කළු ජූලිය: ගැළවුම්කාර ඉතිහාස ප්‍රබන්ධවලින් ඔබ්බට

විනාශ කරන ලද දෙමළ පුද්ගලයෙකුට අයත් නිවසකින් බඩු බාහිරාදිය කොල්ලකන අසල්වැසි සාමාන්‍ය සිංහල ජනයා - 1983 ජූලි 25, කොළඹ


1983 වසරේ ජූලි මස ලේ වැකි සිදුවීම්, “ජූලි කලබල, ජාතිවාදී කෝලාහල” ආදි වදනෙන් නිර්වචනය කරන්නට පටන්ගෙන තිස්නව වසරක් ඉක්මෙන තැන්හි දී ත් යුක්තිය ඉටු නොවූ ඒ ඝාතක දින ගැන අපට ලියන්නට සිදුව තිබේ. ඒ, මරණීය වේදනා සහ ඇදහිය නොහැකි අයුක්තීන් ගැන මිස, හුදු 'ජනවාර්ගික කලබල'ත් 'ජාතිවාදී කෝලාහල'ත් ගැන මැකී යන මැසිවිලි ගැන නොවේ. 1983 ජූලි මාසයේ දෙමළ-විරෝධී ප්‍රචණ්ඩ සංහාරයෙන් පසුව ඒ ගැන ලියන්නට කරුණු පෙළගැස්වුණේ ඝාතකයන්ට සහ අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී යුක්තිය ඉටුවීම ගැන නොවේ. එක් අතකින් 2009 මැයි මාසයේ දී කූටප්‍රාප්තියට පත් සංහාර දාමයක්  ගැනත්, අනිත් අතින් ඒවා රාජ්‍ය කැමති ආකාරයෙන් ඉතිහාසගත කිරීමට ගත් උත්සාහයන් ගැනත් ය. එනිසා 1983 කළු ජූලිය ගැන දකුණේ කතිකා තුළ ශේෂව ඇත්තේ සෞන්දර්යකරණය කළ සංශෝධිත ඉතිහාසයක් මිස මේ දක්වා යුක්තිය ඉටු නොවූ සංහාරයක් ගැන  නොවේ.   


එකී සංශෝධිත ඉතිහාස කතාව කුමක්ද?


ඒ කතාවට අනුව, කළු ජූලිය යනු 'සුළුතර මැර කණ්ඩායමක් විසින් දෙමළ ජනයා ඝාතනය කරන විට ඔවුන් බේරාගත් බහුතර සිංහලයන්' පිළිබඳ කතාන්දර එකතුවකි. ඒ කතාන්දර වනාහී රාජ්‍ය සහ සිංහල ජනයා වන අප අතර ඇති වාර්ගික සම්මුතිය ශක්තිමත් කරමින් අපේ දේශපාලන ජීවිත පහසු කරවන පහසුකාරක ප්‍රබන්ධ වේ. කවි, ගීත, නවකතා, චිත්‍රපට හා ටෙලිනාටක බවට පෙරළී ඇති ඒ ප්‍රබන්ධ කතා විසින් සිංහල අප සතුටු කරනු මිස 1983 ජූලි මස දෙමළ ජනයා මත මුදා හරින ලද ප්‍රචණ්ඩත්වය හරහා පෙන්නුම් කළ  ශ්‍රී ලංකා රාජ්‍යයේ ව්‍යුහාත්මක දේශපාලන ගැටළුව අපට සම්මුඛ නොකරයි. 


කළු ජූලිය ගැන මිත්‍යා; 'කලහකාරී අනෙකා' සහ 'ඉවසන අපි'


අපි ඉතිහාස ආඛ්‍යාන ගොඩනඟන්නේ ඉතිහාසයේ අපිට මුහුණ දීමට අපහසු තැන්, අපිට පහසු පරිදි සංශේධනය කරමිනි. ඊට හේතුව එසේ නොවුවහොත් අපගේ සාමූහික අනන්‍යතාව අර්බුදයට යන හෙයිනි. කළු ජූලි සංහාරය පිළිබඳ එකී සංශෝධිත බහුතරවාදී ඉතිහාස ආඛ්‍යානය තුළ, කළු ජූලිය දෙමළ ජනයාගේම සැලසුම් සහගත ක්‍රියාවක්ය යන ප්‍රබන්ධයේ සිට එය කළේ රාජ්‍ය අනුග්‍රහ ලද සුළු මැර පිරිසක් යන ප්‍රබන්ධය දක්වා විවිධ කතා ඇතුළත් වේ. සිංහල දකුණේ බහුතරයක් දෙනාගේ අධිපති සිතීම අනුව කළු ජූලිය යනු සංශෝධිත ඉතිහාසය නඩත්තු කිරීමට  අවශ්‍ය ඉහත කී ආකාරයේ මිත්‍යා ප්‍රබන්ධ ගොන්නක් මිස අන් කිසිත් නොවේ. 


සිංහල සමාජයේ ස්ථාපිත ආඛ්‍යානය අනුව 1983 දෙමළ විරෝධි ප්‍රචණ්ඩත්වය, සාමාන්‍ය ජනයාට කිසිම සම්බන්ධයක් නොමැති රාජ්‍ය අනුග්‍රහය ලැබූ මැර පිරිසක් විසින් කළ හුදෙකලා ක්‍රියා වේ. එහෙත් කළු ජූලිය යනු සුළුතර පිරිසක් විසින් කළ සාහසික ක්‍රියාවක් නම් බහුතරය විසින් ඒ මොහොතේ කළේ කුමක් දැයි වැදගත් ප්‍රශ්නයක් ඉතිහාසය අප හමුවේ තබයි. මේ සාහසිකත්වය ගැන වසර 39කට පසුව කතා කරන සමාජය ඒ නිශ්චිත මොහොතේ සිදු කළේ කුමක්ද? ඒ මොහොතේ සිංහල සමාජයේ දේශපාලන පක්ෂ සහ දේශපාලන ව්‍යාපාර කළේ කුමක්ද? රටේ තිබුණ එකම සංවිධානාත්මක බලය දෙමළ ජනයා මහමග පුළුස්සා ඝාතනය කළ ආණ්ඩු පක්ෂය පමණද? නොඑසේනම්, අනෙක් සංවිධාන හා පක්ෂ ඒ මොහොතේ කළේ කුමක්ද? 


දෙමළ ජනයාට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා මුදා හැරීමට ඒ දක්වා දෙමළ ජනයා සමඟ එදිනෙදා ජීවිතය බෙදා ගත් සාමාන්‍ය සිංහල ජනතාව සැළකිය යුතු පමණකින් දායක වූ බව ඒ පිළිබඳ ඉතිහාසය වින්දිතයන්ගේ කතා ඇසුරෙන් අධ්‍යයනය කිරීමේ දී පැහැදිලිව පෙනී යයි. දේපල කොල්ලකෑම්, සොරකම්වලට උද්යෝගිමත්ව සහභාගී වූවෝ හුදෙක් 'රජයේ මැර කණ්ඩායම්' පමණක් නොවේ; සාමාන්‍ය සිංහල ජනයාද සැළකිය යුතු පමණකට ඊට දායක වූ බව වින්දිතයන්ගේ ආඛ්‍යානය අනුව පෙනී යයි. 


1983 පිළිබඳ ස්ථාපිත ආඛ්‍යානය අනුව 1983 කළු ජූලිය යනු යාපනයේ තිරුනල්වේලි මංසන්ධියේදි දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය විසින් හමුදා සෙබළු 13 දෙනෙක් ඝාතනය කිරීමේ සිදුවීමට කුපිත වූ සිංහල ජනයා කළ ප්‍රතික්‍රියාවකි. යම් පමණකට, කළු ජූලිය සම්බන්ධයෙන් එකල ශ්‍රී ලංකාවේ ජනපති ජේ.ආර්. ජයවර්ධනගේ ද අර්ථකථනය වූයේ මෙය යි. එහෙත් මීට ප්‍රතිපක්ෂව ඉතිහාසය විසින් අපිට මුණ ගස්වන්නේ 1956 වසරේ සිටම රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කළ දෙමළ ජනයාට එරෙහි වාර්ගික අගතීන් සහ ප්‍රචණ්ඩ ක්‍රියා ය. 1983 වසර පමණක් සැළකුවද, ජූලි මසට පෙර මාර්තු මස සිට උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඝාතනය කිරීම්හි සිට ගෙවල් ගිනි තැබීම් දක්වා දෙමළ ජනයාට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා බහුල වශයෙන් වාර්තා වී තිබේ.  අපේ සාමූහික පැවැත්මට බාධා කරන නිසා මේ ඇත්ත ඉතිහාසය ගැන අපි නොසොයමු. ඒ නොසොයන්නේ එය දැන ගැනීමට මූලාශ්‍ර හිඟකම නිසා නොවේ. අපිට සංශෝධනය කර දී ඇති අපි කැමති ඉතිහාසය අනුව අපේ ඉතිහාසය යනු 'කලහකාරී අනෙකා' සහ 'ඉවසන අපි' පිළිබඳ කතාන්දරයි. 


1983 කළු ජූලි සංහාරය ද සිදු වීම කණගාටුදායක නමුත් සහේතුක සිදුවීමක් බවට අර්ථකථනය කර ඇත්තේ එහෙයිනි.


අපේ ව්‍යුහාත්මක ගැටළුව


1983 වසරෙන් පසුව කළු ජූලිය වැනි සිදුවීමක් නැවත සිදු නොවුණ බව අපි අසන්නට කැමති තවත් එක කතාවකි. නමුත් 1983 කළු ජූලියෙන් පසු සැබවින්ම සිදුවූයේ ඒ දක්වා රාජ්‍යයට බැහැරින් සංවිධානය කළ ප්‍රචණ්ඩ ක්‍රියා රාජ්‍ය විසින් වඩා හොඳින් සංවිධානය කර නීත්‍යානුකූල කරනු ලැබීමයි. ඒ අනුව, දෙමළ ජනයා කළු ජූලියෙන් පසු ගොදුරු වූයේ අසංවිධානාත්මක කල්ලි විසින් මුදාහරින ලද ප්‍රචණ්ඩ ක්‍රියාවලට නොව, රාජ්‍ය විසින් නිල වශයෙන්ම මුදා හරින ලද ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ය. ඒ අනුව 1983න් පසු සිදු වූ බහුතර මංකොල්ල කෑම් ද, ලිංගික හිංසනයන් ද, ඝාතන ද සිදුකරන ලද්දේ නිල රාජ්‍ය අනුමැතියත්, ඒ නිසාම නීත්‍යානුකූල බවත් හිමි සන්නද්ධ සේනා විසිනි. 1983න් පසු 2009 අතිශය සාහසිකත්වයෙන් ද අවසන්  නොවුණු සංවිධිත වර්ගවාදී රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට දෙමළ ජනයාගේ එදිනෙදා ජීවිතය පවා සාක්ෂි වේ. මුස්ලිම් ජනයා ද ගොදුරු බවට පත් වූයේ ඒ වඩා සංවිධිත කළ ප්‍රචණ්ඩත්වයට ය.


මේ වසරේ දකුණ  පුරා පැතිර ගිය ආණ්ඩු විරෝධී ජනතා නැඟිටීම් තුළ සහ ජනයා විසින්ම ඒවා හකුළා ගැනීමෙන් පසු තවමත් අඛණ්ඩව විරෝධතාවයේ යෙදී සිටින ශිෂ්‍යයන් සහ බහුජන සංවිධාන ඇතුළු අතලොස්සක් ක්‍රියාකාරීන් වෙත මුදා හරිමින් සිටින රාජ්‍ය මර්දනය ද අපි ජීවත් වෙන රාජ්‍ය පිළිබඳ අපිට උගන්වමින් සිටින වැදගත් පාඩමක් වේ. එනම් ශ්‍රී ලංකා රාජ්‍යයේ හරිමැද ඇති සංහාරක ශක්‍යතාවය යි. ශ්‍රී ලංකාවට ඇත්තේ, ප්‍රජාතන්ත්‍රවාදි මැතිවරණ හරහා පත් වන ආණ්ඩු විසින් දශකයෙන් දශකයට විශාල සංහාර සිදු කළ ඉතිහාසයකි. රාජ්‍ය විසින් අපරාධ කිරීමට රාජ්‍ය ස්වභාවය වෙනස් කිරීමට අවශ්‍ය වූයේ නැත. එහි මූලික වින්දිතයා දෙමළ ජනයා වන හෙයින් ද, සිංහල ජනයා පසුකර ආ ජන සංහාරය අමතක කරන්නට සිංහල ජනයා සම්මුති ගතව ඇති බැවින් ද, එකී සංහාරක ශක්‍යතාවය අපි ජීවත් වන රාජ්‍යයේ ව්‍යුහාත්මක ගැටලුවක් බවට දේශපාලනිකව ග්‍රහණය කරගැනීමට සමාජයක් ලෙස සිංහල ජනයා සමත් නොවේ. ඒ නිසා 1983 දෙමළ-විරෝධී කළු ජූලි සංහාරය යනු ඉතිහාසය සාමාන්‍ය පරිදි ගලා යන අතර අහම්බෙන් සිදු වූ දෙයක් බව සිතීමට අපි පෙළඹේ. ඒ සංහාරක ඉතිහාසය සංශෝධනය කොට සංස්කෘතික සන්දර්ශන හරහා සෞන්දර්යකරණය කරන්නට සිදුව ඇත්තේ එහෙයිනි.    


සිංහල ජනයා ද, විශේෂයෙන්ම 1987-89 සමයේ දී, රාජ්‍ය සාහසිකත්වය හොඳින් අත් දුටුවේ ය. 1987-89 දකුණේ සංහාරයෙන් පසුව, රාජ්‍ය සම්බන්ධ මේ ගැටළුව හා පොරබැදීමේ හැකියාව දකුණේ එම අත්දැකීම් හරහා ගිය දේශපාලන ව්‍යාපාරයන්ට හා එම ව්‍යාපාර පදනම් වූ සමාජ පන්තීන්ට තිබුණි. එහෙත් ඉන් පසුව වෙනත් ජනකොටස් ඉලක්ක කර රජය විසින් මුදාහරින ලද සාහසික ක්‍රියාවන්ට එරෙහිව කිසිම ආකාරයක සංවිධානාත්මක විරෝධයක් පෑමේ වගකීම කලින් රාජ්‍ය මර්දනයේ ගොදුරු වීමට සිදු වූ දේශපාලන ව්‍යාපාරය පවා සිතා මතා පැහැර හරින ලදී. ඔවුහු විරෝධය නොපෑමට තීන්දු කළා පමණක් නොව, ඒ අපරාධවලට සක්‍රීයව දායකත්වයක්ද දැක්වූහ. ඔවුන් රාජ්‍ය අපරාධකාරීත්වයට එරෙහිව විවෘත දේශපාලන ස්ථාවරයක් දැරීමට අදටත් සූදානම් නැත. රාජ්‍ය අපරාධකාරීත්වය පිළිබඳ මුනිවත රැකීමට සාමූහිකව එකඟ වීම මඟින් පෙන්නුම් කරන්නේ, රාජ්‍ය සැකැස්ම සමඟ සිංහල ජනයාට ඇති වාර්ගික සම්බන්ධයයි. එම සම්බන්ධය විසින්, රාජ්‍ය හරයේ ඇති අපරාධකාරී ස්වභාවය පිළිගැනීමේ හැකියාව ඔවුන්ගෙන් උදුරා ගනියි. දකුණේ විරෝධතාකරුවන් මර්දනය කරන විට ඊට  ගොදුරුවන ගමන්ම, ඒ රාජ්‍ය හමුදා උත්කර්ෂයට නැඟීම, ඒ කෙරෙහි සිය පක්ෂපාතීත්වය ප්‍රකාශ කිරීමේ සිට ‘මර්දනය දියත් කළේ රාජ්‍ය හමුදාව විසින් නොවන බව’ට තර්ක කිරීම දක්වා වන සියලු විකෘති ස්ථාවර විසින් පෙන්නුම් කරන්නේ රාජ්‍ය සමඟ ඇති මෙකී සම්මුතියේ ස්වභාවය යි.


යමෙකුට 1983 කළු ජූලියත් ඉන් පෙර හා පසු ශ්‍රී ලංකාව ගැනත් කියවා ගැනීමට අවශ්‍ය නම්, රාජ්‍ය සතු සුවිසල් සංහාරක හැකියාවත්, ඒ සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට දඬුවම් නොලබා සිටීමට ඉඩ ලැබීමත්, එසේ වීම බහුතර ජනයාට ගැටළුවක් නොවීමත් යනු හුදු අහම්බ නොව, ව්‍යුහාත්මක දේශපාලන ගැටළුවක් බව වටහා ගත යුතු ය. රාජ්‍ය විසින් සිදුකරන බිහිසුණු අපරාධ යුක්ති සහගත කිරීමටත්, ඒවායේ කොටස්කරුවන් වීමටත් කලින් කලට දක්වන ප්‍රයත්න විසින් පෙන්වනු ලබන්නේ දකුණේ සමාජ සැකැස්ම හා රාජ්‍ය ව්‍යුහය අතර ඇති සම්බන්ධයට අදාළ ගැඹුරු ව්‍යුහාත්මක ගැටලුවකි. 


ඒකී ගැටලුව මගහැර සිටීම වනාහී, රාජ්‍යට අප යටපත් කිරීමට අප විසින් ලබා දෙන අවසරයකි. 


සෞන්දර්යකරණය; පහසුකාරක ආදේශකයක් ලෙස


කළු ජූලියෙන් පරාවර්ථනය කරන ලද ශ්‍රී ලංකා රාජ්‍යයේ අපරාධකාරිත්වය සම්මුඛ කිරීම අපගේ සාමූහික පැවැත්ම අර්බුදයට ගෙන යයි. රාජ්‍ය අපරාධකාරීත්වය සම්මුඛ වීම රාජ්‍ය සමඟ අපගේ ඇති සම්මුතිය දෙදරවා දමයි. ඒ නිසා දේශපාලනික ගැටලුවක් වන රාජ්‍යයේ සංහාරක හැකියාව, දේශපාලන ගැටළුවක් වශයෙන්ම සළකා පොර බදනු වෙනුවට, ඊට සපුරා වෙනස් තලයකට - එනම් සංස්කෘතික තලයකට - ගෙන ඒමට අපට සිදු ව තිබේ. කළු ජූලියේ සිදුකළ අපරාධ ලේ වැගිරීම්, කවි ගීත නාට්‍ය බවට පෙරළන ලද දෙමළ ජනයා බේරාගත් සිංහල ජනයා ගැන කතාන්දරවලින් වසාදැමීම සඳහා දශක හතරක් තිස්සේ අප දරණ උත්සාහය පිටුපස ඇත්තේ  මේ ගැටළුවයි. කළු ජූලිය ගැන මේ සුවපහසු ආඛ්‍යානය තුළ අපරාධකරුවන්ට අනන‍්‍යතාවයක් හෝ ඊට පහසුකම් සකසමින් ක්‍රියාත්මක වූ වර්ගතාන්ත්‍රික රාජ්‍යයක් හෝ නැත. ඇත්තේ නරක සිංහලයන් අතළොස්සක් දෙනා හා හොඳ සිංහලයන් බහුතරයක් දෙනා පිළිබඳ දුක්මුසු කතාවකි.


දෙමළ ජනයාට එරෙහි සංහාර ඉතිහාසයත්, ඒ සම්බන්ධ බහුතර ජාතියේ නිහඬ බවත්, උඩින් වසා පතුරන ප්‍රදර්ශනාත්මක සංහිඳියා ක්‍රියාකාරකම් අවශ්‍ය වන්නේ මේ ව්‍යාජ කතාන්දරය නඩත්තු කරනු සඳහා ය. දෙමළ ජනයා විසින් අඩ සිය වසකට වැඩි කාලයක් තිස්සේ ඉදිරිපත් කරන සංයුක්ත දේශපාලන ඉල්ලීම් මත පදනම් වූ අඛණ්ඩ අරගල සමඟ පෙළට සිටගනු වෙනුවට, ‘යාපනයට ආදරය කිරීම’ වැනි හිස් උද්‍යෝග පාඨ වටා රොක්වන්නට වැඩි කැමැත්තක් ඇත්තේ ඒ නිසා ය. දේශපාලන ගැටළුවක්, නිර්දේශපාලනය කොට එය ජාතීන් අතර සංස්කෘතික අනවබෝධය පිළිබඳ ප්‍රශ්නයක් බවට ලඝු කරන්නේ ද ඒ නිසා ය. දෙමළ ජනයා අපේ අනුකම්පාව හා ආදරය යදින අසරණ ප්‍රජාවක් ලෙස දැකීමට බොහෝ දෙනා කැමැත්තේ ද මේ හේතුවෙනි.  


අප විසින්ම නිර්මාණය කරගත් සාටෝපකාරී ව්‍යාජ සෞන්දර්යාත්මක සංස්කෘතික වේදිකාවල නැඟීමට අපට ඉඩ ලැබෙන්නේ මේ කියූ අප විසින්ම ගොතන ලද කතාන්දරය අප විසින්ම අභිරුචියෙන් වැළඳගැනීම නිසා ය. මේ සංස්කෘතික අර්ථකතනය නොගැඹුරු ව්‍යාජ එකක් යැයි කියන සිංහලයා වාර්ගික සංහිඳියාවට වළ කපන්නෙක් ලෙස ද, එසේ සිතන දෙමළා ජාතිවාදියෙක් ලෙස ද ලේබල් කිරීමට ද බොහෝදෙනා කැමැති වන්නේ ඒ අනුව ය. 


1983 කළු ජූලි සංහාරය පිළිබඳව 39 වසරක් ඉක්ම යන විට බලවත්ව තිබෙන ආඛ්‍යානය විසින් කරන්නේ එම සිදුවීම් පිටුපස ඇති ව්‍යුහාත්මක ප්‍රශ්නය මඟහැර යාමට පාරක් කලා දීමයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය අපරාධකාරීත්වය ගැන ප්‍රශ්නයට අත නොතබන්නට පරෙස්සම් සහගත අයට සුවපහසු කතාන්දරය මේ බලවත්ව තිබෙන ආඛ්‍යානය යි. ඒවා සිංහල ජනයාගේ මානව දයාවත් නිර්භීත බවත් ගැන අපේම ඇසට කඳුළු නංවා ගැනීමට ප්‍රබන්ධ කළ කතා ය.


දශක ගණනාවක් තිස්සේ දෙමළ ජනයා විසින් අවධාරණය කළ ‘වාර්ගික සමානත්වය හා යුක්තිය' පිළිබඳ සංයුක්ත දේශපාලන ඉල්ලීම්, සංහිඳියාවට අකැමැති බෙදුම්වාදීන්ගේත්, ඒ බෙදුම්වාදයට උඩගෙඩි දෙන්නන්ගේත් පටු ඉල්ලීම් ලෙස බැහැර කරන්නට අපට පහසු වන්නේ අපේ ප්‍රබන්ධ පරිභෝජනයට අපම දැන් ඇබ්බැහි වී ඇති නිසා ය.  


ශ්‍රී ලංකාව වෙනස් කිරීමට දේශපාලනය කරන බව කියන පුද්ගලයන්ටත්, දේශපාලන ව්‍යාපාරවලටත්  මඟ හැර යා නොහැකි ගැටළුවක් 1983 කළු ජූලිය විසින් වසරින් වසර අප හමුවට ගෙන එයි. එනම් වර්ග කේන්ද්‍රීය රාජ්‍යයක ජන සංහාරක බලය පරාජය කළ හැකි දේශපාලන උපායයක් ගොඩනංවා ගැනීමට මඟ පාදන අන්තර් වාර්ගික දේශපාලන සහයෝගීතාවක් ගොඩනංවාගන්නේ කෙසේද යන ප්‍රශ්නය යි. 


ඒ සඳහා පදනම් විය යුත්තේ සංස්කෘතික වැළපීම් නොව, දේශපාලන සහයෝගීතාවය යි. කළු ජූලිය හරහා නිර්මාණය වූ අඳුරු ඉතිහාසය අපේ සදාකාලික උරුමයක් වීම වැළැක්විය හැක්කේ ඒ මඟින් පමණි.  


සංජුලා පීටර්ස්

සහෘදස්පන්දන (ජූලි - අගෝස්තු කලාපය )