ජාතිවාදීන් ගිනි ලෑ සිරි පතුල - ලාංකීය සිනමා ඉතිහාසයේ වාර්ගික මුහුණුවර -

ජාතිවාදීන් ගිනි ලෑ සිරි පතුල


- ලාංකීය සිනමා ඉතිහාසයේ වාර්ගික මුහුණුවර -



(මෙම ලිපිය මුල් වරට 2018 ජූලි 22 දින ඉරිදා තිනක්කුරල් පුවත් පතෙහි පළ වූවකි.)


එන්. සරවනන්

පරිවර්තනය - සංජුලා පීටර්ස් / ප්‍රදීප් කනගසූරියර්


1983 කළු ජූලිය විසින් දෙමළ සිනමාකරුවන්ගේ ජීවිත පමණක් නොව, සිංහල සිනමා කර්මාන්තය ද විනාශ කරන ලදී. සිංහල සිනමා කර්මාන්තය (ලංකා සිනමා කර්මාන්තය) ගොඩ නැඟුවේ සිංහල ජාතිකයන් විසින් නොවේ. දෙමළ ජාතිකයන්  විසිනි. සිංහල සිනමා කර්මාන්තය ගොඩ නැඟීමට මූලික වැඩ කොටසක් කළේ දෙමළ පුද්ගලයන් විසිනි. ලංකාවේ පළවෙනි කතා නාද චිත්‍රපටිය වන කඩවුණු පොරොන්දුව 1947 ජනවාරි මස එළි දක්වන ලදී. එහි රංගන ශිල්පීහු බොහොමයක් සිංහල වූහ. එහෙත් චිත්‍රපටිය නිර්මාණය කළේ දෙමළ ජාතිකයන් විසිනි. එතෙක් ලංකාව ආක්‍රමණය කර තිබුණේ ඉන්දියාවේ නිර්මාණය කරන ලද හින්දි සහ දෙමළ චිත්‍රපටි විසිනි. 


ඉතිහාසය


'කඩවුණු පොරොන්දුව' චිත්‍රපටිය නිර්මාණය කළ එස්.එම්. නායගම් (සුන්දරම් මදුරනායගම්) මදුරාසියේ සබන් කර්මාන්ත ශාලාවක් හිමි ව්‍යාපාරිකයෙකි. ඔහු තිරුප්පරන්කුන්‍රම් හි පුද්ගලික චිත්‍රාගාරයක ද හිමිකරු විය. ඔහු ඒ වනවිටත් එහි චිත්‍රපට නිපදවා තිබුණි. ඔහුගේ නිර්මාණ අතරින් 1946 දී නිර්මාණය කළ 'කුමරගුරු' නම් සිනමා පටය අධ්‍යක්ෂණය කළේ බෙංගාලි ජාතිකයෙක් වන ජෝතිස් සින්හා විසිනි. එම සිනමා පටය ඉන්දියාව නිදහස දිනා ගත් 1947 අගෝස්තු 15 වන දින පළමුව තිරගත විය. 



එස්.එම්. නායගම් 
ඡායාරූපය උපුටා ගැනීම -  - Veethi.com

ලෝකයේ පළමු චිත්‍රපටය 1895 වසරේ තිරගත විය. එය නිකුත් වූයේ නිහඬ චිත්‍රපටයක් ලෙසිනි. ලංකාවේ ජනයා කතානාද චිත්‍රපටයක් නැරඹුවේ ඉන් වසර 50 කට ආසන්න කාලයකට පසුව ය. නමුත් 1925 වසරේ දී ලංකාවේ පළවෙනි නිහඬ චිත්‍රපටය නිර්මාණය කරන ලදී. එහි ප්‍රධාන වීර චරිතය රඟ දැක්වූයේ ආචාර්ය එන්.එම්. පෙරේරා විසිනි. (පසු කාලීනව ඔහු ලංකා සම සමාජ පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළේ ය) එවිට ඔහුට වයස අවුරුදු 20 කි. ලංකාවේ පළවෙනි චිත්‍රපටයේ වීරයා ඔහු ය. 'රාජකීය වික්‍රමය' නම් එම සිනමා පටය අධ්‍යක්ෂණය කරන ලද්දේ තමිල්නාඩුවේ ගුප්තා නම් දෙමළ ජාතිකයෙක් විසිනි. එය නිෂ්පාදනය කළේ ඩී.ඒ.නූර්බායි නම් බෝරා ජන වර්ගයට අයත් මුස්ලිම් ජාතිකයෙකි. නූර්බායි එතෙක් විදේශයන්හි සිට ලකාවට චිත්‍රපට ආනයනය කර චිත්‍රාගාරවලට බෙදා හැරි ව්‍යාපාරිකයෙකි. මෙහි ඇති පුදුමය නම් ලංකාවේ නිර්මාණය කළ එම පළවෙනි චිත්‍රපටය ලංකාවේ කිසිවෙකුට නැරඹීමට අවස්ථාව උදා නොවීම යි. එම චිත්‍රපටය 1925 දී බොම්බේ හි දී සහ සිගප්පූරුවේ දි තිරගත කරන ලදී. ලංකාව තුළ තිරගත කිරීමට සූදානමින් සිටි අවස්ථාවේ ව්‍යාපාර තරගය හේතු කොටගෙන එම චිත්‍රපටය ගිනිබත් කරන ලදී.


                                                                     එන්.එම්. පෙරේරා

ඡායාරූපය උපුටා ගැනීම - Dailymirror.lk


1947.01.21 කිංස්ලි රඟහලේ 'කඩවුණු පොරොන්දුව' මංගල දර්ශනයෙන් පසු එස්.එම්. නායගම් සමඟ කලාකරුවන්
ඡායාරූපය උපුටා ගැනීම -  - DB.SJeyaraj.com

1901 වසරේ දී පළමු වරට චිත්‍රපට පුද්ගලික අවකාශ තුළ තිරගත කරන ලදී. එය එවක ආණ්ඩුකාරවරයා වූ වෙස්ට් රිජ්වේට සහ දෙවන බෝර් යුද්ධයේ යුධ සිරකරුවන් පිරිසකට පෙන්වන ලද කෙටි චිත්‍රපටයකි. ඉන් පසුව දෙවන බෝර් යුද්ධය සහ වික්ටෝරියා රැජිනගේ අවමංගල්‍ය ඇසුරෙන් නිර්මාණය කළ කෙටි වාර්තා චිත්‍රපටි ශ්‍රී ලංකාවේ ජීවත් වූ බ්‍රිතාන්‍ය ජාතිකයන් උදෙසා තිරගත කරන ලදී. ඉන් පසුව බයිස්කෝප් නම් චිත්‍රපට තිරගත කරන ක්‍රමය ආරම්භ විය. පළමුව සිනමා ශාලාවක් ලෙස විධිමත්ව ගොඩනැඟිල්ලක් ස්ථාපිත කළේ 1903 කාලයේ 'මදන් තියටර්' නමින් ගොඩනැගිල්ලක් ස්ථාපිත කර ඉන්දියානු චිත්‍රපට තිරගත කිරීම ආරම්භ කිරීමෙනි. 'කැපිටල් තියටර්' හි හිමිකරු වූයේ එකල ප්‍රබල මුස්ලිම් ව්‍යාපාරිකයෙක් වූ එෆ්. ඩී. ෆාරුක් ය. සිංහල චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ අරමුණෙන් බොම්බේ පයනියර් ෆිල්ම්ස් කොම්පැනි නම් ආයතනයක් 1938 දී පිහිටුවා, 'ශාන්තා' නමින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට උත්සහ දරන ලදී. එම චිත්‍රපටයේ සිනමාකරණ කටයුතු සඳහා සිංහල වේදිකා නාට්‍ය කලාකරුවන්ව බොම්බේ වෙත ගෙන යාමට ද සැලසුම් කර තිබුණි. ඒ අතර දෙවන ලෝක යුද්ධය ආරම්භ වූ හෙයින් එම ප්‍රයත්නය ව්‍යර්ථ විය. 1946 වසරේ දී යාපනයේ විසූ එස්. තුරෛසිංගම් 'ලයිලා මජුනු' කතාව ඇසුරෙන් 'දිව්‍ය ප්‍රේමය' නමින් සිනමා පටයක් නිර්මාණය කිරීමට චිත්‍රපට කණ්ඩායමක් සමඟ මදුරාසියට ගියේ ය. චිත්‍රපටයේ පටිගත කිරීම් අතරතුර මතු වූ මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් චිත්‍රපටයේ කටයුතු අතරමඟ නතර විය. චිත්‍රපට කණ්ඩායම දින කිහිපයකින් නැවත ලංකාවට පැමිණියේ ය. ඉන් පසු එම චිත්‍රපටය නිර්මාණය කිරීමේ කටයුතු සිදු වූයේ නැත. එම චිත්‍රපටය නිර්මාණය කර තිරගත වූයේ නම් ශ්‍රී ලකාවේ පළමු කතානාද චිත්‍රපටය වන්නේ එය යි. කෙසේ වෙතත් එය පසුව 1948 දී එළි දැක්වුණි.


දෙමළ ජාතිකයන් නිර්මාණය කළ සිංහල සිනමා කර්මාන්තය


එස්.එම්. නායගම්ගේ සිංහල මිතුරන්ගේ නිර්දෙශය අනුව ඔහු 1947 දී කඩවුණු පොරොන්දුව චිත්‍රපටය චිත්‍රලේඛා මූවි ටෝන් නම් තිරුප්පපරම්කුන්ඩ්‍රම් පිහිටි ඔහුගේ චිත්‍රාගාරය තුළ නිර්මාණය කළේ ය. චිත්‍රපට කණ්ඩායම ඉන්දියාවට ගෙන ගියේ ලංකාවේ සිට නැව් නවා ගෙන යි. එස්.එම්. නායගම් 'කඩවුණු පොරොන්දුව' චිත්‍රපටය නිෂ්පාදනය කළේ ජෝතීස් සින්හා සමඟ ය. එහි සිනමාකරණය කේ. ප්‍රබාකර් විසිනි. මොහිදින් බෙග් සහ දකුණු ඉන්දීය සිනමා ගායකයන් වූ ඒ.එම්. රාජා, ජික්කි , ජමුනා රාණි, එන්.සී. ක්‍රිෂ්ණන් (මොහු එන්.එස්. ක්‍රිෂ්ණන් නම් ගායකයා ද යන්න තහවුරු කර ගැනීමට මූලාශ්‍ර හමු වූයේ නැත) යන අය ගීත ගායනයෙන් සම්බන්ධ වූහ. මෙම චිත්‍රපටයේ ගීත 12ක් අඩංගු විය. සංගීත නිර්මාණය ආර්. නාරායන අයියර් විසින් සිදු කළ අතර සහය ආර්.මුත්තුසාමිගෙනි. (ආර්. මුත්තුසාමි ශ්‍රී ලංකාවේ සංගීත කණ්ඩායමක් වන අප්සරාස් සංගීත කණ්ඩායමේ නායකයා වූ මෝහන් රාජ්ගේ පියා ය) ආර්. මුත්තුසාමි පසුව ලංකාවේ එළි දක්වන ලද බොහෝ සිංහල චිත්‍රපටවල සංගීත නිර්මාණය සිදු කළේ ය. මෙම චිත්‍රපටය පළමු වතාවට තිරගත කළ අවස්ථාවට එකල අමාත්‍යවරයෙක් වූ සහ පසු කලෙක ලංකාවේ පළමු අගමැති වූ ඩී.එස්.සේනානයක ඇතුළු ප්‍රභූවරු සහභාගි වූහ. කින්ස්ලි තියටර් හි දින 127 ක් පුරා චිත්‍රපටය තිරගත විය. ජින්දුපිට්ටි ටෝකීස් (පසු කාලයේ උරුගන් තියටර් ලෙස නම වෙනස් කරන ලදී) හි දින 42ක් ද මයිලන් තියටර් හි දින 28 ක් ද, මරදාන නිව් ඔලිම්පියා සහ එකල රට පුරා වූ බොහෝ සිනමා හල්වල ද චිත්‍රපටය තිරගත කරන ලදී. එස්.එම්. නායගම් මුල් කාලයේ කුමරගුරු (1946) සහ තායිනාඩු (1947) යන චිත්‍රපට දෙකෙන් පසු දෙමළ චිත්‍රපට නිර්මාණය කළේ නැත. ඔහු 1960 දශකයේ දී ප්‍රබල සිංහල චිත්‍රපට 8ක් නිර්මාණය කළේය. ඒවායේ රංගන කටයුතුවලට සම්බන්ධ වූ බොහෝ රංගන ශිල්පීන් සිංහල සිනමාවේ ආරම්භක රංගන ශිල්පීන් ලෙස ගෞරවාදරයට පාත්‍ර විය. රුක්මණී දේවි ශ්‍රී ලංකාවේ පළමු සිනමා වීරවරිය බව ඔබ දන්නවා ද ? බොහෝ කලක් යනතුරු සිංහල සිනමා කර්මාන්තය යැපුණේ ඉන්දියාවේ පහසුකම් මත ය. තාක්ෂණික අංශය, චිත්‍රාගාර පසුබිම් ආදි සැම දෙයක්ම ඉන්දියාවෙන් සපයා ගත යුතු වූ අතර, ඉන්දියාවට ගොස් චිත්‍රපට නිමවා ලංකාවට රැගෙන ඒමට සිදු විය. පසුබිම් සංගීතය, සංගීත සයෝජනය, සංස්කරණය පවා සිදු කළේ ඉන්දියාවෙ වීම හේතුවෙන් තමිල්නාඩු ගායකයන්ට සිහල බසින් ගීත ගැයීමට ඉගැන්වීමට සිදු විය. නැසීගිය සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස් පළවන සිනමා පටය තිරගත වීමේ සිට වසර 9ක් ඉන්දියාවේ ගත කරමින් සිංහල සිනමා කර්මාන්තය වෙනස් කිරීමට දායක විය. ඉන්දියාවේ චිත්‍රාගාර භාවිතයෙන් තොරව දේශියව නිපදවූ පළමු චිත්‍රපටය වන්නේ 1956 දී ඔහු විසින් අධ්‍යක්ෂණය කළ 'රේඛාව' නම් චිත්‍රපටය යි. 1956 වසරේ 'දේශීයත්වය' නමින් ශ්‍රී ලකාවේ සිදු වූ සිංහල වර්ගවාදී දේශපාලන වෙනස්කම මේ හා සසඳා බලන්න. සම්පූර්ණයෙන්ම පාහේ ලංකාවේ සිනමා ලෝලීත්වය දෙමළ සහ හින්දි චිත්‍රපට විසින් ඇඳ බැඳ ගෙන තිබූ හෙයින් දකුණු ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද සිංහල චිත්‍රපට ද සිංහල ජනයාගේ රසිකත්වය දිනා ගන්නා ලදී. එසේ නමුත් කල් ගත වීමේ දී එකී චිත්‍රපට තුළ තමන්ගේ අනන්‍යතාව නොමැති බව ඔවුන්ට දැනුණි. ඔවුන්ගේ සංස්කෘතියට දුරස්ථ බව හඳුනා ගන්නා ලදී. ඒ වනවිට ශ්‍රී ලංකාවට නිදහස ප්‍රදානය කර තිබුණි. සිංහල සමාජය සිංහල ආණ්ඩුවක් ද පත් කරගෙන තම කලා/ සංස්කෘතික අංශ ගොඩනඟන්නට විය. සිංහල සිනමාව ගොඩ නැඟීමට අනුග්‍රහය දරන ලද්දේ සිංහල බෞද්ධ රාජ්‍ය සැකැස්ම විසිනි. ඒ සමඟ රට තුළ දෙමළ චිත්‍රපට කර්මාන්තය නොසළකා හරින ලදී. දේශීය සිනමා කර්මාන්තය යනු සිංහල සිනමා කර්මාන්තය යන මතය සාමාන්‍යකරණය විය. අනෙක් අතට, සිංහල සිනමා කර්මාන්තයක් සේ ම දෙමළ සිනමා කර්මාන්තයක් ගොඩ නැඟීමේ උත්සහය අති විශාල ඉන්දීය සිනමා කර්මාන්තය විසින් ගිල ගනිමින් පවතියි. රට තුළ නිෂ්පාදන වියදම සැලකිල්ලට ගත් විට ඒ වනවිට තිබූ ඉන්දීය චිත්‍රපට තිරගත කිරීම පහසු හා ලාබදායි විය. සිංහල සහ දෙමළ සිනමාවට හිස එසවීමට අවස්ථාව ලැබුණේ හැත්තෑව දශකයේ සිරිමා රජය විසින් ඉන්දීය චිත්‍රපටවලට පැනවූ වාරණය විසිනි.


වැල්ලවත්ත සෆායර් සිනමාහල, 1983 කළු ජූලි සංහාරයේදී ගිනිබත් කිරීමට පෙර

ඡායාරූපය උපුටා ගැනීම -  - Rotaract Club of Wellawatte Face Book page 



ප්‍රථම දෙමළ සිනමා පටය


දෙමළ සිනමාවක අවශ්‍යතාව මතු වුවද ඊට අවශ්‍ය ශක්තිය, පහසුකම් සහ අනුග්‍රාහකත්වය දෙමළ සමාජය තුළ නොතිබුණි. පළවෙනි සිංහල චිත්‍රපටිය නිර්මාණය කළේ දෙමළ ජාතිකයෙක් විසින් වූ අතර, පළවන දෙමළ චිත්‍රපටිය නිර්මාණය කළේ ග්‍රේෂන් ජයමාන්න නම් සිංහල ජාතිකයෙකි. 1947 වසරේ එළි දක්වන ලද 'සැඟවුණු පිළිතුරු' නම් චිත්‍රපටය දෙමළ බසින් නිපදවා 'කුසුමලතා' නමින් 1951 වසරේ දී තිරගත විය. එය දෙමළ බසට පරිවර්තනය කළ චිත්‍රපටයක් නිසා පළමු දෙමළ චිත්‍රපටය ලෙස බොහෝ දෙනා පිළි නොගනිති. නමුත් සීයන් අන්නාදුරෛ හෙවත් අරින්ඥර් අන්නා විසින් ලියන ලද වේලෛකාරි (මෙහෙකාරිය) නම් නව කතාව පාදක කරගෙන 'සමුදායම්' (සමාජය) නමින් 1962 වසරේ දී එළි දක්වන ලද චිත්‍රපටය ලංකාවේ පළමු දෙමළ චිත්‍රපටය ලෙස සැළකේ. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ හෙන්රි චන්ද්‍රවංශ නම් සිංහල ජාතිකයා විසිනි. 




නිදහසට පෙර සිංහල සිනමා කර්මාන්තය දකුණු ඉන්දීය දෙමළ සිනමා කර්මාන්තය මත රැඳී තිබුණා සේ ම, නිදහස ලැබීමෙන් පසුව දෙමළ චිත්‍රපට නිෂ්පාදනයටත් වර්ධනයටත් සිංහල සිනමා කර්මාන්තය මත යැපෙන්නට සිදු විය. දෙමළ, මුස්ලිම් කලාකරුවන් දෙමළ සිනමාවේ මූලිකත්වය ගත්ත ද ලංකාවේ දෙමළ චිත්‍රපට කිසිවක් සිංහල සිනමා කර්මාන්තයේ නිරත වූවන්ගේ සහයකින් තොරව එළි දැක්වීම සිදු නොවුණු බව කිව හැකිය. 




ජාතික ප්‍රශ්නය තියුණු වීමත් සමඟ දෙමළ කලාවන් සහ සස්කෘතික ප්‍රකාශන මර්දනය කර අතුරුදහන් කිරීමේ ලැයිස්තුවේ ප්‍රධානම තැන හිමි වුණේ දෙමළ සිනමාවට යි. එය නැවත ගොඩනැඟීමට කිසිවෙක් නොමැතිව අනාථ භාවයට පත් විය. දෙමළ සිනමාව ගොඩනැඟීමේ වැදගත්කමක් දැකීමට වත් සිංහල ආණ්ඩු හෝ සිංහල සිනමා කර්මාන්තයට අවශ්‍ය නොවීය. දැනටත් ස්ථාපිතව ඇත්තේ ශ්‍රී ලාංකික සිනමාව යනු සිංහල සිනමාව බවට වන දෘෂ්ටිවාදය යි.



                         ආර්.මුත්තුසාමි මාස්ටර් ඔහුගේ බිරිඳ නීලියා පෙරේරා සමඟ

ඡායාරූපය උපුටා ගැනීම -  - NewsIn Asia
                     

  1983 විසින් කළ විනාශය


'1983 කළු ජූලිය විසින් සිංහල සිනමාවට දරුණු ප්‍රහාරයක් එල්ල කළා' ලේඛක නාරද නිශ්ශක පවසයි. 'සිංහල/දෙමළ චිත්‍රපට බෙදා හරින්නෙක් ලෙස කටයුතු කළ කාලෝ පොන්නම්බලම්ගේ බොරැල්ලේ පිහිටි කාර්යාලය ගිනි තබන විට මම කිසිවක් කර කියා ගත නොහැකිව සිටියෙමි. පාරට විසි කරන ලද පැරණි චිත්‍රපට ඇතුළු දුර්ලබ සිනමා රීල් පට, පෝස්ටර් ආදිය මම හැකි අයුරින් එක් රැස් කළෙමි. සිංහල සිනමා කර්මාන්තය ආරම්භ කර ගොඩනැඟුවේ දෙමළ ජාතිකයන් විසිනි. නමුත් රට පුරා තිබූ සිනමා ශාලා බොහොමයක් ජාතිවාදි ගින්නේ දැවී යන ලදී. වැල්ලවත්ත සෆායර්, දෙහිවල රියෝ, මීගමුවේ රාජ්, නාරාහේන්පිට කල්පනා ආදි සිනමා ශාලාවලට ගිනි තබන ලදී.' ඔහු වැඩි දුරටත් පවසයි.


සිනමාස් හි හිමිකරු වූ කේ. ගුණරත්නම්ගේ දියණිය වූ විජයාගේ නමින් හැඳල ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය ප්‍රසිද්ධ 'විජයා තියටර්' සිහල චිත්‍රපට බොහොමයක් තිරගත කළ සිනමා ශාලාවකි. එය ගිනිබත් කිරීමෙන් නොනැවතී එහි තිබූ 'සංදේශය', 'ධීවරයෝ', 'චණ්ඩියා', 'සූර චෞරයා' යන සිංහල චිත්‍රපටවල රීල් පට ද විනාශ කරන ලදී. පසු පරම්පරාවන්ට එම චිත්‍රපට නැරඹීමට තිබූ අවස්ථාව මෙම ජාතිවාදි ප්‍රචණ්ඩත්වය නිසා ඇහිරී ගියේ ය. එම චිත්‍රපටවලට රංගනයෙන් දායක වූ සිනමා නළු ගාමිණී ෆොන්සේකා පසු කලක සම්මුඛ සාකච්ඡාවක දී මෙම සිදුවීම සිහි කර හඬා වැටුණු බවට වාර්තා වේ. විජයා තියටර් ගිනි ගනිමින් පවතින විට, වහා එතැනට ගිය විජය කුමාරතුංග, නීල් රූපසිංහ, සරත් රූපසිංහ, පෙප්ටිස්ට් ප්‍රනාන්දු, රවීන්ද්‍ර රන්දෙණිය යන අය ඉතුරු වූ දේවල් බේරා ගැනීමට උත්සහ දරා ඇත.


1983 වර්ග සංහාරය තුළ දී සිනමා කර්මාන්තය ද කෙතරම් විනාශයට පත් වී දැයි සිහල කලාකරුවන් විසින් පවසා ඇත.  1978 වසරේ දී තිරගත කරන ලද බුදුන්ගේ පාදය නම් තේරුම ඇති 'සිරි පතුල' (ශ්‍රී පාදයට ගොස් වැඳුම් පිඳුම් කරනු ලබන්නේ බුදුන්ගේ පා සටහනකට යැයි බෞද්ධ ජනයා විශ්වාස කරති) නම් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ කේ.වෙන්කට් නම් දෙමළ ජාතිකයා විසිනි. 1983 කළු ජූලි සංහාරයේ දී ඔහුව පණ පිටින් පුළුස්සා ඝාතනය කරන ලදී. නිශ්ශංක විසින් දිවයින පුවත් පතට (2013.03.19 දිනැති) ලියන ලද ලිපියක මෙසේ සඳහන් වේ. "කේ.වෙන්කට්ගේ වෘත්තීය සගයෙක් සහ මිතුරෙක් වන පාලිත යසපාල විසින් කේ. වෙන්කට්ව සිය නිවසේ ආරක්ෂිතව රඳවා ගෙන සිටියේ ය. පාලිත යසපාලට අනුව ඔහු නොමැති අවස්ථාවක වෙන්කට් නිවසින් පිටතට ගිය අවස්ථාව වෙන්කට්ව ඝාතනය ලක් වී ඇත." මහාචාර්ය සුනිල් ආරියරත්න ඔහුගේ ගාන්ධර්ව අපදානය නම් කෘතියේ මෙසේ සටහන් කර ඇත. " 1983 ප්‍රචණ්ඩත්වයේ දී රොක්සාමි ජීවත්ව සිටි හැඳල නිවස ප්‍රචණ්ඩකරුවන් විසින් ගිනි තබා විනාශ කරන ලදී. සිංහල චිත්‍රපට විශාල ගණනක සංගීත අධ්‍යක්ෂණය කළේ රොක්සාමි විසිනි. 'සිරිපතුල' චිත්‍රපටිය ඇතුළුව 'මහා රෑ හමු වූ ස්ත්‍රිය' , 'නිලූකා', 'දමයන්ති', 'ශීලා', 'ගොපළු හඬ' යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළ කේ.වෙන්කට් දෙහිවල දී ගිනි තබා ඝාතනය කරන ලදී. සාහසික මැරයන්ගෙන් ජීවිතය බේරා ගත් රොක්සාමි සිය පවුලේ සාමාජිකයන් සමඟ අනාථ කඳවුරේ ජීවිතය ගත කළේ ය. ඔහුගේ වෘත්තීය සගයන් ඔහුගේ නිවස නැවත පිළිසකර කර දෙන ලදී. නමුත් ඔහුට කළු ජූලියේ කම්පනයෙන් මිදීමට නොහැකි විය."  මහාචාර්ය සුනිල් ආරියරත්න 'රොක්සාමි සහ මුත්තුසාමි' නමින් යුත් කෘතියක් එළි දැක්වූයේය. 


                                                       එම්.කේ.රොක්සාමි

ඡායාරූපය උපුටා ගැනීම -  SongHub.lk
                                                       


බෝ සෙවණේ ගිනි තබා මැරූ කේ. වෙන්කට්


එය මහත් කලබලකාරී දිනයක් විය. ඝෝෂාව ඇසුණේ ඔහුගේ නිවසට ඉදිරියෙන් වූ පාරෙනි. ඔහුගේ මව පිටතට නොයන ලෙස ඔහු අවදි වූ විගස ඔහුට අනතුරු හැඟවූවා ය. වයස අවුරුදු 15 ක් වූ මේ පිරිමි දරුවා සිය මවගේ කීම නොඅසා ඝෝෂාව පැමිණෙන දෙසට ගියේ ය. මහ මඟට ගිය ඔහු දුටුවේ බෝතල් සහ පොලු මුගුරු රැගත් මිනිස් කණ්ඩායමකි. කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි ප්‍රචණ්ඩකාරී මැර ජනයා එතැන පිහිටි විහාරයේ බෝ ගස යට රොක් වී සිටියහ. බෝ ගහ පිහිටියේ පිරිමි දරුවාගේ නිවසේ සිට මීටර් 25-30 දුරකිනි. එම කලහකාරි මැර ජනයා එම ස්ථානය පසු කර යන සියලු දෙනාත් වාහනත් නවතා පරීක්ෂා කළහ. සමහරුන්ට පහර දෙන ලදී. සමහරුන්ගෙන් මුදල් මංකොල්ල කෑහ. ඔවුන් කතා කළ දෙයක් නොඇසෙන තරම් කලබලකාරී ඝෝෂාවකින් වටපිටාව පිරී තිබුණි. 


එම ස්ථානයේ සිදු වෙමින් පැවතුණේ කුමක් දැයි දැන ගනු රිසින් ඔහු එතැනට ගියේය. එම ප්‍රචණ්ඩකාරී මැර ජනයා බොහෝ අය ප්‍රශ්න කරමින් සිටියහ. යමෙක් දෙමළ ජාතිකයෙක් වී නම් පහර දෙන ලදී. වාහනවලට ද හානි කළහ. සමහර දෙමළ ජනයා දෑත් එක් කොට පහර නොදෙන ලෙසට ප්‍රචණ්ඩකාරී මැර ජනයාට ආයාචනය කළහ. තමාව ඝාතනය නොකරන ලෙසට බැගෑපත් වූහ. ප්‍රචණ්ඩකාරී මැර ජනයා ඒ කිසිවකට කන් දුන්නේ නැත. සිදු වෙමින් පැවතියේ කුමක්දැයි පිරිමි දරුවාට වැටහුණි.


සවස දෙහිවල සිට එදෙසට ආ වෑන් රථයක් පැමිණුනි. එහි සිටියේ රියදුරු පමණි. ඔහු සිටියේ කලබලයෙනි. බෝ ගස අසළ පිහිටි කුඩා පාරට වාහනය හැරවීය. එතැන ද ප්‍රචණ්ඩකාරී මැර ජනයා රැස්ව සිටියහ. ඔහු නැවත එතැනින් ප්‍රධාන පාරට වාහනය හැරවීය. මේ සියල්ල ඒ පිරිමි දරුවාගේ ඇස් පනාපිට සිදුවෙමින් පැවතිණි. එම රියදුරු දෙමළ ජාතිකයෙකි. ඔහු සුදු කමිසයකින් සහ සුදු වේට්ටියකින් සැරසී සිටියේය. නළලේ තුන්නූර් තවරා තිබුණි. ප්‍රචණ්ඩකාරී මැර ජනයා එක් වූහ. රියදුරුව වාහනයෙන් පිටතට ඇද දැමූහ. රියදුරු මැදි විය පසු කළ අයෙකි. ප්‍රචණ්ඩකාරීන් සියලු දෙනා පාහේ තරුණයෝ වූහ. රියදුරුට බේරී පළා යාමට කිසිදු ඉඩක් නොවීය. ඔහුව මුදවා ගැනීමට කිසිවෙක් නො එනු ඇත. රියදුරුට වඩා වසර 10 ක් 20ක් බාල ප්‍රචණ්ඩකාරී මැර ජනයාගෙන් ඔහු ජීවිතය යදිනු අර පිරිමි දරුවා බලා සිටියේ ය. 


රියදුරා වෙව්ලමින් තමන් කවුරුන් දැයි පවසා සිටියේ ය. ඔහු කේ. වෙන්කට් නම් සිනමා අධ්‍යක්ෂවරයා බව ඔහු කීවේය. ඒ කිසිවකින් මැර ජනයා මෙල්ල කළ නොහැකි විය. වෙන්කට් ''සිරි පතුල චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ මමයි'' කීවේ ය. ''චිත්‍රපටියේ ගීත තියෙන කැසට් පටියත් වාහනයේ තියෙනවා'' ඔහු ආයාචනා කළේය. නමුත් ඉන් එහා කතා කිරීමට ඔහුට අවස්ථාව නොලැබුණි. විශාල ගලක් ඔහුගේ හිස මත පතිත විය. ඔහු බෝ ගස සෙවණේ ලේ විලක් මැද වැටුණි. ඔහුගේ සුදු ඇඳුම ලෙයින් පෙඟී ගියේය. ම්ලේච්ඡයෝ ඔහු මත ලාම්පු තෙල් හෝ පෙට්‍රල් වත් කළහ. පොලු මුගුරු, දැවිය හැකි දේ ඔහු මත දමා ඊට ගිනි තබන ලදී. 


කේ.වෙන්කට්


සිරුර ගිනි ජාලාව මැද දැවෙමින් තිබුණි. මද වෙලාවකින් ඔහුගේ අත් පුළුස්සන ලද දර කොට මෙන් වනු පිරිමි දරුවා බලා සිටියේය. රාත්‍රිය උදා වූ විට ම්ලේච්ඡයෝ එතැනින් පිටව ගියහ. 


පිරිමි දරුවා දිගටම පිළිස්සෙමින් තිබූ සිරුර අසළට ගොස් එදෙස දෑස් අයා බලා සිටියේ ය. ඔහුට එදින රාත්‍රිය නිදා ගත නොහැකි විය. ඔහුගේ ඇස් පණාපිට මිනිසෙක් ප්‍රාණ බයෙන් ගැහමින් සිය ජීවිතය වෙනුවෙන් බැගෑපත් වූ අන්දම ඔහුව පණ පිටින් පුළුස්සා අළු වී ගිය අන්දම ඔහුව කම්පනයට පත් කරන ලදී. එතැන සිටි කිසිවෙකුට වරදක් නොකළ මිනිසෙකුට අත් වූ ඛේදාන්තය පිරිමි දරුවාට දරාගත නොහැකි විය.  


පසු දින උදෑසන බෝ ගස් සෙවණට ඔහු ගියේ ය. එතැන ඉතිරිව තිබුණේ අළු ගොඩක් පමණි. එතැන ඉතිරිව සිටියේ එම ඝාතනය වෙනුවෙන් කම්පනයට පත් වූ පිරිමි දරුවා පමණි. 


ඝාතනයට ලක් වූ කේ.වෙන්කට් විසින් අධ්‍යක්ෂණය කළ සිරි පතුල චිත්‍රපටයේ එන එක් ගීතයක් සිංහල ජනයා අතර ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. එම ගීතය ගායනා කළේ මොහිදීන් බෙග් විසිනි. එහි ආරම්භක වචන මෙසේ ය ''මිනිසාමය ලොව දෙවියන් වන්නේ.. මිනිසාමය ලොව තිරිසන් වන්නේ..'’


එම ඝාතනය ඇසින් දුටු වසර 15 පිරිමි දරුවා වෙන කවුරුන් හෝ නොව පසු කලෙක සරිනිගර් පුවත් පතේ කාටූන් ශිල්පියා ලෙස සහ පසුව රාවය පුවත් පතෙහි ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කළ ඩබ්ලිව්. ජනරංජන ය.