“අපේ පරම්පරාවේ දමිළ බව, ප්‍රචණ්ඩත්වය කියන කාරණය ගැන කතා කිරීමෙන් තොරව සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න බැහැ” - චේරන් රුද්‍රමූර්ති -

“අපේ පරම්පරාවේ දමිළ බව, ප්‍රචණ්ඩත්වය කියන කාරණය ගැන කතා කිරීමෙන් තොරව සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න බැහැ” 

අපර්ණා හල්පේ (Aparna Halpé) විසින් චේරන් රුද්‍රමූර්ති සමග පවත්වන ලද On Responsible Distance යන සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය. (I කොටස) 

සිංහල පරිවර්තනය - සංජුලා පීටර්ස් 




ශ්‍රී ලංකාවේ ගැටුම් කාලපරිච්ඡේදය තුළ දෙමළ කවියෙක්, මාධ්‍යවේදියෙක් සහ බුද්ධිමතෙක් වශයෙන් වූ තම ගමන් මඟ සහ නාට්‍ය රචකයෙක්, ක්‍රියාධරයෙක් සහ කැනඩාවේ ටොරන්ටෝ හි චෙල්වා කනගනායගම් සමග දෙමළ ඩයස්පෝරා අධ්‍යනයේ සංවර්ධනය සඳහා දායක වූවෙකු වශයෙන් වන වත්මන් වැඩ කටයුතු සම්බන්ධයෙන් චේරන් රුද්‍රමූර්ති විසින් මෙහිදී අදහස් දක්වයි. 20 වන සියවසේ අග භාගයේ සහ 21 වන සියවසේ ආරම්භය තුළ දෙමළ දේශපාලනය, සංස්කෘතිය සහ බුද්ධිමය ජීවිතය හැඩහුරු ගත කරන ලද අවතැන්වීම, වාරණය සහ පිටුවහල් වීම පිළිබඳ ඉතිහාසය මෙම සම්මුඛ සාකච්ඡාව හරහා හෙළි වේ. බලයට පත් ආණ්ඩුවල සහ දෙමළ සන්නද්ධ සංවිධානවල ප්‍රජාතන්ත්‍රවාදී නොවන, සටන්කාමී ආස්ථානයන් මගහැර ගිය කලාකරුවෙකු හා විද්වතෙක් ලෙස අවදානම් සහගතව ස්ථානගත වී ඇති චේරන්, පශ්චාත් යුධ සන්දර්භය තුළ ඇති පරිණාමය වෙමින් පවතින දෙමළ ජාතිකවාදයේ සංකල්ප ප්‍රශ්න කරන අතර, ශ්‍රී ලංකාව සහ ලෝකය තුළ 'දෙමළ ජාතිය' යන අදහසෙහි අනාගතය දෙස විමසිලිමත්ව සිටියි. මෙම සම්මුඛ සාකච්ඡාව මුල්වරට 2015 මාර්තු 25 වන දින පවත්වන ලද ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ ‘Trans(Sub)continental Imaginations: Three Centuries of South Asian Literary English’ යන චෙල්වා කනගනායගම් අනුස්මරණ සම්මන්ත්‍රණයේදී පවත්වන ලදී. 

(1) : චේරන්, ඔබ ඉපදී හැදී වැඩුණේ ශ්‍රී ලංකාවේ යාපනයේ. ඔබ හැදී වැඩුණු යාපනය මොන වගේද? ඔබ අයත් වෙන්නේ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවුණ ප්‍රචණ්ඩත්වය සහ වෙනස් කොට සැලකීම් හේතුවෙන් උතුර සහ නැගෙනහිර බිඳ වැටීම දුටු පරපුරකට. මෙය 'සැමවිටම දැනටමත්' (1) එම කාලය සහ ස්ථානය පිළිබඳ ඔබේ මතකයේ කොටසක්ද? 

මුලින්ම භූමිය ගැන කියන්නම්. කොළ පැහැයෙන් වැසුණු බිම සහ කොළ පැහැය හිඟ බිම. යාපනයේ භූමියට මාව ඇඳ බැඳ ගත් එක දෙයක් තමයි රතු පස. පරිසරය කොළ පාටින් වැසී යන්නේ වැසි කාලය තියෙන මාස කිහිපයේ පමණයි. ඒ හැර බොහෝවිට එහි තිබුණේ වියළි පරිසරයක්. නමුත් මම ඉතාම ආදරය කළ විවිධ විශාල ගස් නිවස පිටුපසත්, කුඹුරු යාය කෙළවරේත් තිබුණා. අපේ ප්‍රදේශයේ ගස්වැල් සහ සතුන් කෙරෙහි මගේ සිත තදින් බැඳිලා තියෙනවා. හැත්තෑව දශකයේ මැද භාගයේ විදුලි බල මණ්ඩලය විසින් මාර ගස් කපා දැමීම නිසා මම අඬුවා. මම පරිසරයේ හරිත පැහැයට ගොඩක් ආදරය කළා වගේම ඒ ප්‍රදේශයේ අපිට වුවමනා තරමට හරිත පැහැය නොතිබෙන බවත් දැන හිටියා. මම හැමවෙලේම හිතුවා අපේ පරිසරය තව තවත් හරිත පැහැ වෙන්න ඕනේ කියලයි. මම හරිත පෑ වදුලු ගහන තැන්වලට ආදරය කරන්න පටන් ගත්තා. මම යාපනයෙන් පිටතට ගමන් කරන්න පටන් ගත්තට පස්සේ මහපොළොව කොයිතරම් හරිතවත් ද කියලා මට හොඳින් දැනුණා. මේ හැඟීම හැමදාමත් මම හැඩී වැඩුණු යාපනයේ කොටසක්. ඒ වගේම ඒක මගේ ජීවිතයේ සහ මගේ වැඩකටයුතුවල ප්‍රබල අංගයක්. මගේ ගෙදර ඉදිරිපස බිම තණකොට වවන්න මම උත්සහා කළ විදිය මට මතකයි: ඒක කවදාවත් කරන්න ලැබුණේ නැහැ. ඒ විතරක් නෙමේ අපිට බොන්න වතුර තිබුණෙත් නැහැ. අපිට වතුර ගේන්න ළඟ කෝවිලකට හරි අසල්වැසි ගෙදරකට යන්න වුණා. අනිත් අතට, යාපනය මහා මුහුදෙන් වට වී තිබුණා. අපි ජීවත් වුණේ මුහුද ආසන්නයේ. අපේ හැම පරිකල්පනයක්ම හැඩගැස්වූයේ මුහුද, මුහුදේ ගති ලක්ෂණ. ඒ නිසා තියෙන්නේ යාපනයේ භූමිය ගැන ආදරය/වෛරය සහිත සම්බන්ධයක්. දෙවෙනි කාරණය ශ්‍රී ලංකාවේ දේශපාලනය හා ගොඩක් සම්බන්ධයි. මම උස්මහත් වුණේ වාර්ගික අනන්‍යතා තියුණු ලෙස වර්ධනය වුණු, විනාශකාරි සහ ප්‍රබල මිලිටරි ගැටුම් සමග වාර්ගික වෙනස්කම් මතු වෙන්න පටන් ගත්ත කාලයක. මගේ අප්පා එවක රජයේ සේවකයෙක්. පරිපාලන සේවයේ ඉහළ නිලධාරියෙක්. මුලින්ම ඔහු දිස්ත්‍රික් ඉඩම් නිලධාරියා වශයෙන් කටයුතු කළා. ඉන්පසු ඔහු පිළිවෙලින් මඩකලපුවේත්, යාපනයේත් සහකාර දිසාපතිවරයා වශයෙන් කටයුතු කළා. පසුව ඔහු වසර කිහිපයක් කොළඹ ගත කළා. පසුව රජයේ ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් වශයෙන් මඩකලපුවට පත් කරනු ලැබුවා. මඩකලපුවේදී, ගැටුම සහ සුළුතරයන් වීමේ හැඟීම අපේ ජීවිතවලට සහ මනසට කෙමෙන් ඇතුළු වුණ විදිය ගැන පෙන්වන හොඳ උදාහරණයක් සිදු වුණා. අපි ජීවත් වුණේ රජයෙන් ලබා දුන් නිවසක. අපේ නිවසේ නම 'නිලල් ' (සෙවණ). එක දවසක් මම 'නිලල්' කියන නම අපේ නිවසේ ගේට්ටුවේ දෙමළ භාෂාවෙන් ලිව්වා. අප්පා හවස ගෙදර ආවම වහාම මම ලියපු එක මකලා කිව්වා "මේවා රජයෙන් දුන්න නේවාසිගාර. අපිට මේ ගෙදරට දෙමළ නම් යොදන්න බැහැ. එක්කෝ ඒක රජයේ නිල භාෂා තුනෙන්ම ලියන්න ඕනේ, නැත්නම් වඩා කැමති නිල භාෂාව වෙන සිංහලෙන් ලියන්න ඕනේ." මම හාෂා තුනෙන්ම නිවසේ නම ලියන්නට ලියන්නට උත්සහා කළත් අප්පා ඊට අකමැති වුණා. ඔහු දෙමළ බසට ආදරය කළත්, ඉතා කල්පනාකාරී නිලධාරියෙක්. ඔහුට අනවශ්‍ය කරදර ඇති කරගැනීමට අවශ්‍ය වුණේ නැහැ. ඒ නිසා මම නිහඬව සිටි නමුත් මට විශාල බලාපොරොත්තු සුන් බවක් දැනුණා. අපි මෙතැන ජීවත් වුණත් අපේ භාෂාවෙන් අපේ ගේට්ටුවේ ලියන්න බැරි වුණා. ඒ 'මකා දැමීම' ශ්‍රී ලංකාව තුළ අපගේ දෙවෙනි-පාන්තික භාවය ගැන සිහි කරන්නක් විදියට මගේ ජීවිතයේ තැන්පත් වුණා. එදා ඉඳන් මම මගේ දෙමළ අනන්‍යතාවය ගැන ඉතා කල්පනාකාරී වුණා. අපේ ජීවිත තුළ සිංහල-බෞද්ධ රාජ්‍ය සහ සිංහල භාෂා ආධිපත්‍ය මට පෙනෙන්නට ගත් ගැටළු ගණනාවක් තිබුණා. මගේ අප්පාගේ මරණයට පෙර, 1971 දී, රජය තුළ ප්‍රමිතිකරණය (2) ගැන සාකච්ඡාවට ලක්වෙමින් තිබියදී, මගේ අම්මාට ඔහු මෙහෙම කිව්වා, "මේක මගේ දරුවන්ගේ අනාගතයට තදින් බලපානවා. මේක හොඳ දෙයක් නෙමේ. මම දන්නෙ නැහැ මොනව කරන්නද කියලා". ඊලඟ වසරේ ඔහු මිය ගියා. අපි ඒ කාලයේ කොළඹ හිටියේ. ඔහුගේ මරණයෙන් පසුව අපි නැවත යාපනයට ආවා. මම කොළඹ ජීවත් වෙන්න අකැමැති වුණු නිසා නැවත යාපනයට යාම ගැන මම එක්තරා විදියකට සතුටින් හිටියේ. අපි කොළඹ වසරක් පමණ හිටියා. මම ඉසිපතන විද්‍යාලයේ ඉගෙනගත්තේ එතකොට. පාසලේ උදෑසන රැස්වීමේ විදුහල්පතිවරයා කතා කරන්නේ ඉංග්‍රීසි වචන කීපයක් හැර සම්පූර්ණයෙන්ම සිංහල භාෂාවෙන්. දමිළ මාධ්‍යයෙන් ඉගෙනගන්න සිසුන් හැමෝමත් රැස්වීමට සහභාගී වෙනවා. මම පාසලේ උදෑසන රැස්වීමට ඉතාම අකැමැතියි. මම නැවත යාපනයට යන්න දැඩි වුවමනාවකින් හිටියේ. අප්පාගේ වියෝවෙන් පසුව, අපි නැවත යාපනයට යන්න යාල්දේවි දුම්රියේ සිටින විට අප්පා නැතිව අපි සියළු දෙනා නැවත යාපනය කරා යාම ගැන මට දැනුණ හැඟීම් මට තවම මතකයි. මගේ අම්මා ගමන පුරා හැඬූ කඳුලෙන් හිටියේ. නැවතත් යාපනයට යෑම ගැන මම ඉතා සතුටින් හිටියේ. නමුත් මට අප්පෙක් හිටියේ නැහැ. එතැන් පටන්, 1972 සිට තත්වය තත්වය වේගයෙන් නරක අතට හැරුණා. දෙමළ අධ්‍යන පිළිබඳ ජාත්‍යන්තර සමුළුව පැවැත්වුණා. මම ස්වේච්ඡාවෙන් ඊට සම්බන්ධ වුණා. මම එතකොට දිග කලිසම් අඳින වයසක හිටියේ නැති පොඩි කොල්ලෙක්. ඉන්පසු මරණ සිදුවෙන්න පටන් ගත්තා. අපි ශ්‍රී ලංකා රාජ්‍යයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්නට පටන්ගත් අවස්ථාව මේකයි. 1972 දී ඔවුන් ජනරජ ව්‍යවස්ථාව ස්ථාපිත කළ විට අපි ජාතික කොඩිය පිළිස්සුවා. පාසල තුළ කොඩිය ඔසවන්න උත්සහ කළ ගුරුවරයෙක් වත් අපි නැවැත්තුවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අන්තර්ගත වුණේ රාජ්‍යයේ සිංහල-බෞද්ධ බව. ඉන් පෙන්නුම් කළේ ශ්‍රී ලංකාවේ දමිළයන්ව සහමුලින්ම පිටමං කිරීමක්. මම කුඩා ළමයෙක් වුණත් වැඩිමල් සිසුන් සමග එකතු වී අපි වර්ජනයට සක්‍රීයව සහභාගී වුණා. ඒක තමයි ජාතික කොඩිය ඔසවලා ජාතිය ගීය ගායනා කළ අවසන් වතාව. මොකද එතෙක් අපි පාසල් ගීය ගැයීමත්, ජාතික ගීය දෙමළ බසින් ගැයීමත් සිදු කළා. ඒකයි අපේ සාමාන්‍ය විදිය. ඉන් පසුව සියලු ආකාරයේ ප්‍රචණ්ඩතාවලින් හැඩගස්වන ලද ජීවිතයක්, නිර්මාණකරණය සහ දේශපාලනය නිර්මාණය වුණා. අපේ පරම්පරාවේ සහ ඒ එක්කම බිහිවුණු අනිත් පරම්පරාවේ දමිළ බව, ප්‍රචණ්ඩත්වය කියන කාරණය ගැන කතා කිරීමෙන් තොරව සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න බැහැ. 




(2) : යාපනය පුස්තකාලයට ගිනි තැබීම සම්බන්ධව ඔබ මීට පෙර අදහස් දක්වා තියෙනවා. මම දකින විදියට මේ ක්‍රියාව දෙමළ ජනයාට එරෙහි සංස්කෘතික සංහාරයක්. ඔබේ පුද්ගලික ජීවිතය සහ දෙමළ සංස්කෘතික, දේශපාලනික සහ බුද්ධිමය ඉතිහාසයට අදාලව මේ කරුණ අපිට පහදා දෙන්න පුලුවන්ද? 

මම ඉතා කුඩා වයසකදී කියවීමට සහ ලිවීමට පටන්ගත් නිසා, කියවන්නෙක් සහ ලියන්නෙක් ලෙස මා හැදී වැඩීම සම්බන්ධයෙන් යාපනය මහජන පුස්තකාලය සමග ඉතා වැදගත් සහ සංවේදී බැඳීමක් තියෙනවා. මට කියවන්න අවශ්‍ය වුණු වර්ගයේ පොත් හිඟයක් තිබුණා. මට දවසකට පොත් 3-4 කියවන්න පුලුවන්කම තිබුණා. හොඳ පොත් නිතරම තිබුණේ නැහැ. ඉතින් ඒ කාලේ යාපනය රජයේ ලේකම් කාර්යාලයේ සේවය කළ මගේ අප්පා හැම සෙනසුරාදා උදයකම මාව යාපනය මහජන පුස්තකාලයට ගිහින් දාන්න තීරණය කළා. හැම සෙනසුරාදාම උදේ 8.30 පමණ ඉඳන් දවල් 01.30 පමණ වෙනකම් පුස්තකාලයේ ළමා පොත් අංශයේ වාඩි වෙලා කියවන්න මම පුරුදු වෙලා හිටියා. මම ඉකමණින්ම ඒ අංශයේ පොත් කියවලා ඉවර වෙලා වැඩිහිටියන්ගේ පොත් අංශයේ පොත් කියවන්න පටන්ගත්තා. ටිකෙන් ටික, පුස්තකාලයෙන් පොත් ගොඩක් ගෙදර අරගෙන ගිහින් ඊලඟ සෙනසුරාදා වෙනකම් කියවන්න මට වුවමනා වුණා. නමුත් ඒ කාලයේ යාපනයේ නගර සභා සීමාවෙන් පිට ජීවත් වෙන පාඨකයන්ට පුස්තකාල සාමාජිකත්වය ලබාගෙන පොත් ගෙනියන්න යාපනය මහජන පුස්තකාලයෙන් අවසර දීලා තිබුණේ නැහැ. මගේ අප්පා ඉහළ රාජ්‍ය සේවකයෙක් වුණත් පුස්තකාලාධිපති එකඟ වුණේ නැහැ. ඉතින් මම ඒ රීතියට විරුද්ධ වෙන්න පටන්ගත්තා. එතකොට ඔවුන් කිව්වා "ඔයා යාපනය නගර සභා සීමාව තුළ ඉන්න කෙනෙක්ගේ ලිපිනයක් අපිට දුන්නොත් අපිට ඔයාට සාමාජිකත්වය දෙන්න පුලුවන්" කියලා. නමුත් මම කිව්වා "ඒක කිසිම තේරුමක් නැහැ. මම හැමදාම මෙතැනට එනවා!" කියලා. අවසානයේ ඔවුන් මට පුස්තකාල සාමාජිකත්වය ලබා දුන්නා. ඒ කාලේ යාපනය නගර සභා සීමාව තුළ ජීවත් නොවුණ නමුත් යාපනය පුස්තකාලයේ සාමාජිකත්වය ලබාගත් ප්‍රථම සහ සමහරවිට එකම පුද්ගලයා මම වෙන්න ඇති. ඔබට පේනවා ඇති පුස්තකාලයට මගේ ඇති බැඳීම බොහෝ ඈතට දිව යන එකක් බව. මම බටහිර සම්භාව්‍ය කෘතිවල දෙමළ පරිවර්තන කියෙව්ව නමුත්, මේ කාලයේම තමයි දෙමළ ප්‍රබන්ධ කියවන්නත්, ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්නත් පටන්ගත්තේ. මම ප්‍රබන්ධ කියවීමෙන් ප්‍රබන්ධ නොවන පොත් කියවීමට මාරු වුණෙත් මේ කාලයේදි. සංචාර සම්බන්ධයෙන් ලියවුණු දේට සහ චරිතාපදානවලට මම දැඩිව ඇලුම් කළා. දෙමළ සංස්කෘතික මධ්‍යස්ථානයක් විදියට යාපනය මහජන පුස්තකාලය ස්ථාපනය කිරීමේ ඉතිහාසය තවත් වැදගත් කරුණක්. කේ.එම්.චෙල්ලප්පා සහ යාපනයේ ලෝන්ග් පියතුමා වැනි ඉතා වැදගත් පුද්ගලයන් පුස්තකාලය ගොඩනැඟීමට වෙහෙස වුණා. පුස්තකාලය මුලින්ම ආරම්භ කළේ 1934 දී කුඩා කාමරයක. (පුස්තකාලයට ගිනි තබා ඇති බව දැනගත් ලෝන්ග් පියතුමා හෘදයාබාධයකින් මිය ගියා) පුස්තකාලය පිහිටුවීමට කිසිම රාජ්‍ය ආයතනයකින් අරමුදල් ලබා දුන්නේ නැහැ. පුස්තකාලය ගොඩනැඟුවේ මහජන පරිත්‍යාගවලින්. ඉතිහාසය කොහොමටත් අපිට වැදගත්. අපිට කිසිම දෙයක් ශ්‍රී ලංකා රජයෙන් සහ එහි ආයතනවලින් බලාපොරොත්තු වෙන්න පුලුවන් වුණේ නැහැ. හැමදේම අපිම ගොඩනඟා ගන්න අපිට සිදුවුණා. මම ලිවීමට සහ මිතුරන් කිහිප දෙනෙක් සමග පල කිරීමට පටන්ගත් කාලයේ අපි සාහිත්‍ය සඟරාවක් ආරම්භ කළා. සඟරාව ප්‍රකාශයට පත් කරන්න අපිට මුදල් නොතිබුණ නිසා අපි අත් අකුරෙන් සඟරාව ලිව්වේ. අපි බෙදාහැරියේ එකම එක පිටපතක් පමණයි. නුහුමාන්, ෂන්මුගන් සිවලිංගම් සහ නිලවාලන් වගේ ඒ කාලේ හිටිය ඉතා ප්‍රසිද්ධ දෙමළ කතුවරු අතින් ලියපු මේ සඟරාවට දායක වුණා. ඔබ ළඟ මින් එක පිටපතක් වත් නැද්ද? යුද්ධය නිසා අපිට හැමදේම අහිමි වුණා. අපිට එක පිටපතක් වත් ආරක්ෂා කරගන්න බැරි වුණා. නමුත් අපේ අතින් ලියූ සඟරා එළිදැක්වීම් යාපන මහජන පුස්තකාලයේ නව ශ්‍රවනාගාරයේ පවත්වපු විදිය මට මතකයි. හැටක හැත්තෑවක වගේ පිරිසක් ඒවාට සහභාගී වුණා. මම එතකොටත් කොට කලිසම් ඇන්දේ - දිග කලිසම් අඳින්න සුදුසුකම් ලබලා තිබුණේ නැහැ. මේ ශ්‍රවණාගාරයේදී තමයි පළමු දමිළ නිසඳැස් පද්‍ය, නැත්නම් නූතන දමිළ පද්‍ය පොත වෙන මගේ මිත්‍ර දික්වැල්ලේ කමල් විසින් රචිත 'එලික්කූඩු' (මී උගුල) කෘතිය 1973 දී දොරට වැඩියේ. ඔහු එකල පලාලි ගුරු පුහුණු විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. මේක තමයි ශ්‍රී ලංකාවේ නූතන පද්‍යයේ ආරම්භය. පොත් එළිදැක්වීම්වලට යාම සහ මේ සාහිත්‍ය පරිසරය තුළ ගැවසීම මගේ තරුණ කාලයේ වැදගත් අංගයක්. ක්‍රමයෙන් මම යාපනය විශ්ව විද්‍යාලයට ඇතුළු වුණා. මම විශ්වවිද්‍යාලයේ සිසුවෙක් වශයෙන් ඉන්න කාලයේ දිනක තමයි යාපනය පුස්ත්කාලය ගිනි තියපු බවට ගිනි තියලා පැය කිහිපයකට පස්සේ ආරංචි වුණේ. පුස්තකාලය දැවෙනවා අපි දැක්කා. ගිහින් ගින්න නිවන්න මොනවා හරි කරන්න අපිට වුවමනා වුණත් ඔවුන් අපිට වෙඩි තියන්න පටන් ගත්ත නිසා අපිට මුකුත් කරන්න බැරි වුණා. මගේ ජීවිතයේ වේදනාබරම දිනය පුස්තකාලයට ගිනි තැබූ දාට පසු දිනය. සිදුවන දේ බලන්න උදේ අපි ගියා. පුස්තකාලය සහමුලින්ම පිළිස්සී තිබුණා. ඊට යාබද දොරේයප්පා ක්‍රීඩාංගණයේ තමයි පොලිසිය සහ හමුදාව රැඳී හිටියේ. එතැන සිටි සොල්දාදුවන් පුස්තකාලයට සිදුවුණ දේ බලන්න එතැනට යන මිනිස්සුන්ට අවමන්සහගතව සමච්චල් කරමින් හිටියා. "අනේ ඒක ඉවරෙටම ඉවරයි. දැන් ඉතින් උඹලා මොකද කරන්න යන්නේ?" කියමින්. එවෙලාවේ තමයි මට හිතුණේ ඉස්සරහට යන්න තියෙන එක මාර්ගය මේ සොල්දාදුවන්ව අතු ගා දැමීම කියලා. අපි තරහෙන් පුපුරමින් හිටියත් අපිට කරන්න දෙයක් තිබුණේ නැහැ. අපි සිසුවෝ. ඔවුන් හමුදාව. මේක තමයි මගේ දේශපාලනික ලිවීමේ සහ ක්‍රෝධයේ ආරම්භය. එය කාලයත් සමග ගොඩනැඟෙමින් තිබුණත්, පුස්තකාලයට ගිනි තැබීමේ සිදුවීම සමග ඒක පුපුරා ගියා. ඔවුන් ගිනි තැබුවේ පුස්තකාලය පමණක් නොවේ. වෙනත් ව්‍යාපාරික ස්ථාන සිය ගණනක් සහ ඊලනාඩු පුවත්පත් කාර්යාලත් ඔවුන් ගිනි තැබුවා. දෙවෙනි දවසේ ‘Jaffna on fire’ ('යාපනය ගිනි ගනී') නමින් පුවත්පතක් දෙමළ සහ ඉංග්‍රීසී භාෂාවලින් අපි ප්‍රකාශයට පත් කළා. ඒක තමයි මාධ්‍යවේදියෙක් ලෙස මගේ ජීවිතයේ ආරම්භය. ඊලනාඩු පුවත්පත නැවත මුද්‍රණය ආරම්භ කරන තෙක් අපි පුවත්පත ප්‍රකාශයට පත් කළා. පුළුස්සන ලද ආයතන ගණන, මරා දමන ලද පුද්ගලයන් ගණන අපි වාර්තා කළා. මේක තමයි මම ඉංග්‍රීසි භාෂාවෙන් මාධ්‍යකරණයේ යෙදුණ පළවෙනි අවස්ථාව. මම ලියන දේවල් ඒ.ජේ.කනගරත්න විසින් නැවත කියවා නිවැරදි කළා. කතෝලික පල්ලිය සහ යාපනය බිෂොප් නිවස මේ කුඩා ප්‍රකාශනය බෙදා හැරීම සඳහා පිටපත් කරන්න අපිට උදව් කළා. අපි ඒක කළේ අපේ විරෝධතාවය පෙන්වීමට. අපි යටත් නොවන බව පෙන්වීමට. මේ ප්‍රකාශනයේ සමහර පිටපත් ජර්මනියේ ලේඛනාගරය තියෙනවා. මෙහෙමයි හැමදේම පටන්ගත්තේ. මගේ පළවෙනි කවි එකතුව 'දෙවෙනි සූරිය උදාව'. පොතේ ඒ නමින් යුත් කවියෙන් කියවෙන්නේ යාපනය පුස්තකාලය ගිනි තැබීම ගැන. අනිත් දේවලුත් ගිනි ගනිමින් තිබුණ නිසා, මම පුස්තකාලය ගිනි තැබීම ගැන විශේෂයෙන් සඳහන් කළේ නැහැ. නමුත් මම ලිව්වා "ගිනිබත් විය මගේ නගරය, අහිමි විය මගේ වැසියනට මුහුණු" කියලා. ගිනි තැබීමේ සහ මරණයේ සමස්ථ දර්ශනය ඒකෙන් පෙන්නුම් කළා. ඔව්, මුලින්ම ඔවුන් පොත් පිළිස්සුවා. 2009 මැයි මාසේදී මිනිස්සුන්ව පිළිස්සුවා! 
දෙවන සූරිය උදාව 

සුළං පොදක්වත් නොමැති දිනයකි. 
රැල්ලක් නොනැඟෙන මිය ගිය මහ මුහුදකි. 
එරෙන වැල්ලේ පා ඔබ ඔබා යද්දී 
නැවතත් සූරීය උදාවත්! 

මෙ වර දකුණෙනි! 

කුමක් නම් සිදු වූයේ ද? 
ගිනිබත් විය මගේ නගරය 
අහිමි විය මගේ නගරය 
අහිමි විය මගේ වැසියනට මුහුණ 
මගේ භූමියේත්, 
සුළඟේත් සියල්ලෙහිම 
පිටස්තරයන්ගේ සළකුණු ය. 

දෑත් පසුපසට කර බැඳගෙන 
බලාපොරොත්තුව සිටින්නේ කවුරුන් ද? 
ගින්දර, 
වළාකුළු මත්තේ තම පණිවුඩ ලියා හමාරය. 
තවදුරටත් කවුරුන්ද බලාපොරොත්තුව සිටින්නේ ? 
පාරවල්වල පිරුණු අළු ගොඩවල් මතින් 
නැඟිටලා එන්න! 

                                     පරිවර්තනය : සීතා රංජනී සහ එස්. සිවගුරුනාදන් 

(3) ඔබ එන්නේ සාහිත්‍ය පවුලකින්. ඔබේ පියා වන ප්‍රවීණ දෙමළ කිවියර මහා කවිගේ බලපෑම ඔබට ලැබුණා. ඔබ මුලින්ම කවි ලියන්න පටන්ගත්තේ කොයි කාලෙද? ලියන්න ඔබ පෙළඹුණේ කුමක් නිසාද? 

මම මුලින්ම කවියක් ලිව්වේ දෙක වසරේදී. ඒක ඇත්තටම කවියක් නෙමේ. මිනිස්සුන්ට අනුගමනය කිරීම සඳහා වන කෙටි සදාචාරත්මක මඟපෙන්වීමක් ලෙස අර්ථ හඳුන්වන්න පුළුවන් ''ආතිසූඩි” නමින්, ප්‍රසිද්ධ දෙමළ කිවිඳියක් වන අව්වයිගේ සදාචාරාත්මක වැදගත්කමින් යුත් කවි මාලාවක් තිබුණා. ඒ කවි 'ආනා' ගේ (‘අ’ යන්න) සිට පිළිවෙලවට සකස් කර තිබුණා. මේවා කාටත් කටපාඩමින් තිබිය යුතු ජනප්‍රිය කවි. මම ඇගේ ශෛලිය අනුගමනය කරමින් නමුත් වෙනස් දේවල් ගැන ලියමින් "පුත්තම් පුදිය ආතිසූඩි' (අලුත්ම අලුත් ආතිසූඩි ) නමින් ඒ ආකාරයේම කවි පෙළක් නිර්මාණය කළා. දෙමළ භාෂාවේ අකුරු ගොඩක් තියෙන නිසා ඒක ටිකක් ලොකු වැඩක් වුණා. මම ඒක පොත්පිංචක ලියලා අප්පාට පෙන්නුවම එයා ඒ ගැන ගොඩක් පැහැදුණා. අප්පා ඒක ඔහුගේ කාර්යාලයට ගෙනිහින් ඔහුගේ ලේකම්වරයෙක් ලවා යතුරු ලියනය කළා. ඔහු සමහර කවි නිවැරදි කිරීමත් කළා. මම ලියපු සමහර කවි ගැන ඔහු විශේෂයෙන් සතුටට පත් වුණා. උදාහරණයක් විදියට, දෙමළ අයි (ஐ) අකුරෙන් මම ලිව්වා 'අයියාරුක්කු අඩි' (අයියර්ට (පූජකයා) ගහන්න ) කියලා. ඒ කාලෙත් මම ආගමට ලැදි කෙනෙක් නෙමේ. අප්පා හයියෙන් හිනා වුණා මිසක් මම ලියපු ඒ කවි පේළිය වෙනස් කළේ නැහැ. මේ කවි සමහරක් පසුව මගේ පාසලේ සඟරාවේ පල වුණා. ඒවා නිර්මාණය කළේ මම බව ඒ සඟරාවේ සංස්කාරකවරයා පිළිගත්තේ නැහැ. ඒ නිසා මගේ නමත් එක්ක මගේ පන්තිය සඳහන් කරන එක ඔහු ප්‍රතික්ෂේප කළා. ඔබ මේ සඟරා අරගෙන බැලුවොත් දකීවි, හැම නිර්මාණයකම ශිෂ්‍යයාගේ නම සහ පන්තිය සඳහන් වුණත් මගේ නිර්මාණයේ සඳහන් වෙන්නේ මගේ නම විතරයි. ඒකෙන් පස්සේ මම එක එක දේවල් ලිව්වා නමුත් ඒවා එතරම් හොඳ නැහැ. අප්පා කුඹුරේ ඇවිදින විට ඔහු ලියූ කවි හඬ නඟා කියවන පුරුද්දක් ඔහුට තිබුණා. සමහර වෙලාවට ඔහු මටත් කියනවා ශබ්ද නඟා ඒවා කියන්න කියලා. ඉතින් මම මගේ අප්පාගේ කවි ඉදිරිපත් කරන්නෙක් බවට පත් වුණා. මම ඔහුගේ විතරක් නෙමේ ඔහුගේ මිතුරන්ගේ පවා කවි හොඳින් මතක තියාගෙන විවිධ අය ඉදිරියේ ඉදිරිපත් කළා. ඉතින් මම කවි හඬ නඟා කියවීමේ සහ හැම වර්ගයකම කවි මතක තබා ගැනීමේ කලාව ප්‍රගුණ කළා. මට තවමත් මේ කවි සිය ගණනක් මතකයෙන් කියන්න පුලුවන්. මේ නිසා මට කාව්‍යකරණය තුළ දෙමළ භාෂාවේ ස්වර සහ හඬ පිළිබඳව ඉක්මණින් අවබෝධ කරගන්න හැකි වුණා. එළිසමය බලෙන් ගොඩනඟන්න බැහැ, ඒක ස්වභාවිකවම ඇති වෙන්න ඕනේ. එය පදවලින් මතු විය යුතුයි මිසක් ගැළපෙන එළිසමය ආයාසයෙන් හොයාගන්න බැහැ. මේක තමයි මම ප්‍රගුණ කරපු භාවිතය. ලොකුම දෙදරා යාම සිදු වුණේ අප්පාගේ මරණයෙන් පස්සේ. මගේ අප්පා රාජ්‍ය සේවකයෙක් වූ නිසා ඔහුට දේශපාලනික කවි ලිවීම පහසු වුණේ නැහැ. ඒ වගේම ඔහු තුළ තරහකුත් තිබුණා. ඔහු අන්වර්ථ නාමවලින් වෙනස් කවි ලිව්වා සමහර වෙලාවට. නමුත් ඔහු ගොඩක් පරිස්සම් සහගත වුණා. ඔහුගේ පරම්පරාව සහ මගේ පරම්පරාව අතර වෙනස ඔබට පේනවා ඇති. මගේ කවි විවෘත කවි. ඒවායේ තිබුණේ පාලනය කරන ලද කෝපයක්. පාලනය කරන ලද කෝපය මගේ ප්‍රතිවිරෝධයේ කොටසක් බව කියන්න පුළුවන්. ඒකයි මගේ කවි, මගේ පියාගේ පරපුරේ කවිවලින් වෙනස් වෙන්නේ. මගේ පියාගේ කාව්‍යකරණයේ ඇතැම් දේ මගේ කවි තුළ දකින්න පුළුවන් වුණත්, අපි අතර වෙනස මගේ පළවෙනි කවි පොතෙන් හඳුනාගන්න පුලුවන්. උදාහරණයක් විදියට 'නිර්දය ප්‍රහසනය'(3) යොදාගන්න විදිය, සමහර වචන තෝරා ගන්නා විදිය, තනුව. මේවායින් මගේ කවිවලට පියාගේ කවිවලින් වූ බලපෑම හඳුනාගන්න පුළුවන්. 

(4) ඔබේ තරුණ වියේ නැඟී ආ සටන්කාමී ප්‍රවණතාවන් තුළ, ඔබ ආයුධ අතට ගැනීමට නොපෙළඹී හිටියේ කොහොමද? ඔබට ඒ නිසා ගැටළුවලට මුහුණ පාන්න සිදු වුණාද? 

ඒ කාලයේ ලිවීමේ යෙදෙනවා කියන්නේ අනතුරුදායක කාර්යක්. 80 දශකයේ මුල් භාගයේ, විශේෂයෙන් 1983 ජූලි සංහාරයෙන් පසුව, මගේ මිතුරන් සහ විශ්වවිද්‍යාල සගයන් හැම දෙනාම යම් ආකාරයක සන්නද්ධ ව්‍යාපාරයකට සම්බන්ධ වුණා. ඔවුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සටන්කරුවන් බවට පත් වුණා. 1983 යාපනයේ විශ්වවිද්‍යාලය තුළ මම සක්‍රීයව ශිෂ්‍ය දේශපාලනයේ යෙදී සිටියත්, ඒ කාලයේ මම කිසිම සන්නද්ධ ව්‍යාපාරයකට සම්බන්ධ වෙන්න සූදානමින් හිටියේ නැහැ. ඉන්දියානු රජය විසින් විවිධ කණ්ඩායම්වලට පුහුණුව ලබා දෙන්න පටන්ගත් කාලයේ, යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ අපි කිහිප දෙනෙකුත් ඉන්දියාවේ දෙමළ තොරතුරු කේන්ද්‍රයේ පැවති ආරම්භක උපාය මාර්ග සැසියකට 1983 දී සහභාගී වුණා. සටන්කාමී නායකයන් යටතේ දෙමළ තරුණයන් ඒ වන විටත් සන්නද්ධ පුහුණුව ආරම්භ කර සිටි බව අපි දැනන් හිටියා. මේ සටන්කාමී නායකයන් ඉන්දියානු බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවකටත්, සටන්කාමී උපායමාර්ග ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව ඔවුනොවුන් අතර පැවැත්වූ සාකච්ඡාවකටත් මම සහභාගී වුණා. අනියමින් යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් සහභාගී වූව ලෙස අපි ඉතා රැඩිකල් වගේම තදින් දේශපාලනික වුණා. ඉන්දියානු බලපෑම අන්ධානුකරණය නොකළ යුතුයි කියලා අපිට වැටහුණා. අපි ඉතා විචක්ෂණශීලී වුණා. අපි සන්නද්ධ පුහුණුවීම්වලට සහය පල කළ නමුත්, සියලු පාර්ශව අතර අවබෝධතා ගිවිසුමක් හෝ විවිධ සටන්කාමී කණ්ඩායම් සියල්ල නියෝජනය වන එක්සත් පෙරමුණක් වගේ දෙයක් අවශ්‍ය බව අපි හිතුවා. නමුත් මේක සාර්ථක වුණේ නැහැ. හැම සංවිධානයක් විසින්ම බඳවා ගැනීම් සිදු කරන්න පටන් ගත්තා. සියලු තරුණයන් ඒවාට සම්බන්ධ වුණා. සමහරු ඊළම් විප්ලවකාරී ශිෂ්‍ය සංවිධානය (EROS) (4) (පසුකාලීනව ඊළම් විප්ලවකාරී සංවිධායකයෝ) සංවිධානයට, සමහරු දෙමළ එක්සත් විමුක්ති කොටි සංවිධානය (LTTE) සංවිධානයට (5), සමහරු ඊළම් මහජන විප්ලවකාරී විමුක්ති පෙරමුණ (EPRLF)ට (6). මට ඒවාට බැඳෙන්න වුවමනා වුණේ නැහැ. මට සටන්කාමී ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න ඕනේ වුණේ එක කොන්දේසියක් මත - මම කොන්දේසි පනවන්න බලයක් තිබුන කෙනෙක් නෙමේ! - මම බලාපොරොත්තු වුණා නිකරගුවාවේ වගේ මේ සියලු දෙනාටම එකතු වෙලා එක්සත් පෙරමුණක් හදන්න පුලුවන් නම් කියලා. එහෙම නම් එක්සත් ප්‍රතිවිරෝධයක් ගොඩනඟන්න හැකි වෙනවා. මට ආයුධ අතට ගත් කෙනෙක් වශයෙන් නෙමේ දේශපාලනික වශයෙන් ඒ තුළ මගේ භූමිකාව ඉටු කරන්න පුළුවන්කම තිබුණා. නමුත් ඒක සිදු වුණේ නැහැ. එක්සත් පෙරමුණක් ගොඩනඟා ගැනීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් යාපනය විද්වවිද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් විසින් ප්‍රකාශයට පත් කළ 'තලිර්' සඟරාවේ 1985 දී පලවුණු ලිපියක මම මේ ගැන ලිව්වා. විනයක් ඉදිරි දැක්මක් නැතිකම, වෙනස් කණ්ඩායම් අතර එක්සත් බවක් නැතිකම, දේශපාලන දැක්මක් සහ සම්බන්ධීකරණයක් නැතිකම හේතුවෙන් මෙය සිදු නොවීම ගැන මම හිටියේ ලොකු කනස්සල්ලකින්. විමුක්ති අරගලය ඉදිරියට ගෙන යාමේ යතුර වෙන්නේ එක්සත් පෙරමුණක් බවයි මගේ අදහස වුණේ. ඒ වෙනුවට මම දැක්කේ පුහුණුවීම් සඳහා ගොස්, ඔවුන්ට වෙනත් දෙයකට යොදවා ගත හැකිව තිබූ ශක්තිය සහ කේන්තිය උතුරමින් සටන්කාමීන් ලෙස ආපසු පැමිණි තරුණයන්. විමුක්ති දේශපාලනය පිළිබඳ ක්‍රමානුකූල වර්ධනයන් හැමවිටම තිබුණත්, එක්වනම එය සන්නද්ධ ක්‍රියාමාර්ගයක් බවට පත් වුණා. මේක දෙමළ විමුක්ති ව්‍යාපාරයට සිදුවන ලොකුම නිෂේධනාත්මක දේවලින් එකක්. මට මේ ගැන විවේචනයක් තිබුණත් මට යාපනයෙන් යන්න වුවමනා වුණේ නැහැ. ඉන් පස්සේ පහරදීම් සහ බෝම්බ ප්‍රහාර පටන්ගත්තා. ඛේදජනකම දේ වුණේ එකිනෙකා මරාගත් අභ්‍යන්තර ගැටුම්. LTTE සංවිධානය, තමිල් ඊළම් මහජන විමුක්ති සංවිධානය (PLOT) (7) සහ අනිත් හැම සංවිධානයකටම විරුද්ධ වුණා. මේ අභ්‍යන්තර ගැටුම් මඟින් වුණු සියලු ඝාතන ගැන මගේ දිනපොතක තියෙනවා. මගේ "නොලිවිය යුතුව තිබූ කවියක්' (A poem that should not have been written) කවියෙන් කියවෙන්නේ මේ ගැටළු ගැනයි. විමුක්තියේ පරමාදර්ශය වෙනත් එකක් වෙයි කියලා මම බලාපොරොත්තු වුණා. අපි විසින් අනුගමනය කරමින් සිටියේ පීඩක ශ්‍රී ලංකා රාජ්‍යයේ ක්‍රියාමාර්ගයම බව අපිට දකින්නට නොහැකි වුණා. රාජ්‍ය විසින් අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීම, සමූල ඝාතන, වධහිංසාවට ලක් කිරීම කළ ආකාරයට අපිට ක්‍රියා කරන්න පුලුවන්කමක් තිබුණේ නැහැ. අපිත් ඒ විදියටම හැසිරුණා නම් පීඩක රාජ්‍යයයි අපියි අතර වෙනස මොකක්ද? මම මේ දේවල් ගැන ගොඩක් විවේචනය කළා. මේ කාලයේ තමයි අනුරාධපුර සමූල ඝාතනය සිදුවුණේ. මම ඒ කාලේ සැටර්ඩේ රිවීව් (Saturday Review) පුවත්පතේ වැඩ කරමින් හිටියේ. මම අනුරාධපුර සිදුවීම LTTE සංවිධානය විසින් කරපු සමූල ඝාතනයක් බව කිව්ව පළවෙනිම පුද්ගලයන් අතරෙන් කෙනෙක්. මේ සිදුවීම සිදුවුණු වහාම මම LTTE සංවිධානයේ ජ්‍යෙෂ්ට නායකයෙක් වන තිලීපන් සමග කතාබහ කළා. 'අනුරාධපුර මෙහෙයුම' අත්‍යවශ්‍ය දෙයක් බවට ඔහු අවධාරණය කළා. මගේ දේශපාලන කොලම් එකතු කර 2002 දී ප්‍රකාශයට පත් කළ පොතේ තිලීපන් සමග වූ මේ හමුව ගැන ලිපියක් අඩංගු වෙනවා. මගේ සංස්කාරකවරයා වුණ - සමහරවිට එකල යාපනයේ ජීවත් වූ එකම සිංහලයා ඔහු වෙන්න ඇති - ගාමිණී නවරත්න මාව විශ්වාස කළේ නැහැ. ඒක කළේ LTTE සංවිධානය විසින් වෙන්න බැහැ කියමින් ඔහු ඒ ලිපිය පල කිරීම ප්‍රතික්ෂේප කළා. එය කරන්නට ඇත්තේ ඉන්දියානු රෝ (RAW) ඔත්තු සේවය බවට චෝදනා කළා. ඒ මොහොතේ මට මහත් ලැජ්ජාවක් ඇති වුණා. මේ කාලයේත් මට යාපනයේ හිඳිමින් මේ සියල්ලටම සම්බන්ධ වෙන්න වුවමනා වුණත්, මට සන්නද්ධ කණ්ඩායමකට සම්බන්ධ වෙන්න අවශ්‍ය වුණේ නැහැ. මට කළ හැකි දේවල් දෙකක් තිබුණා. එකක් නාට්‍ය රචකයෙක්, කවියෙක්, ඉදිරිපත් කරන්නෙක් ලෙස සංස්කෘතික තලයේ වැඩ කිරීම. අනිත් එක මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කරමින් සියළු දෙනා විසින් කළ සාහසිකකම් අනාවරණය කිරීම. මම මේ දෙකම කළා. නමුත් ඒක අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් දුෂ්කර කාලයක්. මම ඔවුන්ගේ ක්‍රියාවන් ලියමින් විවේචනය කළ නිසා විවිධ සටන්කාමී කණ්ඩායම් වියරු වුණා. මගේ සමහර නාට්‍ය ඔවුන්ව කෝපයට පත් කළා. සැටර්ඩේ රිවීව් (Saturday Review) සඳහා ලිවීම, විශේෂයෙන්ම දෙමළ භාෂාවෙන් නොව ඉංග්‍රිසීයෙන් ලිවීම නිසා සන්නද්ධ කණ්ඩායම්වල නිරත්තර අවධානයට ලක් වුණා. මම ඔවුන්ගේ සමහර අදහස් සමග එකල එකඟ වුවත්, කිසිම සන්නද්ධ කණ්ඩායමකට මම සම්බන්ධ නොවීම ගැන මට සතුටුයි. 




(5) ශ්‍රී ලංකාව නීති විරෝධී ලෙස සිර කිරීම, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම ඇතුළු රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කරන වාරණය සම්බන්ධව දැඩි අසතුටුදායක වාර්තාවක් තිබෙන රටක්. ගවේෂණශීලී මාධ්‍යවේදයේ යෙදීමට මාධ්‍යවේදීන්ට අද වනවිට ඇති විකල්ප මොනවාද? 

මම හිතන්නේ ශ්‍රී ලංකාව තුල විතරක් නෙමේ, මුළු ලෝකය පුරාම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ තොරතුරු දැනගැනීමේ අයිතිය අවධානමට ලක් වෙලා තියෙනවා. නිරීක්ෂණයට ලක් කිරීම, පාලනය සහ අධීක්ෂණය, මාධ්‍ය ආයතන හිමිකාරීත්වයේ ඒකාධිකාරීත්වය වැඩි වීම ආදි මේ සියල්ල අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ තොරතුරු දැනගැනීමේ අයිතිය විනාශ කරන්න හේතු වෙලා තියෙනවා. මේක ලේඛකයන්ට, මාධ්‍යවේදීන්ට වගේම සියලු දෙනාටම අභියෝගයක්. අප සියලු දෙනා විසින් මේ වෙනස්කම් ගැන අවබෝධය ඇති කරගැනීම සහ ඒවාට අභියෝග කරමින් ප්‍රතිවිරෝධය දැක්වීම මේ මොහොතේ කළ යුතු අත්‍යවශ්‍ය දෙයක්. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සම්බන්ධ සම්භාව්‍ය, ලිබරල් ප්‍රවේශ ගැනත්, මූලික අයිතිවාසිකම් සහ නිදහස තෝරා බේරාගෙන යොදා ගැනීමේ අනතුර ගැනත් අපි පරෙස්සම් සහගත වෙන්න ඕනේ. "අපි කරනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. වෙන කෙනෙක් කරනවා නම් ඒක ප්‍රශ්නයක්." කියලා අදහසක් තියෙනවා. Charlie Hebdo(8) ප්‍රශ්නය තුළ අපි දකින්නේ මේ වගේ ප්‍රශ්නයක්. මම ඕනෑම සන්දර්භයක් තුළ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සහය පල කරනවා. 'ඉතා හදිසි අවස්ථාවලදී' හෝ තීරණාත්මක සන්ධිස්ථානවලදී පවා. නමුත්, මම කියන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සමගම ඉතා විශාල වගකීමක්ද පැවරෙනවා. මේ සමබරතාවය සිදු වෙන්න ඕනේ ලේඛකයන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ. රාජ්‍යයෙන් නෙමේ. අදහස් නිදහසෙහි කොන්දේසි තීරණය කිරීමට හෝ පාලනය කිරීමට රාජ්‍යයන්ට හෝ කණ්ඩායම්වලට හෝ දේශපාලන පක්ෂවලට හෝ ආයතනවලට අපි කිසිවිටක ඉඩ නොදිය යුතුයි. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අපි සියලු දෙනාගේම වගකීමක් විය යුතුයි. ලේඛකයාගේ සදාචාරමය වගකීම දිගටම පවත්වා ගෙන යන්න හැකි වෙන්නේ එහෙම වුණොත් විතරයි.

1 - ‘Always - already’. මෙම යෙදුම යොදාගනු ලබන්නේ කිසිම හඳුනා ගත හැකි ආරම්භයක් නොමැති නමුත්, අඛණ්ඩව පැවති/පවතින ක්‍රියාවක් හෝ තත්වයක් සඳහාය.
2 - 1972 ශ්‍රී ලංකා රජය විසින් භාෂාව සහ දිස්ත්‍රික්කය මත පදනම් වූ කෝටා ක්‍රමයක් සහිත විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා වන ප්‍රමිතිකරණ ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන ලදී.
3 -  Black humor
4 -  1975 දී පිහිටුවන ලදී
5 - 1976 දී පිහිටුවන ලදී
6 - 1980 දී පිහිටුවන ලදී
7 -  1980 දී පිහිටුවන ලදී
8 -  Charlie Hebdo යනු ප්‍රංශයේ උපහාසාත්මක සතිපතා පුවත්පතකි.