" ශ්‍රී ලංකාවේ මොන ආණ්ඩු මාරු සිදු වුණත් සිංහල-බෞද්ධ අධිපතිවාදි ව්‍යාපෘතිය අඛණ්ඩව පවතින තාක් වෙනම සහ පැහැදිලි දෙමළ අනන්‍යතාවයක අපේක්ෂාවත් වර්ධනය වෙනවා"

 " ශ්‍රී ලංකාවේ මොන ආණ්ඩු මාරු සිදු වුණත්  සිංහල-බෞද්ධ අධිපතිවාදි ව්‍යාපෘතිය අඛණ්ඩව පවතින තාක් වෙනම සහ පැහැදිලි දෙමළ අනන්‍යතාවයක අපේක්ෂාවත් වර්ධනය වෙනවා"



අපර්ණා හල්පේ (Aparna Halpé) විසින් චේරන් රුද්‍රමූර්ති සමග පවත්වන ලද On Responsible Distance යන සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය. (II කොටස)

සිංහල පරිවර්තනය - සංජුලා පීටර්ස්

07) මෙම කාල පරිච්ඡේදයෙන් ටික කලකට පසු ඔබ ශ්‍රී ලංකාව හැර ගියා. නෙදර්ලන්තය තුළ පිටුවහල්ව ජීවත් වී, අවසානයේ කැනඩාවට සංක්‍රමණය වුණා. පිටුවහල් වීම සහ විතැන් වීම පිළිබඳ ගැටළු ඔබේ කවිවල ප්‍රමුඛව දක්නට ලැබෙනවා. සරණාගතයන්ගේ අයිතිවාසිකම් පුළුල් කිරීමට ඔබ ඔබගේ ශාස්ත්‍රීය සහ බුද්ධිමය වැඩකටයුතු සම්පූර්ණයෙන්ම යොදවලා තියෙනවා. මේ අත්දැකීම ගැන අපිට කිව හැකි ද?

මම ඔබට පසුබිම ගැන කිව යුතුයි. රජයේ සහ කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් හේතුවෙන් මට 1986 වන විට පිටුවහල් වීමට සිදුවුණා. ඒ වගේම මගේ ලිවීම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ අකැමැත්තෙන් සිටි TELO වැනි සංවිධානවල බලපෑමත් තිබුණා. මම කිසිම සන්නද්ධ කණ්ඩායමකට සම්බන්ධ නැති බව සියලු දෙනාම දැන සිටීම සිත්ගන්නා සුළු කරුණක්. මම පමණට වඩා කතා කරන ලේඛකයෙක් සහ කවියෙක් විතරයි. නමුත් "කරදරකාරයා" කියන තේරුම ඇති 'කුල්ලප්පල්වාඩේ' කියන දෙමළ යෙදුම මාව සහ මා හා සමාන අදහස් තිබූ මගේ මිතුරන් සමහරෙක් හඳුන්වන්න යොදාගත්තා. මේක වඩා භයානක බවට දෙමළ සටන්කාමීන් දැක්කේ. ඔවුන්ට විරුද්ධ නැති නමුත් ඔවුන්ට සහය දීමත් නොකරන කෙනෙක් හිටියේ. මම හැමදේටම බාධා කළා. ඔවුන්ට අනුව ද්‍රෝහීන්ට සහ සතුරන්ට වඩා "කරදරකාරයෝ" නරකයි. මේක ඔවුන්ට බරපතල ප්‍රශ්නයක් වුණා. කොටි සංවිධානයේ නායකයෙක් විසින් මට යාපනයෙන් පිට වෙන ලෙස පැවසුවා. "මට ඔයාව මරන්න වුවමනා නැහැ. ඔයා වටිනා කෙනෙක් බව මම දන්නවා. ඔයා යාපනෙන් පිට වුණොත් ඒක ඔයාටත් මටත් දෙන්නටම හොඳයි. මට ඔයාගේ ආරක්ෂාව තහවුරු කරන්න බැහැ." කියලා ඔහු මට කිව්වා.
1989 දී ඉන්දීය සාම සාධක හමුදාව සමග ගෙවුණු ජීවිතය ගැන ලියවුණු මගේ කවි එකතුව පල කරන්න මට හැකි වුණේ නැහැ. මගේ පොත ප්‍රකාශයට පත් කිරීමට සිටි පුද්ගලයාගේ මුද්‍රණාල විනාශ වුණා. යාපනයේ ඉන්දීය ආක්‍රමණය සම්බන්ධයෙන් ලියවුණු "ඇටසැකිලි පෙරහැර" (Procession of Skeletons) නම් වූ මේ කවි එකතුව ඉන්දියාවේ හෝ ලංකාවේ ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වුණා. අවසානයේ එය ප්‍රකාශයට පත් කළේ 1990 ටොරොන්ටෝහි දී Tamil Resource Centre විසින්.

ඔහුගේ අවසරය ඇතුව මම තව ටික කාලයක් යාපනයේ නැවතිලා හිටියා. මම එතරම් සක්‍රීයව නොසිටියත්, 1987 දී ඉන්දීය සාම සාධක හමුදා ඇවිත් සාම ගිවිසුම ක්‍රියාත්මක වෙන්න පටන්ගැනීමත් එක්ක තත්වය ගොඩක් දුෂ්කර වුණා. ඉන්දියාවේ ක්‍රියාමාර්ග මම දැඩි ලෙස විවේචනය කළා. ගාමිණී නවරත්න, මගේ සංස්කාරකවරයා අවසානයේ කිව්වා "පුතා, මේක ඔයාට හොඳ දෙයක් නෙමේ. ඔයා මෙහෙන් ගියොත් හොඳයි" කියලා. ඉන් පසුව මම නෙදර්ලන්තයට ගියා. වසර දෙකකට පසු නැවත යාපනයට ආවා. මගේ සහෝදරියගේ විවාහයේ කටයුතුවලට මම යාපනයේ සිට මඩකලපුවට යමින් ඉන්න විට EPRL හි සහ ඊළම් ජාතික ප්‍රජාතන්ත්‍රවාදි විමුක්ති පෙරමුණෙහි (ENDLF) ඒකාබද්ධ සංවිධානය විසින් මාව ඔවුන්ගේ සංවිධානයට බලහත්කාරයෙන් බඳවා ගත්තා. TELO සංවිධානයට සම්බන්ධ වී සිටි මගේ විශ්ව විද්‍යාල මිතුරෙකුට ස්තූතිවන්ත වෙන්න මම ඒකෙන් ගැලවුණා. ඔහු මාව බලහත්කාරයෙන් බඳවා ගත් අයගේ කඳවුරේ දී දැකලා මට යන්න දුන්නා. ඉන් පසුව, යාපනය විශ්ව විද්‍යාලය ආසන්නයේදී ඉන්දීය හමුදාවේ ගුර්කා (Gurka) රෙජිමේන්තුව විසින් මාව මරා නොදැම්මා විතරයි.

පිටුවහල්ව ජීවත් වීම විසින් මට දේශපාලනය, වේදනාව, විතැන් වීම සහ 'ස්ථානයක්' තිබීමේ වැදගත්කම හෝ නොවැදගත්කම පිළිබඳ විශාල අවබෝධයක් ලබා දුන්නා. ඒක මගේ භාෂාවේ සැකැස්ම, උපමාරූපක වෙනස් කළා. දුරස්ථව සිට අරගලයක කොටස්කරුවෙක් වෙමින්, මම මගේ සහයෝගීතාව ප්‍රකාශ කළේ කොහොමද? දුරස්ථභාවය තුළ තියෙන වගකීම් විරහිතභාවය ගැන අපි අහලා තියෙනවා. මේක තමන්ගේ මව් රටෙන් මිනිසුන් ලෝකය පුරා වෙනත් රටවලට විසිර යාම ගැන අධ්‍යනය කිරීමේදී (ඩයස්පෝරා අධ්‍යනය) මතුවන ප්‍රධාන ගැටළුවක්. එසේම, දුරස්ථව සිටියදී වගකීම් සහගතව සිටිය යුතු බවට ත් මම ඉගෙනගත්තා. මම හිතන්නේ මේවා එකම කාසියේ දෙපැත්ත. මම අයත් වන්නේ, දෙමළ ඩයස්පෝරාව පමණක් නෙවෙයි ඕනෑම ඩයස්පෝරාවක් සම්බන්ධයෙන් අනාගතයේ ඕනෑම ආකාරයක සහයෝගීතාවයක මූලික පදනම වන්නේ 'වගකීම් සහගත දුරස්ථ භාවය' බව යැයි සිතන කණ්ඩායමට.




07) මෙම කාල පරිච්ඡේදයෙන් ටික කලකට පසු ඔබ ශ්‍රී ලංකාව හැර ගියා. නෙදර්ලන්තය තුළ පිටුවහල්ව ජීවත් වී, අවසානයේ කැනඩාවට සංක්‍රමණය වුණා. පිටුවහල් වීම සහ විතැන් වීම පිළිබඳ ගැටළු ඔබේ කවිවල ප්‍රමුඛව දක්නට ලැබෙනවා. සරණාගතයන්ගේ අයිතිවාසිකම් පුළුල් කිරීමට ඔබ ඔබගේ ශාස්ත්‍රීය සහ බුද්ධිමය වැඩකටයුතු සම්පූර්ණයෙන්ම යොදවලා තියෙනවා. මේ අත්දැකීම ගැන අපිට කිව හැකි ද?
මම ඔබට පසුබිම ගැන කිව යුතුයි. රජයේ සහ කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් හේතුවෙන් මට 1986 වන විට පිටුවහල් වීමට සිදුවුණා. ඒ වගේම මගේ ලිවීම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ අකැමැත්තෙන් සිටි TELO වැනි සංවිධානවල බලපෑමත් තිබුණා. මම කිසිම සන්නද්ධ කණ්ඩායමකට සම්බන්ධ නැති බව සියලු දෙනාම දැන සිටීම සිත්ගන්නා සුළු කරුණක්. මම පමණට වඩා කතා කරන ලේඛකයෙක් සහ කවියෙක් විතරයි. නමුත් "කරදරකාරයා" කියන තේරුම ඇති 'කුල්ලප්පල්වාඩේ' කියන දෙමළ යෙදුම මාව සහ මා හා සමාන අදහස් තිබූ මගේ මිතුරන් සමහරෙක් හඳුන්වන්න යොදාගත්තා. මේක වඩා භයානක බවට දෙමළ සටන්කාමීන් දැක්කේ. ඔවුන්ට විරුද්ධ නැති නමුත් ඔවුන්ට සහය දීමත් නොකරන කෙනෙක් හිටියේ. මම හැමදේටම බාධා කළා. ඔවුන්ට අනුව ද්‍රෝහීන්ට සහ සතුරන්ට වඩා "කරදරකාරයෝ" නරකයි. මේක ඔවුන්ට බරපතල ප්‍රශ්නයක් වුණා. කොටි සංවිධානයේ නායකයෙක් විසින් මට යාපනයෙන් පිට වෙන ලෙස පැවසුවා. "මට ඔයාව මරන්න වුවමනා නැහැ. ඔයා වටිනා කෙනෙක් බව මම දන්නවා. ඔයා යාපනෙන් පිට වුණොත් ඒක ඔයාටත් මටත් දෙන්නටම හොඳයි. මට ඔයාගේ ආරක්ෂාව තහවුරු කරන්න බැහැ." කියලා ඔහු මට කිව්වා. ඔහුගේ අවසරය ඇතුව මම තව ටික කාලයක් යාපනයේ නැවතිලා හිටියා. මම එතරම් සක්‍රීයව නොසිටියත්, 1987 දී ඉන්දීය සාම සාධක හමුදා ඇවිත් සාම ගිවිසුම ක්‍රියාත්මක වෙන්න පටන්ගැනීමත් එක්ක තත්වය ගොඩක් දුෂ්කර වුණා. ඉන්දියාවේ ක්‍රියාමාර්ග මම දැඩි ලෙස විවේචනය කළා. ගාමිණී නවරත්න, මගේ සංස්කාරකවරයා අවසානයේ කිව්වා "පුතා, මේක ඔයාට හොඳ දෙයක් නෙමේ. ඔයා මෙහෙන් ගියොත් හොඳයි" කියලා. ඉන් පසුව මම නෙදර්ලන්තයට ගියා. වසර දෙකකට පසු නැවත යාපනයට ආවා. මගේ සහෝදරියගේ විවාහයේ කටයුතුවලට මම යාපනයේ සිට මඩකලපුවට යමින් ඉන්න විට EPRL හි සහ ඊළම් ජාතික ප්‍රජාතන්ත්‍රවාදි විමුක්ති පෙරමුණෙහි (ENDLF) ඒකාබද්ධ සංවිධානය විසින් මාව ඔවුන්ගේ සංවිධානයට බලහත්කාරයෙන් බඳවා ගත්තා. TELO සංවිධානයට සම්බන්ධ වී සිටි මගේ විශ්ව විද්‍යාල මිතුරෙකුට ස්තූතිවන්ත වෙන්න මම ඒකෙන් ගැලවුණා. ඔහු මාව බලහත්කාරයෙන් බඳවා ගත් අයගේ කඳවුරේ දී දැකලා මට යන්න දුන්නා. ඉන් පසුව, යාපනය විශ්ව විද්‍යාලය ආසන්නයේදී ඉන්දීය හමුදාවේ ගුර්කා (Gurka) රෙජිමේන්තුව විසින් මාව මරා නොදැම්මා විතරයි. 1989 දී ඉන්දීය සාම සාධක හමුදාව සමග ගෙවුණු ජීවිතය ගැන ලියවුණු මගේ කවි එකතුව පල කරන්න මට හැකි වුණේ නැහැ. මගේ පොත ප්‍රකාශයට පත් කිරීමට සිටි පුද්ගලයාගේ මුද්‍රණාල විනාශ වුණා. යාපනයේ ඉන්දීය ආක්‍රමණය සම්බන්ධයෙන් ලියවුණු "ඇටසැකිලි පෙරහැර" (Procession of Skeletons) නම් වූ මේ කවි එකතුව ඉන්දියාවේ හෝ ලංකාවේ ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වුණා. අවසානයේ එය ප්‍රකාශයට පත් කළේ 1990 ටොරොන්ටෝහි දී Tamil Resource Centre විසින්. පිටුවහල්ව ජීවත් වීම විසින් මට දේශපාලනය, වේදනාව, විතැන් වීම සහ 'ස්ථානයක්' තිබීමේ වැදගත්කම හෝ නොවැදගත්කම පිළිබඳ විශාල අවබෝධයක් ලබා දුන්නා. ඒක මගේ භාෂාවේ සැකැස්ම, උපමාරූපක වෙනස් කළා. දුරස්ථව සිට අරගලයක කොටස්කරුවෙක් වෙමින්, මම මගේ සහයෝගීතාව ප්‍රකාශ කළේ කොහොමද? දුරස්ථභාවය තුළ තියෙන වගකීම් විරහිතභාවය ගැන අපි අහලා තියෙනවා. මේක තමන්ගේ මව් රටෙන් මිනිසුන් ලෝකය පුරා වෙනත් රටවලට විසිර යාම ගැන අධ්‍යනය කිරීමේදී (ඩයස්පෝරා අධ්‍යනය) මතුවන ප්‍රධාන ගැටළුවක්. එසේම, දුරස්ථව සිටියදී වගකීම් සහගතව සිටිය යුතු බවට ත් මම ඉගෙනගත්තා. මම හිතන්නේ මේවා එකම කාසියේ දෙපැත්ත. මම අයත් වන්නේ, දෙමළ ඩයස්පෝරාව පමණක් නෙවෙයි ඕනෑම ඩයස්පෝරාවක් සම්බන්ධයෙන් අනාගතයේ ඕනෑම ආකාරයක සහයෝගීතාවයක මූලික පදනම වන්නේ 'වගකීම් සහගත දුරස්ථ භාවය' බව යැයි සිතන කණ්ඩායමට.


08) ඔබ කැනඩාවේදී, අභාවප්‍රාප්ත චෙල්වා කනගනායගම් සමඟ දිගු හා සාරවත් සබඳතාවක් ගොඩනඟා ගත්තා. දෙමළ අධ්‍යනය සමුළුව ගොඩනැඟීමේ දී කනගනායගම් සහ දර්ශන් අම්බලවානර් සමග ඔබ ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කළා. ඔබ ව්‍යාපෘති ගණනාවක එකට කටයුතු කර තිබෙනවා. ඒ වගේම ඔබේ කවිවල ප්‍රධාන පරිවර්තකයා ඔහු. ඔබ දෙදෙනා එකතු වෙලා ටොරොන්ටෝව දෙමළ සාහිත්‍ය වර්ධනය වන තැනක් බවට පත් කළා. ඔබේ සම්බන්ධතාවය ගැන අපිට යමක් කිව හැකි ද? ඇත්තෙන්ම මට චෙල්වාව හඳුන්වා දුන්නේ මහාචාර්ය ඈෂ්ලි හල්පේ විසින්. චෙල්වා මගේ සමහර කටයුතු සමග සම්බන්ධ වුවත්, ඇත්ත වශයෙන්ම ඔහු වැඩියෙන්ම සම්බන්ධ මගේ අප්පාගේ කටයුතුවලට. චෙල්වා මගේ අප්පාගේ නිර්මාණ මුලින්ම පරිවර්තනය කළ කෙනෙක්. ඒ වගේම ඔහු මගේ අප්පාගේ කාව්‍යකරණයෙන් දැඩි පන්නරයක් ලැබුවා. මහාචාර්ය හල්පේ විසින් ටොරොන්ටෝහිදී මාව හඳුන්වා දෙන තෙක් මගේ කවිය හෝ දේශපාලනය සමීපව ඇසුරු කරන්නට තරම් පසුබිමක් චෙල්වාට තිබුණේ නැහැ. නමුත් හඳුනාගත්ත මොහොතේ පටන් අපි අතර අපූරු සම්බන්ධයක් ඇති වුණා. ඔහු මගේ නිර්මාණ කියවමින් පරිවර්තනය කිරීමට පටන් ගත්තා. අපි බොහෝ වැදගත් ව්‍යාපෘතිවල සහයෝගයෙන් කටයුතු කරන්න පටන්ගත්තා. මේක දීර්ඝ සහ ඉතා ඵලදායී එකමුතුවක ආරම්භය වුණා. ඔහු මගේ 'ඔබට වෙනතක යා නොහැක' (You cannot turn away) (2011) යන කවි එකතුව සම්පූර්ණයෙන් පරිවර්තනය කළා. ඔහු මගේ වැඩ කටයුතු පිළිබඳ ලිපි ගණනාවක් පල කළා. ඒ වගේම අපි - අනෙකුත් විද්වතුන් සමඟ - දෙමළ අධ්‍යයනය පිළිබඳ වෙළුම් තුනක් සංස්කරණය කළා. අපි දෙදෙනා හමුවීම අප දෙදෙනා කෙරෙහිම තීරණාත්මක කරුණක් වුණා. ඒ දක්වාම, ඔහුගේ අවධානය යොමු වෙලා තිබුණේ අග්නිදිග ආසියානු සාහිත්‍යය, ඩයස්පෝරාවේ මතවාද සහ සෞන්දර්යය කෙරෙහි වීම නිසා අපේ හමුවීම චෙල්වාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වුණා. සමකාලීන දෙමළ කවිය සහ සංහාරය හා යුද්ධය තුළින් මතුවුණු කවියට - දොම්නස සහ ක්ෂතිය පිළිබඳ කවිය - කෙරෙහි ඔහුගේ එතරම් නැඹුරුවක් තිබුණේ නැහැ. මම අලුත්ම නිර්මාණ ඔහුට හඳුන්වා දුන්නා. ඒ ක්ෂේත්‍රයේ අලුතෙන් මතුවෙමින් තිබුණ නිර්මාණ ගැන අපි දෙන්නා නිමක් නැතුව කතා කළා. ඔහු ක්‍රම ක්‍රමයෙන් සමකාලීන දෙමළ කවිය වෙත ඇදී ගියා. ඒ වගේම අසූව දශකයෙන් පසුව ලියවුණු සාහිත්‍යයේ ප්‍රබලත්වය ගැන ඔහු විස්මයට පත් වුණා. එය සමාජගත කළ හැකි එකම ක්‍රමය වන්නේ පරිවර්තනය කිරීම බව ඔහු වටහා ගත්තා. ඔහුට වෙනත් දේවල් කරන්න පුළුවන්කම තිබුණත්, මේ නිර්මාණ දෙමළ භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්න ඔහු ඔහුගේ කාලය සහ ශක්තිය කැප කළා. ඒක ඉතා විශාල දායකත්වයක්. මගේ කවි හෝ වෙනත් උසස් දෙමළ නිර්මාණ දෙමළ බසින් ලියවී තිබුණ නිසා චෙල්වාගේ මැදිහත්වීම නොමැතිව බොහෝ අයට ඒවා කියවන්න ලැබෙයි කියලා මම හිතන්නේ නැහැ. දෙවනුව, අන්තර්ජාතික දෙමළ අධ්‍යයන සමුළුව අන්දමේ සාකච්ඡා මණ්ඩපයක් ආරම්භ කරන්න අපි තීරණය කළා. මිනිස්සු අපෙන් ඇහුවා "දකුණු ආසියා අධ්‍යයනය හෝ ඉන්දීය අධ්‍යනය නැතුව, දෙමළ අධ්‍යයනය තෝරාගත්තේ ඇයි?" කියලා. විද්වතුන් සහ නිලධාරීන් රැසක් දිගින් දිගටම අපිට කිව්වා අපි දකුණු ආසියා හෝ ඉන්දීය අධ්‍යනය නමින් වැඩ කළා නම් අපිට වැඩිපුර මුදල් සහ සහය ලැබෙන බව. ඒ කාලය දෙමළ වීම අපරාධයක් බවට පත් වුණු කාලය. නමුත් අපට දෙමළ අධ්‍යයනයට මූලික වැදගත්කම ලබා දෙන්න අවශ්‍ය වුණේ දෙමළ භාෂාවේ සහ සංස්කෘතියේ ඉතිහාසය අතිශයින් වැදගත් වුණු නිසා. දෙමළ භාෂාව කියන්නේ කිසිම ආගමකට සම්බන්ධ නැති භාෂා කිහිපයෙන් එකක්. දෙමළ භාෂාව, සංස්කෘතිය සහ සාහිත්‍යය සමඟ සම්බන්ධ වූ ඉතාම ප්‍රබල ලෞකිකත්ව සම්ප්‍රදායයක් තියෙනවා. බුද්ධාගම, ජෛන ආගම, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගම් එකම භාෂාවකට මුසු වුණු, ඒ සියල්ලගෙන් පෝෂණය වුණු සාහිත්‍යයක් අපිට තියෙනවා. ඉංග්‍රීසි හෝ ආරබි භාෂා වගේ දෙමළ භාෂාව මේ ආගම්වලින් එකකට පමණක් සම්බන්ධ බව කියන්න බැහැ. සම්භාව්‍ය සංගම් සාහිත්‍යයේ පටන්ම මේ ප්‍රබල ලෞකිකත්ව සම්ප්‍රදාය දැකගන්න පුළුවන්. ඒක සුවිශේෂි යි. දකුණු ආසියාතික අධ්‍යයනයන්වල සංස්කෘත භාෂාවන්ගේ ආධිපත්‍යය විසින් මේ ප්‍රගතිශීලී, ලෞකික භාෂාමය සහ සාහිත්‍ය සම්ප්‍රදාය යටපත් කරනවා. මේක වැදගත් බව අපිට හැඟුණා. ඒ වගේම මේක තනිකරම ව්‍යාපෘතියක් නොවන බව ඉතා රැඩිකල් දෙමළ ජාතිකවාදීන්ට පවා වැටහෙන ආකාරයට අපි මෙය ප්‍රකාශ කළ යුතු බව අපිට වැටහුණා. මේක එක්තරා ආකාරයකට ශිෂ්ටාචාරමය ප්‍රශ්නයක්; ඒක වාර්ගික හෝ ජාතික ගැටළුවක් නෙමේ. ප්‍රශ්නය වෙන්නේ "දෙමළ භාෂාවට සහ දෙමළ අධ්‍යයනයට මානව ශිෂ්ටාචාරය කෙරෙහි දායක විය හැක්කේ කොහොමද?" සහ "එය දායක වෙලා තියෙන්නේ කොයි ආකාරයෙන්ද" කියන එක. 09) පරිවර්තනය යනු ගෝලීය බල සබඳතා සන්දර්භය තුළ අන්තර් හුවමාරුව සඳහා ඇති අවකාශයක් බව ෂෙරී සයිමන් උපුටා දක්වමින් (‘‘Rethinking Translations’’ 350) චෙල්වා කනගනායගම් පවසනවා. ඉංග්‍රීසි ඔබේ ශාස්ත්‍රීය භාෂාව සහ දෙමළ ඔබේ කවි බස යැයි ඔබ කියන විට ඔබත් මේ ගැන දැඩි ලෙස දැනුවත් බව පෙනෙනවා. ඒක ඇත්ත. මම හැදී වැඩුණේ දෙමළ පසුබිමක. මම ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගත්තේ නැහැ. මම ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන්න පටන්ගත්තේ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව සහ ජීව විද්‍යාව ඉගෙනගන්න ගියාට පසුව. මට ඉංග්‍රීසි භාෂාව පහසුවෙන් භාවිතා කළ හැකි වුණත් මගේ භාෂාව වුණේ දෙමළ; භාෂාවේ විශේෂ යෙදුම්, රූපක, පරිකල්පනය, රිද්මය - මේ සියල්ල අපිට ලැබුණේ දෙමළ සන්දර්භයක් ඇතුළේ. මම ඉංග්‍රීසි භාෂාව පුළුල්ව භාවිතා කරන්න පටන්ගත්තේ මගේ උපාධි වැඩකටයුතු සමග. මට දැන් කියන්න පුලුවන් මට භාෂා දෙකක් තියෙනවා කියලා - ඉංග්‍රීසි සහ දෙමළ. නමුත් මගේ කවිය මුල් බැසගෙන තියෙන්නේ දෙමළ භාෂාවේ සංස්කෘතික සහ භාෂාමය සන්දර්භය තුළ. ඒකයි මම කිසිම දවසක ඉංග්‍රීසි භාෂාවෙන් කවි ලියන්න පෙළඹෙන්නේ නැත්තේ. ඉතින් එක අතකින් ඉංග්‍රීසි භාෂාව මගේ ශාස්ත්‍රීය භාෂාව බවට පත් වුණා. වැදගත්ම කරුණ තමයි, දෙමළ බසින් ලිවීම විසින් මම වර්තමානයේ ජීවත් වෙන තැන සිට මට වෙනස් අදහස්, අවකාශ සහ පරිකල්පනයන් විවර කළා. ශ්‍රී ලංකාව තුළ ඇති විශාල දෙමළ සන්දර්භය තුළ මම පිටස්තරයෙක්. නමුත් සිදුවෙමින් පවතින දෙයට අදාළව මම ඒ තුළට අදාළ, ඊට අභ්‍යන්තරිකවම සම්බන්ධ කෙනෙක්. මේ නිසා භාෂා දෙකෙන්ම අදහස් ප්‍රකාශ කිරීම මට වැදගත්. දෙමළ භාෂාවෙන් ලිවීම විසින් මා තුළ ස්ථානය පිළිබඳ බලවත් හැඟීමක් ඇති කළා. මම ඒ කාලයේ උතුරේ හෝ වන්නියේ ජීවත් නොවුණත්, “Apocalypse” Healing the forest යන කවි සහ "In a time of burning" (2013) කවි එකතුවෙහි එන 2009 මැයි මාසයේ මා විසින් ලියපු කවි, සංහාරය පිළිබඳ ලියවුණු බලවත්ම නිර්මාණ ලෙස සලකන්නේ ඒ නිසයි. 10) ඔබ දැන් ඉංග්‍රීසි භාෂාවෙන් නාට්‍ය තිර රචනය සිදු කරනවා. ඒ වෙනසට හේතුව මොකක්ද? නාට්‍ය තුළ 'ප්‍රාසාංගික ක්‍රියාකාරීත්වයක්' (performed activism) මූර්තිමත් වන බව ඔබ සිතනවද? මම ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රබන්ධ නොවන නිර්මාණ ලිවීම ආරම්භ කළා. පසුව 2009 මැයි මාසය උදා වුණා. මට මගේ මිතුරන් සහ ඥාතීන් සිය ගණනක් අහිමි වුණා. ඒ විනාශය මට ඉතා තදින් බලපෑවා. තවමත් මට ඒ කම්පනයෙන් මිදෙන්න ඉතාම අපහසුයි. විසි එක් වෙනි සියවසේ පළමු ජන සංහාරය සිදුව ඇති බව දනිමින් එය දකින්නට සිදුවීම ඉතාම ශෝකජනක දෙයක්. ඒ සංහාරය කිසිම වාර්තා කිරීමක් හෝ සාක්ෂි දැරීමක් සිදු නොවුණු එකක්. ආර්මේනියා ජනයාට වසර සියයක් බලා සිටින්නට සිදු වුණා; දැන් සියලු දෙනා ආර්මේනියානු සංහාරය ගැන කතා කරනවා. 1904 දී ජර්මානු යටත් විජිතවාදීන් විසින් හෙරේරෝ ජනතාව සංහාරය කිරීම ගැන අපි කතා කරන්නේ වත් නැහැ. ඒක දැන් අවසන්. වේදනාවට ත් ධූරාවලියක් තියෙනවා. ඉතින් මම හිතුවා ටොරොන්ටෝවල සහ එක්සත් ජනපදයේ රඟදැක්වීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් නාට්‍ය රචනා කිරීම මේ ගැටළුව පිළිබඳ දැනුවත් කිරීමක් වෙයි කියලා. ඒක මූලිකවම දේශපාලන ව්‍යාපෘතියක්. ඒ වගේම ඒක මේ සංහාරය සම්බන්ධයෙන් මගේ කලාත්මක - සෞන්දර්යාත්මක යැයි ඔබට කිව හැකියි - ප්‍රතිචාරය. What If the Rain Fails (2008), Not by Our Tears (2009), සහ Canto of War (2010) රඟ දක්වපු සෑම අවස්ථාවකම ඉතා ඉහළ පිළිගැනීමකට ලක් වුණා. මම තවත් නාට්‍ය සහ ප්‍රබන්ධ නොවන නිර්මාණ ඉංග්‍රීසි භාෂාවෙන් ලියන බව මට විශ්වාසයි. මම හිතන්නේ දැන් ඒකට කාලය උදා වෙලා තියෙන්නේ.


11) 2009 දී ‛‛නිල වශයෙන්’’ කූටප්‍රාප්තියට පත් වූ නමුත් සත්‍ය වශයෙන්ම දිගටම සිදු වෙමින් පැවති සාහසික ක්‍රියාවලින් පලා යන සරණාගතයන් පිළිබඳ කථාන්දර ලේඛනගත කිරීම සඳහා දැනට ආරම්භ කර ඇති මුලපිරීම් පිළිබඳව අපිට යමක් කිව හැකි ද ?


ඇසින් දුටුවන්ගේ සහ වින්දිතයන්ගේ කතාන්දර සහ ප්‍රකාශ සිය ගණනක් දෙමළ බසින් තිබිලා තියෙනවා. ඉන් ඇතැම් ඒවා ඉංග්‍රීසි බසින් නොව දෙමළ බසින් ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන්, බටහිර මාධ්‍යවේදීන්, මානුෂවාදි සේවකයන්, සහ ඉන්දීය ලේඛකයන් හා මාධ්‍යවේදීන් විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද පොත් තියෙනවා. ඔවුන් වින්දිතයන් සමග සම්මුඛ සාකච්ඡා කරන නමුත් ඒ කතා ලියවෙන්නේ ඔවුන්ගේ වචන සහ භාෂාවෙන්. වින්දිතයන්ගේ සැබෑ හඬවල් දෙමළ භාෂාවෙන් ප්‍රකාශයට පත් වී තිබෙන නමුත් ඒවා ප්‍රමාණවත් ලෙස පරිවර්තනය වෙලා නැහැ. ඉංග්‍රීසි භාෂාවෙන් කතන්දර අඩු බව නෙමේ මම කියන්නේ - මගේ සමාජයට සිදු වුණ දේ පිළිබඳ ප්‍රකාශ කරන්න අපිට මේ හැම කතාවක්ම අවශ්‍ය යි. මෙම ලේඛකයන් බොහෝ දෙනෙක්ට සහයෝගීතාවය සහ වගකීම්සහගත භාවය ගැන සුවිසල් හැඟීමක් තියෙනවා. මම කියන්න උත්සහා කරන්නේ, දෙමළ බස කතා කරන සමාජයෙන් එළියට වින්දිතයන්ගේ සහ ඇසින් දුටුවන්ගේ කතා ගෙනයාම එක හා සමානව වැදගත්  බව. මෙයින් දේශපාලනික කරුණක් මතු වෙනවා- මෙම සමීකරණය තුළ ස්ථානය සහ භාෂාව වැදගත් වෙන්නේ කොහොමද? වින්දිතයෙක් ඉංග්‍රීසි භාෂාවෙන් හැඬීම, මව් භාෂාවෙන් හැඬීම වඩා අර්ථවත් ද? 



12) දෙමළ ඩයස්පෝරා කිවිඳියන්ගේ ලේඛන කලාවේ ප්‍රබල නැගීමක් තිබෙන බව දැකගන්න පුළුවන්. මෙම නිර්මාණ වඩා සම්ප්‍රදායික දෙමළ කාව්‍යකරණ ප්‍රවාහයට බාධාවක් බව ඔබට හැඟෙනවාද ?



ඔව් සහ නැහැ. විශේෂයෙන්ම දෙමළ කාව්‍යකරණය තුළ කිවිඳියන්ගේ නැඟී ඒමක් දැකිය හැකි අසූව දශකයෙන් පසු කාලය තුළ කාන්තාවන් විසින් ලියන ලද දෙමළ කවි තුළ ඉතා ප්‍රබල ස්ත්‍රීවාදී සම්ප්‍රදායක් තිබිලා තියෙනවා. මේක විශාල වශයෙන් සිදුවුණේ ශ්‍රී ලංකාවේ. නැතුව තමිල් නාඩුවේ හෝ දෙමළ ජනතාව වැඩි වශයෙන් ජීවත් වෙන ලෝකයේ වෙනත් තැනක නෙමේ. ප්‍රබල සහ විචාරශීලි කාව්‍යකරණයක් බිහි වුණේ ශ්‍රී ලංකාවේ දෙමළ සහ මුස්ලිම් ලේඛිකාවන් අතින්. නමුත් විවිධ දුෂ්කරතා තියෙනවා.  මේ තුළ විවිධාකාර පුරුෂාධිපත්‍ය ස්වරූප සහ අධිපති ව්‍යුහයන් ක්‍රියාත්මකයි. 



එය ඔබට අවශ්‍ය දේ ලිවීමට ඇති නිදහසට පමණක් අදාල දෙයක් නෙමේ. ඔබේ අභ්‍යන්තර සැකැස්මට, ඔබේ වැඩ කරන ස්ථානයට, ගැඹුරින් සිතමින් නිර්මාණකරණයේ යෙදීමට අවශ්‍ය කාලය සහ අවකාශය නොමැතිකම සඳහා බලපාන පවුල් ව්‍යුහයන් ද තියෙනවා. මේ ගැටළුව පුරුෂයන්ට වඩා කාන්තාවන් සම්බන්ධයෙන් වඩා දරුණුයි. කාව්‍යකරණයේ යෙදෙන මගේ මිතුරියන් බොහොමයකට තමන්ට ලියන්න උපරිම නිදහස තිබෙන බව දැනුණට ඔවුන්ගේ කාලයට සහ අවකාශයට සියුම් ලෙස බලපාන පුරුෂාධිපත්‍ය පවුල් ව්‍යුහයන් තියෙනවා. 


දෙමළ බසින් ලියන ප්‍රබල මුස්ලිම් කාන්තාවන් කිහිප දෙනෙකුත් ශ්‍රී ලංකාවේ ඉන්නවා. උදාහරණයක් විදියට, ඔවුන් ඉස්ලාමයේ සම්ප්‍රදායිකත්වයන්ට හෝ කාන්තා අයිතිවාසිකම් සම්බන්ධ ගැටළුවලට අභියෝග කළොත් ඔවුන්ට සිදු වෙන්නේ මොකක්ද? ප්‍රතිභා පූර්ණ ලියන්නියක් වන ෂර්මිලා සෙයිඩ්ගේ සිදුවීම මේ සම්බන්ධයෙන් හොඳ නිදසුනක්. ඇයව ඇගේ ගමෙන් පන්නා දැමුවා. දැන් ඇය පිටුවහල්ව ජීවත් වෙනවා. 



13) පශ්චාත් යටත්විජිත අධ්‍යන සන්දර්භය තුළ, විශේෂයෙන් ක්ෂේත්‍ර අධ්‍යනය තුළ, ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් මැකී ගොස් හෝ  උපමහද්වීපයේ 'සලකුණ' තුළට අන්තර්ග්‍රහණය වෙලා තියෙන්නේ. මේ සන්දර්භය ඇතුළේ දෙමළ ජාතිය ද්විත්ව මකා දැකීමකට ලක් වෙනවා. කෙනෙක් මේ අභ්‍යන්තර ආධිපත්‍යන්ට එරෙහිව කතා කරන්නේ කොහොමද?


මේක ක්ෂේත්‍ර අධ්‍යනය තුළ තියෙන විශාලතම අභියෝගවලින් එකක්. මම හිතන්නේ ක්ෂේත්‍ර අධ්‍යනයේ සංකල්පගත කිරීම නැවත සකස් කළ යුතුයි. ක්ෂේත්‍ර අධ්‍යනය ආරම්භයේදී අධිරාජ්‍යවාදි සහ යටත්විජිත අවශ්‍යතා සමග ගැටගැසී තිබූ බවත්, මේ විනය ඇති වුණේ අධිරාජ්‍යවාදයේ සහ යටත් විජිතවාදයේ විශාල ව්‍යාපෘතියේ කොටසක් ලෙස බවත් අපි හැමෝම දන්නවා. පසුව මේක, 'සංවර්ධනය' කියන්නේ හුදු ධනවාදයේ සංවර්ධනය යැයි අර්ථ ගැන්වුණු සංවර්ධන අධ්‍යන සංකල්පය බවට සෙමෙන් පරිවර්තනය වුණා. මේ සමගම, සංවර්ධනය සම්බන්ධකළ හැක්කේ ක්ෂේත්‍ර අධ්‍යනය තුළ සිටින විවිධ ප්‍රවීණයන් සමග පමණක් කියන අදහස එනවා. ප්‍රවීණයා බවට පත් වෙන්නේ ගෝලීය උතුරේ වාසය කරන්නා; අනිත් අය හුදෙක් ස්වදේශික තොරතුරු සපයන්නන් විතරයි. මම කැනඩාවේ, ඇමරිකා එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ සරණාගත අභියාචනා විභාග කිරීමේ විශේෂඥයෙකු ලෙස අධිකරණයේ පෙනී සිටියා. මම ශ්‍රී ලංකාවේ උපන් කෙනෙක් නිසා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂඥයෙක් විය නොහැකියි කියමින් බොහෝවිට රජයේ නීතිඥයා මගේ විශේෂඥ භාවය පිළිගැනීමට විරුද්ධ වුණා. අඩු වැඩි වශයෙන් ක්ෂේත්‍ර අධ්‍යනය අනුගමනය කරන්න නැඹුරු වෙන ආකෘතිය මේකයි. 


මම වෙනත් ආකෘතියක් යෝජනා කරන්න කැමතියි. දෙමළ අධ්‍යනය තුළ වුණත් දකුණ ආසියානු අධ්‍යයනය තුළ වුණත්  මානව ශිෂ්ටාචාරයේ, සමාජ සාධාරණත්වයේ සහ සමානාත්මතාවේ වර්ධනය සහ වැඩිදියුණු සම්බන්ධයෙන් මේ අධ්‍යනයන්ගේ භූමිකාව මොකක්ද කියලා අපි අපෙන්ම අහන්න ඕනේ. හැම භාෂාවක්ම පුළුල් දැනුම් පද්ධතියක්. අපිට මේ අවබෝධයන්, මේ විවිධ මානයන් වැඩිදියුණු කරන්න පුලුවන් කොහොමද? මේ මානයන් සහ අවබෝධයන් මනුෂ්‍යත්වයේ උන්නතිය උදෙසා මානව ශිෂ්ටාචාරයේ වර්ධනය සහ පෘථුල බව  සඳහා දායක වන්නේ කෙසේ ද? මේක සිදු වෙන්න නම් අපි භාෂාවන්ට සහ විවිධ මනුෂ්‍යතාවයන්ට අවධානය යොමු කරන්න ඕනේ. මෙම සංස්කෘතීන් තුළ පවතින  විශාල සූක්ෂමතා සහ සංකීර්ණතා තේරුම් ගන්න අපිට හුදෙක් ඉංග්‍රීසි හෝ ප්‍රංශ භාවිතා කරන්න බැහැ. 


14) තමන් තවදුරටත් පලස්තීනය ජාතියක් ලෙස නොදකිනව බව ත්, එහි භූගෝලීය සීමා හැකිලී ඇති නිසා පලස්තීනය යන අදහස පරමාදර්ශී තත්වයට පත්ව ඇති බවත් ස්ටීවන් සලයිටා මෑතකදී කළ දේශනයක දී ප්‍රකාශ කළා. "මගේ මනස තුළ පලස්තීනය යනු ජාතියක් නොවේ; එය පවතින්නේ එහි සංගීතය, කාව්‍යත්වය සහ නර්ථනය තුළ යි" යනුවෙන් ඔහු කියනවා. ඔබ දෙමළ ඊළම යන අදහස අර්ථකථනය කරන්නේ කොහොමද? දෙමළ ඊළම යන අදහස ප්‍රකාශයට පත්වීම තුළත් මේ හා සමාන වෙනසක් ඔබ දකිනවා ද? අනාගතයේදී මේ සම්බන්ධයෙන් ඇති විය හැකි ගැටළු මොනවා විය හැකි ද? 


මේක මේ මොහොතේ ඇසිය යුතුම ප්‍රශ්නයක්. “දෙමළ ඊළම යනු සිතන පතන ආකාරයකි” (Tamil Eelam is a state of mind) කියලා අසූව දශකයේදී ප්‍රවීණ ජනමාධ්‍යවේදී සහ ලේඛක එස්.සිවනායගම් සැටර්ඩේ රිවීව් පුවත්පතේ කතුවැකිවල ලියූ බව අපි මතක් කර ගත යුතු යි. ඇත්ත වශයෙන්ම ඔහු මේ වදන් කරමින් ඒ සම්බන්ධයෙන් පෙනී සිටියා. අසූව දශකය තුළ දෙමළ විමුක්ති අරගලයේ සම්පූර්ණ අදහස කේන්ද්‍රගත වුණේ  "දෙමළ ඊළම" නමින් හැඳින්වූ දෙමළ ජනතාව සඳහා වූ වෙනම භූමියක් යන සංකල්පය මත. මේක සිදු වුණේ ශ්‍රී ලංකා රාජ්‍යය විසින් දෙමළ ජනතාවට එරෙහිව සිතාමතා විධිමත්ව පවත්වාගෙන ගිය පීඩනයට සහ ආන්තීකරණය කිරීමට ප්‍රතිචාරයක් ලෙස. මේක තමයි ජාතික පීඩනය යනුවෙන් හඳුන්වන්නේ. මගේ අදහස නම් වෙනම රාජ්‍යයක් සඳහා වන වුවමනාව මතු කළ තත්වයන් තවමත් පවතිනවා. දෙමළ සහ මුස්ලිම් ජනයාට ඉඩ සැලසීම සඳහා රාජ්‍ය ප්‍රතිසංස්කරණය කිරීමට - පරිණාමය කිරීමට ශ්‍රී ලංකා රාජ්‍යයට ඇති නොහැකියාව සහ නුවුවමනාව තමයි ඒ මම ඉහතින් කිව්ව 'තත්වය'. ඒකාබද්ධ ශ්‍රී ලංකාවක් තුළ ජීවත් වීමට තමන් කැමති වුවත්,  දෙමළ ජනයා වෙනම ජාතියක් ලෙස පිළිගත යුතු බවට දෙමළ ජාතික සංධානය සහ වෙනත් දෙමළ පක්ෂ විසින් ප්‍රකාශ කරනවා. මෙය ඔවුන්ගේ කතිකාව බවට පත්ව තියෙනවා. නමුත් පරස්පරය තමයි දෙමළ ජනයා භූමියට අරගල කරමින් සිටින අතරම , මිලියන එක හමාරක පමණ දෙමළ ජනයා රට හැරගොස් තිබීම (රට හැර යාම තවමත් සිදුවෙමින් පවතිනවා) හේතුවෙන් දෙමළ ජාතිය "පාර-ජාතියක්" (Transnation) බවට පත්ව තිබීම. 


ඔවුන් ලෝකය පුරා විසිර ජීවත්ව සිටිමින් වෙනම රාජ්‍යයක් නිර්මාණය කිරීම පිළිබඳව සිහින දකිනවා. ඔවුන් එකම අවස්ථාවක එකකට වැඩි ස්ථානයකට, ජාතියකට සහ ඉතිහාසයකට අයත් වන 'පාර-ජාතිකයන්'. නමුත් ජාතිකත්වය පිළිබඳ මැකී නොයන හැඟවුමක් මේ තුළ තියෙනවා. වෙනත් අනන්‍යතාවක්, හෝ රාජ්‍යයක්, හෝ පවත්නා ඒකීය ඒක-වාර්ගික සිංහල-බෞද්ධ ආකෘතිය නොවන වෙනත් ඕනෑම විකල්ප පාලන ක්‍රමයක් හිමිවීමේ ගෞරවය අපේක්ෂා කිරීමට දෙමළ ජනයාට ඇති අවශ්‍යතාවය මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් මේක තීරණය කළ යුත්තේ එතැන ජීවත් වෙන මිනිස්සු විසින්. අනිත් පැත්තෙන්, ඩයස්පෝරාව සංක්‍රමණය වීමේ සහ යුද්ධය අවසානයේ භූමිය අහිමි වීමේ ප්‍රතිඵලයක් විදියට කරුණු කාරණා බරපතල ලෙස වෙනස් වුණා. ශ්‍රී ලංකා රාජ්‍ය විසින් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල විශාල භූමි ප්‍රමාණයක් අත්පත් කරගත්තා. 1940 දශකයේ ආරම්භ කළ මේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ සියලුම ආණ්ඩු යටතේ එකම තීව්‍රතාවයකින් පවත්වාගෙන ගියා. අනූව දශකයේ දෙමළ සටන්කාමීන් විසින් මෙම ප්‍රදේශ පාලනය කිරීම හරහා ශ්‍රී ලංකා රාජ්‍යයට තම උපායමාර්ග සාර්ථක කරගැනීමට තිබූ ඉඩකඩ ඇහිරුවා. සමස්ත රටම සිංහල-බෞද්ධ බවට, ඊශ්‍රායල අර්ථයෙන් කිව්වොත් "මහපොළොවේ යථාර්තයන්" (facts on the ground) නිර්මාණය කිරීමට 2009 සිට ශ්‍රී ලංකා රාජ්‍ය අතිශය සාර්ථක වෙලා තියෙනවා. 'ලිබරල්' ආණ්ඩු යටතේ වුවත්, මහින්ද රාජපක්ෂ(5) පන්නයේ වර්ගවාදී ආණ්ඩු යටතේ වුවත් මෙය දිගින් දිගටම සිදු වෙනවා. ශ්‍රී ලංකාවේ මොන ආණ්ඩු මාරු සිදු වුණත් හතලිහ දශකයේ ආරම්භ කළ සිංහල-බෞද්ධ අධිපතිවාදි ව්‍යාපෘතිය අඛණ්ඩව සිදු වෙනවා. මේක පවතින තාක්, වෙනම සහ පැහැදිලි දෙමළ අනන්‍යතාවයක අපේක්ෂාවත් වර්ධනය වෙනවා. ඒක අනිවාර්යයි. නමුත් දෙමළ දෘෂ්ටිකෝණයෙන් කිව්වොත්, විශාලම අභියෝග මතුවුණේ සංක්‍රමණයෙන් සහ ගෙවුණු පසුගිය දශක කිහිපයේ සිදු වූ යුද්ධය සහ සංහාරවලින් විශාල මිනිස් ජීවිත ගණනක් අහිමි වීම හරහා. ශ්‍රී ලංකාව තුළ 1956 සිට 200,000 කට ආසන්න දෙමළ පුද්ගලයන් - සෑම සන්නද්ධ කණ්ඩායමකටම අයත් වූ සටන්කාමීන් ඇතුළුව - ඝාතනයට ලක් වෙලා තියෙනවා. දෙමළ වැනි ජනගහනයෙන් කුඩා ප්‍රජාවක් සම්බන්ධයෙන් මෙය විශාල සංඛ්‍යාවක්. වෙනස් ප්‍රජා කණ්ඩායමක් වශයෙන් තම පැවැත්ම පවත්වාගෙන යාම දෙමළ ජනතාවගේ මූලික ගැටළුවක් බවට පත්ව තියෙනවා. ලෝකයේ සියලුම ජාතික රාජ්‍යයන් පාලනය වන්නේ එකඟ වූ කැමැත්ත (corporate interests) මත බව දෙමළ ජනයා සැලකිල්ලට ලක් කළ යුතු තවත් තීරණාත්මක ප්‍රශ්නයක්.  සහයෝගී පාලන රාජ්‍ය තන්ත්‍රයක (corporate-controlled state system) කොටසක් වීම දෙමළ ජනතාවගේ සහ මනුෂ්‍යත්වයේ වුවමනා එපාකම් මත සිදු වේවිද? අපිට විකල්ප ගැන හිතන්න පුළුවන්ද?


වර්තමානය වනවිට දෙමළ ජාතික ව්‍යාපෘතිය පාර-ජාතික බවට පත්ව තියෙනවා. ඒ වගේම දෙමළ ඩයස්පෝරාවේ බලගතු භූමිකාව ගැන කතා නොකර අපිට ලංකාව තුළ කිසිම ව්‍යාපෘතියක් ගැන කතා කරන්න බැහැ. ආතතිය තියෙන්නේ මෙතැන: වගකීම් සහගත දුරස්ථ භාවය සහ වගකීම් විරහිත දුරස්ථ භාවය තුළ. මට පෙනෙන අන්දමට මේ මොහොතේ වචනාර්ථ, න්‍යායාත්මක සහ සංකල්පමය තලයේ ඇති ගැටුම කියන්නේ, වගකීම් සහගත දුරස්ථ භාවය සහ වගකීම් විරහිත දුරස්ථ භාවය අතර ගැටුමකට. දෙමළ ඊළම නම් වූ වෙනම රාජ්‍යය පිළිබඳ ඉල්ලීමේ ගමන් මඟ අනාගතයෙදී කෙසේ වනු ඇතිදැයි තීරණය කරනු ලබන්නේ මේ කරුණ විසින්. 



1 - ඉන්දු-ලංකා සාම ගිවිසුම (1987) යටතේ LTTE සංවිධානය ඇතුළු විවිධ සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරීම සඳහා බව දක්වමින් ඉන්දීය සාම සාධක හමුදා ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල ස්ථානගත කරන ලදී. ඉන්දීය සාම සාධක හමුදා සෙබළු සහ එම ප්‍රදේශවල ජනතාව අතර පොදු භාෂාවක් හෝ සංස්කෘතික සම්ප්‍රදායයක් නොමැතිකම හේතුවෙන් අවසානයේදී දෙමළ ජනයා කෙරෙහි පැතිරුණු ප්‍රචණ්ඩත්වයන් සහ ලේ වැගිරීම් සිදු විය. බලන්න හූල්, ශ්‍රීධරන් සහ තිරාණගම.

2 - 1987 දී පිහිටුවන ලදී.

3 - යාපනයේ තනිනයාගම් පියතුමා විසින් පිහිටුවන ලද  ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සංගමයේ (IATR) අභාෂය ලැබූ අන්තර්ජාතික දෙමළ අධ්‍යයන සමුළුව 1974 වසරේ දී පවත්වන ලදී. මෙම සංවිධානය යාපනය, මැලේසියාව, තමිල්නාඩුව, මොරිෂස් සහ එක්සත් රාජධානිය යන රටවල දෙමළ අධ්‍යයනය සම්බන්ධ පර්යේෂණ පිළිබඳ සම්මන්ත්‍රණ සංවිධානය කිරීමේ වගකීම දරන ලදී.

4 -  ඩයස්පෝරාවක් යනු තමන්ගේ මව්බිමෙන් පිට වී ලෝකයේ වෙනත් වෙනත් රටවල විසිරී පැතිර ජීවත් වන ජනගහනයයි. නිදසුන් : ඉරාකය, සිරියාව, තුර්කිය සහ ඉරානය අරාබි යටත් කර ගැනීමේදී සහ ඉන් පසුව ඇති වූ ඇසිරියානු ඩයස්පෝරාව, 1845 - 1852 මහා සාගතයේදී සහ ඉන් පසුව අයර්ලන්තය හැර ගිය අයර්ලන්ත ජාතිකයන්, 1 වන ලෝක යුද්ධයේදී සිදු කළ ආර්මේනියානු ජන සංහාරයෙන් පසු බිහි වූ ආර්මේනියානු ඩයස්පෝරාව, දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලොව පුරා විසිර ගිය යුදෙව්වන්.

5 -  2009 මැයි මාසයේ ජන සංහාරය සිදුවූයේ ශ්‍රී ලංකාවේ හයවැනි ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂගේ පාලනය යටතේය