මතකය අමතක නොකිරීමේ අරගලය

  



සටහන - සංජුලා පීටර්ස්

වරයේ ඡායාරූපයෙහි දැක්වෙන සිදුවීම සිදු වූ 2009 වසරේ මැයි මාසයෙන් වසර 13කට පසු, ඉතා සීමිත පිරිසක් වුව එක් වී, යුද්ධයේ අවසන් අදියරේ දී ඝාතනය වන්නට වූ දෙමළ ජනයා සිහි කරමින් ඉතිහාසයේ පළමු වරට දකුණේ ප්‍රසිද්ධ මහජන අවකාශයක දී මුල්ලිවයික්කාල් ස්මරණයක් සිදු කරන ලදී. මේ සටහනට ආවේශය සපයන එකී සිදුවීම දේශපාලනිකව වැදගත් වන්නේ, රාජ්‍ය පාලකයෙකුගේ දූෂක අර්ධය මූලික කරගෙන නැඟෙන විරෝධයක් තුළ, මිනිසුන් කිහිප දෙනෙක් විසින් පාලකයාගේ මතු නොව රාජ්‍යයේ ද ඝාතක අර්ධයට කැඩපත ඇල්ලූ නිසා පමණක් නොවේ. වසර 13 කට පෙර සිදු කළ ඛේදවාචකයත්, ඊට මැදිව ඝාතනය වන්නට වූ මිනිස්සුත්, ඒ වියෝවන්ගේ මතකයද ඔසවාගෙන යුක්තිය කෙරෙහි නොනිම් ගමනක නිරත, දකුණට නොපෙනී ගිය මහා ජනතාවක් මේ පොළොවේම සිටින බවත් සිහිපත් කිරීම හේතුවෙනි. 


සාමූහික මතකය; යුක්තිය පිළිබඳ අභිලාෂය ලෙස 


මිනිස් සංහාර ඇතුළු තමන්ට එරෙහි සුවිශාල විනාශයන් සිදු වූ සමාජයන්හි ඉදිරිගාමී බව රැඳී ඇත්තේ ඒ සිදු වූ අයුක්තීන්ට සාමූහිකව විරෝධය පාමින්, යුක්තිය ඉටු කරන තුරු අනවරතව අරගල කිරීම තුළ ය. තම සමාජයේ සාමූහික ඉරණම පිළිබඳ සාමුහිකව නඩත්තු කරනු ලබන මතකය ත්, ඒ මතකය පරපුරෙන් පරපුරට සන්නිවේදනය කිරීම ත් එම සමාජයේ යුක්තිය උදෙසා වන පරම අභිලාෂයේ ගාමක බලවේග වේ. 


යුද්ධයෙන් දිවි ගළවා ගන්නට සමත් වූ දෙමළ ජනයා විසින් මැයි 18 වනදා, සංහාර දිනය ලෙස සලකනු ලබන අතර, ජීවත් ව සිටින සියලු පරම්පරාවන් සාමූහිකව රැස් වී යුද්ධයට මැදිව ඝාතනය වන්නට වූ සිය ඥාතීන්ව සිහි කරමින් බොහෝ දෙනා ඝාතනය වූ මුලතිව්හි මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ දී මුල්ලිවයික්කාල් ස්මරණය සිදු කරති. මුල්ලිවයික්කාල් ස්මරණයට සමගාමීව පොදුවේ සමාජයක් ලෙස තම සාමූහික මතකය ජීවත් කරවන විවිධ ක්‍රියාකාරකම්හි නිරත වෙති. මෙම වසරේ මුල්ලිවයික්කාල් ස්මරණය සතියේ දී (මැයි 12 සිට මැයි 18) , යුද්ධයෙන් ඝාතනය වූ තම ඥාතීන් ඇතුළු ජනයාට ගෙවන්නට සිදු වූ දුෂ්කර කාලය සිහි කරමින් උතුරු නැගෙනහිර බලහත්කාරී අතුරුදහන් කිරීමට ලක් කළ පුද්ගලයන්ගේ ඥාතීන් විසින් 'මුල්ලිවයික්කාල් කන්ජි' නමින් හඳුන්වනු ලබන, යුද්ධයට මැදි වුණු ජනයාට ආහාර වශයෙන් තිබූ එකම ආහාරය වූ කැඳ වර්ගය පිස බෙදා ගන්නා ලදී. එම කැඳ බෙදා දීමේ දී ඔවුන් විසින් ප්‍රදර්ශනය කළ සටහන පහත දැක්වේ.


"මුල්ලිවයික්කාල් කැඳ


ඒ 2009 දෙමළ ජනයාට එරෙහිව දියත් කර තිබූ වර්ග සංහාරක යුද්ධයේ අවසන් දින කිහිපයයි. සිව් දෙසින් වටකළ හමුදාවෝ අසරණ අවතැන් මිනිසුන්ගේ හිස් මත මරණය වපුරමින් සිටියහ. ඊට විරාම නොතියා මිනිසුන්ගේ බංකර්වලට හෙළන ලද ෂෙල් වෙඩි සහ පොකුරු බෝම්බ ද පිපිරෙමින් තිබුණි. මළමිනී සහ මරණීය තුවාල ලැබූවන්ගේ උණුසුම් රුධිරයෙන් මුල්ලිවයික්කාල් නම් දුක්ඛිත නිජබිම නැහැවී ගියේය. 


විමුක්තිය අදිටන් කරගත් දේශයක මිනිසුන්ව සාගින්න සහ මරණය විසින් වටකර තිබුණි. මුදල්වලට වටිනාකමක් හෝ සාගින්නට අහරක් හෝ තිබුණේ නැත. ඉතිරිව තිබූ සමාජ සුබසාධන සංවිධානත්, දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයත් එක්ව, වන්නියේ කුඹුරු බිම්වලින්ම ජීවිත සරිකරගත් මිනිසුන්ගේ අවසන් ජීව පොද රකිනු වස් ‘මුල්ලිවයික්කාල් කැඳ’ නම් ජීවන මාත්‍රාව පිසුවේ එවන් මොහොතක ය. ඒ මිනිසුන්ට අහර වූයේ වතුරත්, සහල් මිටකුත්, සොයා ගත හැකි වුවොත් ලුණු බිඳකුත් එක්කොට පිසූ මේ කැඳ පමණි. 


ළමුන්, මහල්ලන් හා ගැබිණි අම්මාවරු කැඳ ලැබෙනතුරු දිගු පෝලිම්වල හාමත්ව කල් මැරූහ. එසේ පෝලිම්වල කල් ගෙවද්දීම ගුවනින් හෙළන ලද පොකුරු බෝම්බවලට හා ෂෙල් වෙඩිවලට ලක් වී දහස් ගණනකට මරණයම උරුම විය. ලැබෙනතුරු බලා සිටි කැඳ කෝප්පයෙන් උගුරක් තොල ගා කුසේ වැඩෙනා දරුවාගේ බඩගින්න නිවීමට පෙරම, ගැබ විවර වී ලේ විසිරී අතුරුණුබහන් හා නූපන් කළලය එළියට විසිව තිබූ මිනිස් ඛේදාන්තයන් ඒ කැඳ පිළිබඳ මරණීය මතකයක් එක්කර අපේ පරම්පරාවේ හදවත් තුළට කා වැදුණි. 


යුක්තිය ඉල්ලා අරගල කරන අපේ මිනිසුන්ගේ වේදනාබරිත හඬට මේ ලෝකය සවන් දෙන තුරු "මුල්ලිවයික්කාල් කැඳ" විසල් වේදනාබර ඛේදවාචකයක්, සංකේතයක් ලෙස අපේ ජනයාගේ සාමූහික මතකය තූළ ආරක්ෂා කර ගැනීම අපේ ඓතිහාසික වගකීම යි. 


යුක්ති සහගත ගෞරවාන්විත ජීවිතයක් උදෙසා අරගල කරන්නට බලකෙරුණු මිනිසුන්ගේ මෙම ජනතා නැඟිටීමෙහි එක් මොහොතක් ලෙස  "මුල්ලිවයික්කාල් කැඳ" ද ඉතිහාසයේ එක්තරා තැනක සලකුණු වී තිබේ. 


උතුර - නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීන්ගේ සංගමය."


2022 මුල්ලිවයික්කාල් ස්මරණ සතියේ දී මුල්ලිවයික්කාල් කන්ජි බෙදා දීම


යුද්ධය තුළ සහ යුද්ධය අවසන් වීමෙන් පසුව දෙමළ ජනයාට එරෙහිව සිදු කරන ලද, බලහත්කාරී අතුරුදහන් කිරීමට ලක් කිරීම වැනි අපරාධවලට යුක්තිය ඉල්ලමින් සහ සමූහ ඝාතනයට ලක් වූ දෙමළ ජනයා සිහි කරමින් බලහත්කාරී අතුරුදහන් කිරීමට ලක් කළ පුද්ගලයන්ගේ ඥාතීන් විසින් නැගෙනහිර පළාතේ පොතුවිල් සිට උතුරු පළාතේ මුල්ලිවයික්කාල් දක්වා දින තුනක් පුරා පා ගමනින් ගොස් මැයි 18 වන දින මුල්ලිවයික්කාල් ස්මරණය සිදු කරන ලදී. 


මෙසේ තම සමාජයේ සාමූහික ඉරණම වසරක් පාසා ස්මරණය කරමින් පරපුරෙන් පරපුරට ඒ සාමූහික මතකය පවත්වා ගෙන යාම විසින් ප්‍රකට කෙරෙන යුක්තිය කෙරෙහි වන නොසංසිදෙන අධිෂ්ඨානය වනාහි අයුක්තීන්හි වින්දිත සාක්ෂිකරැවන් වූ සමාජයක අපරාජිත බව යි. 


දකුණ; මතකය අත්හළ සමාජයක්


1987-89 රාජ්‍ය භීෂණය ලේ මතින් හා ගිණිය නොහැකි අයුක්තීන් මතින් ඇසින් දුටු දකුණේ සමාජය, ඉන් වසර කිහිපයක් ඉක්ම යන තැන්හි ඒ සාමූහික මතකය අමතක කර යුක්තිය පිළිබද සිය අධිෂ්ඨානය පසෙක ලීමට සාමූහිකව එකග විය. පාරවල් පුරා දැවුණු මළ සිරුරු ද, අත් පා වෙන්වුණු මිනිස් කොටස් ද, අතුරුදහන් වීම් ද, සාහසික ඝාතන ද, වචනයෙන් විස්තර කළ නොහැකි වධ බන්ධන ද, ඉක්බිති හමු වූ සමූහ මිනී වළවල් ද සමඟ ඒ සියල්ල ක්‍රියාත්මක කළ රාජ්‍ය අපරාධකාරීත්වය අමතක කිරීමට දකුණේ සමාජය තීරණය කරන ලදී. 1987-89 බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් කළ පුද්ගලයන්ගේ ජීවත්ව සිටින සමීපතමයන් විසින් අතුරුදහන් කළ තම ආදරණීයයන්ට යුක්තිය ඉල්ලා සිදු කරන අරගලය දකුණේ සමස්ථ සමාජයේ අරගලයක් නොවී මිනිසුන් කිහිප දෙනෙකුගේ හුදෙකලා අරගලයක් වී ඇත්තේ එහෙයිනි. දකුණු ආසියාවේ හමු වූ විශාලතම සමූහ මිනී වළක් වන මාතලේ සූරිය කන්ද මිනී වළ පිළිබඳ දකුණේ උණුසුම සතියකින් දෙකකින් පහව යන්නේ එබැවිනි. වඩා පැහැදිලිව කියන්නේ නම්, 1987-89 සමයේ එකී සමූහ මිනී වළ හමු වූ ප්‍රදේශය භාරව සිටි හමුදා නිලධාරියා ඉන් වසර තිහකට පසු රාජ්‍ය නායකයා බවට දකුණේ ජනතාව විසින් පත් කරගන්නේ ද එහෙයිනි.

රාජ්‍ය ත්‍රස්තවාදයට ගොදුරු වී සහමුලින් විනාශ වී ගිය දකුණේ දේශපාලන ව්‍යාපාරය තෝරා ගත්තේ තම දහසක් මිනිසුන් ඝාතනය කළ, අතුරුදහන් කළ අපරාධකාරී රාජ්‍යයට අභියෝග කරමින් ඒ අයුක්තීන්ට යුක්තිය ලබා ගැනීමේ මාර්ගය වෙනුවට, ඒ අපරාධකාරී රාජ්‍යයයේ සමීපතම සහයකයා වීමේ භූමිකාව යි. සිය සගයන් මර්දනය කළ රාජ්‍ය විසින්ම අනෙක් පස හැරී දෙමළ ජනයා මර්දනය කරන විට ඔවුහු පළමු වටයේ දී නිහඬව සිටීමෙනුත්, දෙවන වටයේ දී සාමකාමී දේශපාලන විසඳුමක් සඳහා වන සියලු මාර්ග අහුරමිනුත්, ජන ඝාතක යුද්ධයක් සඳහා දකුණේ ජන මතය සකසමිනුත් රාජ්‍යයට තමන්ගේ උපරිම සහය ලබා දෙන ලදී. තමා විශ්වාස කළ දේශපාලන මතවාදයක් වෙනුවෙන් නැඟී සිටිම නිසා 1987-89 දී රාජ්‍ය අතින් මියෙන්නට වූ ඒ මිනිසුන්ට, එබැවින් උරුම වූයේ, දකුණේ හෝ අවම වශයෙන් ඒ දේශපාලන ව්‍යාපාරයේ හෝ මතකයේ කොටසක් නොවී, වසරක් පාසා පැවැත්වෙන උත්සවවල ප්‍රදර්ශන භාණ්ඩ බවට පත්වීමට යි.  


කොළඹ නගරය අලංකරණය සඳහා, ඇඹිලිපිටිය සිසු ඝාතනය මූලික කරගෙන 1987-89 රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ සියලු දෙනා ස්මරණය කිරීම සඳහා ඉදි කර තිබූ අහිංසකයන්ගේ ආරාමය සම්පූර්ණයෙන් ඩෝසර් කර ඒ මත ශරීර සුවතා මංතීරු ද විවේකී කෑම හල් ද ඉදි කිරීමට එරෙහිව සාමූහිකව හඬ නැඟීමට දකුණේ සමාජයට ශක්‍යතාවයක් නොමැතිකම, සාමූහික මතකය නඩත්තු නොවීමේ සහ සන්නිවේදනය නොවීමේ ඛේදනීය ප්‍රතිඵලය යි. ඉන් සිදුවූයේ වින්දිත දකුණ තමන්ටම එරෙහිව වූ අපරාධයන්හි හවුල්කරැවෙක් වීමට තීන්දු කිරීම පමණක්ම නොවේ. වඩා භයානක ලෙස, සිය සමාජයේ සාමූහික මතකය මීළග පරම්පරාවන්ට සන්නිවේදනය නොකර සිටීම විසින්, වසර 30ක් තරම් මෑත අතීතය පිළිබඳ කිසිඳු මතකයක් හෝ දැනුවත් භාවයක් නැති, ඉතිහාස සාක්ෂරතාවයෙන් හීන නව පරම්පරාවක් දකුණේ බිහි කර ඇත. අද අපි අත්දකිමින් සිටින යථාර්ථය නිර්මාණය කිරීමත්, එය තේරුම් ගත නොහැකි අන්දමේ විකෘතියක් බවට පත්ව තිබීම ත් ඒ හා එකට ගැට ගැසී ආ නියත අගතීන් වේ. 


 මුල්ලිවයික්කාල් ස්මරණය 2022



මර්දනය කළ නොහැකි මතකය


සොහොන් කොත් ඩෝසර් කර ඒවා මත හමුදා කඳවුරු ගොඩනැඟීමෙන්, ස්මාරක විනාශ කිරීමෙන්, මළවුන් වෙනුවෙන් පහනක් ඉටි පන්දමක් දැල්වීමට ඉඩ නොදීමෙන්, ස්මරණයෙහි නිරත වන්නන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගැනීමෙන්, මළවුන් ස්මරණය කරන්නන් තර්ජන බියවැද්දීම්, සෝදිසි කිරීම්වලට ලක් කිරීම් ආදි අතොරක් නැති බාධාවලට සහ මර්දනයට ලක් වෙමින් දෙමළ ජනයා දශකයකට ත් අධික කාලයක් පුරා මිය ගිය ආදරණීයයන්ගේ මතකය මියෙන්නට නොදී රැකගෙන ඇත. ඒ, උතුරු නැගෙනහිර ජනයාට මළවුන් ස්මරණය කිරීමට අයිතියක් නැතැයි දකුණේ බහුතර ජනයා තීන්දු කර තිබෙන, දකුණේ කිසිඳු සහයෝගිතා ව්‍යාපාරයක් නැති, මාධ්‍ය ආවරණයක් නැති පසුබිමක ය.  


මෙවර මුල්ලිවයික්කල් ස්මරණය ද සුපුරුදු ලෙස ආරම්භයේ පටන් රාජ්‍ය හමුදාවන්ගේ තර්ජනයට සහ බිය ගැන්වීමට ලක් විය. මුල්ලිවයික්කාල් කැඳ බෙදා දීමේ නිරත පුද්ගලයන්ව ඡායාරූප ගත කිරීම ද ස්මරණය පැවැත්වෙන ස්ථානය පුරා හමුදාව නිතර සැරිසැරීමත් සිදු විය. මෙවර මුල්ලිවයික්කාල් ස්මරණයෙහි සංවිධායකයෙක් වූ විවේකානන්දන් ප්‍රියන්ගන්ව රාජ්‍ය බුද්ධි අංශයට සම්බන්ධතා ඇති බව කියවෙන මැර පිරිසකගේ අමානුෂික පහර කෑමට ලක්ව රෝහල් ගත කරන ලදී. 


වසර දහ තුනක් පුරා සොහොන් බිම් සමතලා කර ඒ මත තනන ලද හමුදා කඳවුරු ඉදිරිපිට පහන් දැල්වීමත්, ස්මාරක කඩ බිඳ දැමූ පසු නැවත නැවත ඒවා ගොඩනැඟීමත්, අත් අඩංගුවට ගනු ලබන බව දැන දැනම මළවුන් ස්මරණය කිරීමත් මිස, මර්දනයට සිය මතකය උදුරා ගැනීමට ඒ ජනයා කිසි විටෙක ඉඩ දුන්නේ නැත. ඉඳින්, මිය ගිය ආදරණීයයෙක් වෙනුවෙන් එළියක් දැල්වීමට හෝ නොදී දෙමළ ජනයාගේ සාමූහික මතකය වළලා දකුණ රකින්නට හදන්නේ තමන් සිරව ඇති කළුවර බිම් ගෙය මිස අන් කවර නම් දෙයක් ද?


මෙම වසරේ දී මැයි 18 වනදා කොළඹ ගෝල්ෆේස් හි දී ඉතා සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව වුව යුද්ධයෙදී ඝාතනය වූ සිවිල් දෙමළ ජනයා සිහි කරමින් මුල්ලිවයික්කාල් ස්මරණයක් පුරවැසි පිරිසක් විසින් පවත්වන ලදී. නොමද රාජ්‍ය පීඩනයට ලක් වෙමින් දෙමළ ජනයා විසින් සිදු කරනු ලබන මුල්ලිවයික්කාල් ස්මරණය, දශකයකටත් වැඩි කලකට පසු දකුණේ ඉතා කුඩා කණ්ඩායමක් විසින් හෝ හදුනා ගැනීම වැදගත් වන්නේ, උතුරේ සංහාර සාධාරණීකරණය කරනු වස් දකුණේ සංහාර මතකය සිතා මතා කුරුටු ගෑ දකුණේ සමාජයේ ශිෂ්ටත්වය කෙරෙහි වන ගමනට ද, උතුරේ සිදු වූ ඒ මහා මිනිස් ඛේදවාචකයේ මතකය පවත්වාගෙන යාම මඟ හැර යා නොහැකි ඇත්තක් ලෙස සම්මුඛ වන හෙයිනි.


වින්දිතයාගේ සමස්ථ ජීවිතය යනු යුක්තිය උදෙසා වන අනවරත වෙහෙසකර ගමන මිස අන් කුමක් ද? මුල්ලිවයික්කාල් මිනිස් ඛේදවාචකය ත්, ඒ සාමූහික මතකය නොමියෙන්නට නොදී, යුක්තියම මිස ඉන් මෙහා යමකට සම්මුති ගත නොවන ජනයාගේ ස්මරණයත් අපිට සිහිපත් කරන්නේ එය යි. 


කොළඹ මුල්ලිවයික්කාල් ස්මරණය 2022 මැයි 18
ඡායාරූපය - බෙනිසිලෝස් තුෂාන්