යුගයක නිමාවක් සනිටුහන් කළ සෙ. ගනේෂලිංගන්

 


ජෙගන් ගනේෂන් 


කලාව, සාහිත්‍ය, නාට්‍ය, ජනමාධ්‍ය, අස්පර්ශනීයත්වය, සූරාකෑම, ප්‍රචණ්ඩත්වය, වධහිංසා, දරුවන්ට සිදු වන හිංසා, කාන්තාවන්ට සිදු වන හිංසා, ආධිපත්‍යවාදය, වාර්ගික අර්බුදය යන කරුණු මෙරට දෙමළ ජනයාගේ සමාජ ජීවිතය සමඟ බැඳි තිබෙන ඛේදවාචක වේ. කාර්මිකරණය, නාගරීකරණය සහ නවීනකරණය හේතුවෙන් මිනිස් ශ්‍රමය සූරාගෙන කන ආර්ථික ක්‍රමයක් මෙරට තුළ නිර්මාණ විය. තව ද පාරිභෝගික සංස්කෘතිය, මානව විරෝධී ප්‍රවණතාවය, බහුජාතික සමාගම්වල ආධිපත්‍ය, නුතන අධිරාජ්‍යවාදි සූරාකෑමේ සහ ගෝලීයකරණය යන නාමයෙන් සිදු වන අරාජිකත්වයන් සම්බන්ධයෙන් දැඩි විවේචන සිදු කළ ලේඛකයෙකු ලෙස සෙ. ගනේෂලිංගන් ව මහචාර්ය සී. තිල්ලෛනාදන් තම අධ්‍යයනයක පෙන්වා දී තිබේ. 

සෙ. ගනේෂලිංගන් 1928 වසරේ මාර්තු මස 09 වනදා යාපනයේ, උරුම්පිරායි හිදී ක. සෙල්ලයියා - රාසම්මා යුවලගේ දෙවන පුත්‍ර රත්නය ලෙස උපත ලැබුවේ ය. 

ඔහු සිය ප්‍රාථමික අධ්‍යයන කටයුතු උරුම්පිරායි ග්‍රාමයෙහි පිහිටා තිබු කතෝලික පාසලක සිදු කළ අතර හය වන ශේණිය සඳහා චනද්‍රෝදය විද්‍යාලයට ඇතුළත් විය. අනතුරුව යාපනය පරමේශ්වරා විද්‍යාලයට ඇතුළත් වී එහි දී එච්.එස්.සී විභාගයත් ලන්ඩන් මෙට්ටි්‍රකුලේෂන් විභාගයත් සමත් විය.  

අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව 1950 සිට 1980 දක්වා යන කාලය තුළ ගනේෂලිංගන් රාජ්‍ය ආරක්ෂක අංශයේ පිටපත් සටහන්කරුවෙකු ලෙස කොළඹ සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල සේවය කළේ ය. 



1948 ජනවාරි 30 වනදා මහත්මා ගාන්ධි ඝාතනයට ලක් වූ අවස්ථාවේ දී ගාන්ධිට අවසන් ගෞරවය දැක්වීමට උරුම්පිරායි ග්‍රාමයේ දී සමුළුවක් තම මිතුරන් සමඟ එක් වී සංවිධානය කළේ ය. “ගාන්ධිගේ සිරුර යමුනා නදිය අසබඩ ආදාහනය සිදු කළ ද, ඔහුගේ මතවාද අප ඉදිරියටත් රැගෙන ආ යුතුයි. මේ තියෙන කුලවාදය සහ ජාතිවාදය අපි නැති කරන්න ඕනේ. මෙහේ තියෙන කෝවිල් කුලහීන යැයි කියන අය වෙනුවෙන් ද විවෘත වෙන්න ඕනේ..” යනුවෙන් එම අවස්ථාවේදී ඔහු දැඩිව ප්‍රකාශ කර තිබේ. තව ද ‘මහත්මා කොංග්‍රස්’ යනුවෙන් සංගමයක් ආරම්භ කළ ඔහු එහි ලේකම්වරයා ලෙස කටයුතු කළේ ය. කුලහීනය යැයි සලකන ප්‍රජාවට සිදු වන අසාධාරණයන්ට විරුද්ධව ගනේෂනලිංගන් හඬ නැගුවේ ය.

1949 වසරේ දී ඉන්දිය රජය විසින් ඉන්දිය කොමිනියුස්ට් පක්ෂය තහනම් කළ අතර එහි නායක ප. ජීවානන්දම් බෝට්ටුවකින් යාපනයට පැමිණියේ ය. ඔහු සමඟින් එක් ව යාපනයේ දී කුලහීන යැයි පැවසෙන අය ජීවත් වන ප්‍රදේශවලට ගොසින් දේශන කටයුතු සංවිධාන කළේ ය. 

1956 වසරේ දී  ලෝක සාමය සඳහා වන සමුළුව මෙරට දී පැවැත්විණි. ඊට චිලි ජාතික කවියෙකු වන පැබ්ලෝ නෙරුඩා පැමිණියේ ය. එලෙස පැමිණි නෙරුඩා, දෙමළ ප්‍රගතිශිලි ලේඛකයින්ගේ සංගමය විසින් දේශනයකට ද ආරාධනා කළහ. එම වැඩසටහන සංවිධාන කළ කණ්ඩායමේ නායකත්වය හිමි ව තිබුණේ ද ගනේෂලිංගන් හට වීම ද මෙහි දී සිහිපත් කළ යුතුය.


1950 වසරේ දී තිනකරන් පුවත් පතට ‘මනිනිප්පු’(සමාව) නමැති කෙටි කතාවක් ලියමින් ඔහු ලේඛන ලොවට තමන් ව හඳුන්වා දුන්නේ ය. නල්ලවන්, සංගමම්, ඌමෛගල්, කාදල් උරවල්ල - පගමෛ උරුවු, ඔරේ ඉනම්, කොඩුමෛගල් තාමේ අළිවදිල්ලෛ යන කෙටි කතා ගනේෂලිංගන්ගේ නිර්මාණ අතර විශේෂිත වේ. 

සෙ. ගනේෂලිංගන් තම කෙටි කතා හරහා මෙරට පැවැති වාර්ගික අසමගිය, වැඩවසම් ක්‍රමය සම්බන්ධයෙන්, අධිපතිවාදය, සූරකෑම්, අසාධාරණකම්වලට විරුද්ධව අරගල කළ යුතු බව පෙන්වා දුන්නේ ය. එමෙන්ම කාන්තාවන් දෛනික ජීවිතයේ දී මුහුණ දෙන ගැටලුරෑ වස්තු විෂයන් කරමින් ඔහු කෙටි කතා සම්පාදනය කළේ ය. 

සෙ. ගනේෂලිංගන් සුදන්දිරන්, තිනකරන්, පුදුමෛ ඉලක්කියම්, ශාන්ති, සරස්වති, තාමරෛ වැනි මුද්‍රිත මාධ්‍ය සඳහා තම නිර්මාණ දායකත්වය ලබා දුන්නේ ය. මොහුගේ ‘සායම්’ නමැති කෙටි කතා ලාංකේය කෙටි කතා සංග්‍රහයට ඇතුළත් විය. එය රුසියානු භාෂාවට ද පරිවර්තනය විය.

‘සායම්’ (කහට)  කෙටි කතාව හරහා මෙරට වතුකම්කරුවන්ගේ සමාජ, ආර්ථික සහ සංස්කෘතික තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. තේ බොන සෑම අවස්ථාවක දී ම එය වතුකම්කරුවන්ගේ රුධිරය බවට සිහියෙහි තබා ගන්නා ලෙස ද ගනේෂලිංගම් සිය කෙටි කතාවෙන් අවධාරණය කර ඇත.

ඔහු තම නිර්මාණ හරහා මෙරට වතුකම්කරුවන් මුහුණ දෙන තාඩන පීඩන සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡා ඇති කිරීමට උත්සහ කළේ ය. එමෙන් ම සෑම කෙටි කතාවකින් ම මෙරට ආණ්ඩුකරණයේ ඇති අඩුපාඩු නිතරම පෙන්වා දීමට ඔහු උත්සහ කළේ ය. ‘ඒලෛගල් අප්පඩියේ ඉරුක්කිරාර්ගල්’ (දුප්පතුන් එලෙසම සිටිති) කෙටි කතාවෙන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ඔහු ප්‍රශ්න කළේ ය. 


‘කොඩුමෛගල් තාමේ අළිවතිල්ලෛ’ යන කෙටි කතාව  සිංහල බසට ද පරිවර්තනය වී තිබේ. මොහුගේ බොහෝ කෙටි කතා සිංහල, මලයාලම්, රුසියන්, ඉංග්‍රීසි යන භාෂාවලට පරිවර්තනය වී තිබීමත් විශේෂත්වයකි. 

පෝර්කෝලම්, මණ්ණුම් මක්කලුරෑම් නමැති නවකතා ඉන්දියාවේ දී වාරණයකට පවා ලක් විය. මණ්ණුම් මක්කලුරෑම් නවකතාව මෙලෙස තහනම් වීම සම්බන්ධයෙන් එකල විශාල කතාබහක් නිර්මාණය විය.

1971 වසරේ දී කුමරන් නමින් මාසික සඟරාවක් ආරම්භ කළ අතර එය ලාංකේය දෙමළ සඟරා අතරින් දැඩි කතා බහකට ලක් විය. තව ද ඔහු තම ප්‍රකාශන ආයතනය වන කුමරන් හරහා විශාල පොත් ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට පෙරමුණ ගත්තේ ය. ඒවා ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව කේන්ද්‍ර කරගනිමින් අලෙවි විය. 


නීන්ඩ පයනම් නමැති නව කතාව සඳහා ඔහුට 1966 වසරේ දී ශ්‍රී ලාංකේය සාහිත්‍ය සම්මානය ද හිමි විය. මෙම නව කතාව වෙනස් ම ආරයක ලියැවුණ එකක් විදිහට හඳුන්වා දිය හැකිය. ධනවාදී ආර්ථිකය තුළ ශ්‍රම සූරා කෑම මෙහි තේමාව වී තිබු අතර ඊට එකල සමාජයේ තිබු සමාජීය ගතිලක්ෂණ ඇතුළත් කර තිබුණි, මෙය වැඩකරන ජනයාගේ විමුක්තිය සඳහා වූ කෘතියක් ලෙස චෙන්නායි විශ්වවිද්‍යාලයේ දෙමළ සාහිත්‍ය පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ වී.අරසු සිය පර්යේෂණ කෘතියක සඳහන් කර ඇත.

මරණතිල් නිළලිල් නමැති කෙටි කතා සංග්‍රහයට තමිල්නාඩු රාජ්‍ය සම්මානය හිමි විය. 

1960 දී පමණ මීනම්බාල් සමඟ යුග දිවියට පිවිසි ගනේෂලිංගන් කුන්දවි, කුමරන් සහ මානිවිළි නමැති දරුවන් තිදෙනාගේ ආදරණීය පියා ද වෙයි. 

දෙමළ සාහිත්‍ය වෙනුවෙන් අතිමහත් සේවයක් ඉටු කළ සෙ.ගනේෂලිංගන් 2021 වසරේ දෙසැම්බර් 04 වන දින 93 හැවිරිදි වියෙහි දී අභාවප්‍රාප්ත විය.



ගනේෂලිංගන්ගේ වියෝව සහස්‍රයක නිමාවක් ලෙස හඳුන්වා දීමට හැකිය. තමන් දැරු මතවාදය වෙනුවෙන් අවසානය වෙනකම් පෙනි සිටී අයෙකුගේ කෙනෙකු ලෙස ගනේෂලිංගන්ව හඳුන්වාදීමට කැමැත්තෙමි.