ගේ කොල්ලකෑමට, පහරදීමට සහ හිංසනයට ලක් වෙමින් සැතපුම් 500 ක් ගමන් කිරීම මඟින් ශ්‍රී ලංකා දුම්රිය සේවයට ලැබෙන ආදායම අඩු වනු ඇතැයි ඔවුන් සිතනවාද?


කොයි පැත්තෙන් බැලුවත්, සමස්තය දුගඳ ය. ආණ්ඩුවේ ක්‍රියා සහ චින්තනය විසින්ම දෙමළ ජනයා බැහැර කර ඇති විට, උතුරු නැගෙනහිර දෙමළා තමන් සුවිශේෂී යැයි සිතීම ගැන සමච්චල් කිරීමේ තර්කය කුමක්ද? තම පුරවැසියන්ගෙන් එක් කොටසකගේ අවශ්‍යතා පිළිබඳව ආණ්ඩුව විසින් සැලකිල්ලක් නොදක්වන බව පෙනෙන විට, කොටින් ගැන කතා කිරීමේ සහ ඊළම් අවතාරය ගැන වැලපීමේ පදනම කුමක්ද?


මිනිසුන් අතර ඇති වෙන්වීම පිළිබඳ හැඟීම හෝ රට තුළ ඇති බෙදුම්වාදය අධෛර්යමත් කළ හැකි එකම සාර්ථක මඟ වන්නේ තමන් එකම ජාතියකට අයත් යැයි විශ්වාස කිරීමට මිනිසුන්ට ඉඩ සැලසීමයි. තමන් යමකට අයත්ය යන හැඟීම අහිමි කිරීම තරම් බරපතල වේදනාවක් මිනිසෙකුට නැත. රටේ එක් කොටසක් යටත් විජිතයක් ලෙස පාලනය කිරීම විසින් මෙහෙයවනු ඇත්තේ එක් අවසානයකට ය; ඒ, සෑම යටත් විජිතයකටමත්, අධිරාජ්‍යයකටමත් කිසියම් දිනෙක එළඹෙන නියත අවසානයට ය.