දුරෛවි නමැති සාහිත්‍යප්‍රේමියා

 

ජෙගන් ගනේෂන්


2021 වසරේ විශිෂ්ඨත ම පරිවර්තන කෘතියට පිරිනැමෙන දුරෛවි සම්මානය මෙවර රිෂාන් ෂරීෆ් විසින් පරිවර්තනය කළ තක්ෂිලා ස්වර්ණමාලිගේ ‘අන්තිම කාලත්තින් ඉරුදි නේසම්’ යන කෙටි කතා සංග්‍රහයට හිමි ව තිබේ. එම සම්මාන ප්‍රදානෝත්සවය පෙබරවාරි 27 වනදා සාහිත්‍යවේදී තෙලිවත්ත ජෝශප් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සූදානම් කර ඇත. දුරෛවි ප්‍රකාශන ආයතනයේ නිර්මාතෘවරයා වන දුරෛ විශ්වනාදන්ගේ ජන්ම දිනයට සමගාමී ව මෙම සම්මාන ප්‍රදානය කිරීම සෑම වසරක දී ම සිදු කරනු ලබයි. මෙහි දී එක් පරිවර්තන කෘතියකටත්, එක් පර්යේෂණ කෘතියකටත් සම්මාන ප්‍රදානය කරනු ලැබේ. අක්කරෛපත්තුව ප්‍රදේශයේ පදිංචි එම්. අබ්දුල් රසාක් ගේ ‘නැගෙනහිර දෙමළ සාහිත්‍ය විචාරයේ වර්ධනය’ යන පර්යේෂණ කෘතිය මෙවර දුරෛවි සම්මානය සඳහා නම් කර ඇත.


පරිසු පෙට්ට්‍ර සිරුකතෛගල්
දුරෛවි සම්මාන සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මේ වනවිට ලේඛකයින් සහ සාහිත්‍ය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පිරිස් අතර මේ වනවිට මතු ව තිබේ. ඒ පිළිබඳ සාකච්ඡා කරන විට දුරෛවි ප්‍රකාශන ආයතනයේ නිර්මාතෘවරයා සම්බන්ධයෙන් වන සාකච්ඡාවකින් අපට බැහැර විය නොහැක. දුරෛ විශ්වනාදන් 1931 වසරේ පෙබරවාරි මස 28 වනදා ඉන්දියාවේ තමිල්නාඩුවේ පිහිටා තිබු තුරෛයූර් සිගත්තම්පූර් නමැති ග්‍රාමයෙහි උපත ලැබුවේ ය. 1945 වසරේ දී රැකියා අරමුණකින් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ ඔහු ව්‍යාපාරිකයෙකු ලෙස තම නාමය ස්ථාවර කර ගැනීමට සමත් විය. 1966 වසරේ ජුනි මාසයේ දී මාතලේ ප්‍රදේශය ‘රාණි ග්‍රයින්ඩිං මිල්ස්’ නමැති ව්‍යාපාර ආයතනය ආරම්භ කළේ ය. එම වසරේ දී ම ‘විජයාස්’ නමැති තවත් ව්‍යාපාරයක් මාතලේ දී ම ඇරඹීමට කටයුතු කළේ ය. ඔහු විසින් 1976 වසරේ ‘විජයා ජෙනරල් ස්ටෝර්ස්’ ආරම්භ කළේ, කොළඹ නගරයේ දී ය. 



මෙලෙස තම ව්‍යාපාරික අරමුණු සාක්ෂාත් කරගැනීමෙන් අනතුරුව ඔහු කලාව සහ සාහිත්‍ය සම්බන්ධයෙන් වන ලිපි ලේඛන, පොත පත කියවීම කෙරෙහි තව තවත් නැඹුරු විය. එලෙස තමන් කියැවු පොත් අතරින් සිත් ගත් පොත් සම්බන්ධයෙන් සිය දිනපොතෙහි සටහන් කරගැනීමත් දුරෛ පුරුද්දක් කරගෙන සිටියේ ය. තව ද පොත් එළිදැක්වීම්, සාහිත්‍ය සංවාද ඇතුළු වැඩසටහන්වලට යාම ද ඔහු පුරුද්දක් කරගෙන සිටියේ ය.  එහි ප්‍රතිඵලයක් ලෙස මල්ලිගෛ වාර ප්‍රකාශනයේ කර්තෘ ඩොමිනික් ජීවා, තෙලිවත්ත ජෝශෆ්, ප්‍රේම්ජී යන අය සමඟ සමීපව කටයුතු කිරීමේ අවස්ථාව ඔහුට හිමි විය. ශ්‍රී ලංකා ප්‍රගතිශිලි ලේඛකයින්ගේ සංගමය වැනි කලා කටයුතුවලට නැඹුරුවක් දක්වන පිරිස සමඟින් ද දුරෛ සමීපව කටයුතු කළේ ය. කොළඹ පිහිටි ව්‍යාපාරික ස්ථානයේ උඩුමහල සාහිත්‍යවේදීන්ගේ රැස්වීම් සහ හමුවීම් සඳහා ඉඩ ලබා දුන්නේ ය. 

මෙම පිරිසගේ හඳුනාගැනීම් දුරදිග යාමත් සමඟ ඔහු විසින් ‘දුරෛවි’ යන ප්‍රකාශන ආයතනය ආරම්භ කරන ලදි. ඔහු ජීවත් ව සිටින කාලයේ දී එම ආයතනය හරහා ග්‍රන්ථ 09 ක් ප්‍රකාශයට පත් කළේ ය. විශේෂයෙන් ම ඒ සඳහා දුරෛ විසින් තෝරාගනු ලැබුවේ කඳුකර සාහිත්‍ය කෘතීන් ය. 

තිනකරන් පුවත් පතෙහි අනුග්‍රහය සහිත ව ජාතික මට්ටමින් කෙටි කතා තරගාවලියක් දුරෛ සංවිධානය කළේ ය. කෙසේ වෙතත් එහි ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර එනම් 1998 වසරේ දෙසැම්බර් 21 වනදා දුරෛ විශ්වනාදන් මෙලොව හැර ගියේ ය. අනතුරුව එම වසරේ දී ම ඔහුගේ පුත්‍රයා වන රාජ් ප්‍රසාන්ත්ගේ මැදිහත් වීමෙන් තරගාවලියේ දී තෝරාගනු ලැබු කෙටි කතා ‘පරිසු පෙට්ට්‍ර සිරුකතෛගල්’ (ත්‍යාග ලැබු කෙටි කතා) නමින් දුරෛවි ප්‍රකාශනයක් ලෙස එළිදක්වනු ලැබීය.