“යුක්තිය ඉල්ලා හඬ නගන සමාජයක් නියෝජනය කරන මා ඉදිරියේ එම හඬ මර්දනය කිරීමට උත්සහ කරනවා නම් ඒ අයුක්තියේ වේදනාවන් මටත් පොදුයි” - කනපතිල්ලෛ කුමනන් -

 


අනූව දශකයේ මුල භාගයේ මුලතිව් - කුමුලමුණෛ හි උපන් කනපතිල්ලෛ කුමනන්, ඇවිල ගිය යුද්ධයකින් පසුත් නිමී නොගිය රාජ්‍ය අයුක්තියට සහ අසාධාරණයට අභියෝග කිරීම ජීවිතය ලෙස තෝරාගත්තෙකි. ඡායාරූප මාධ්‍යවේදියෙක් ලෙස හුදු වාර්තාකරණය රාජකාරිය කරනොගත් ඔහු, වෘත්තිය ද අරගලයක් වූ උතුරේ අනවරත අරගල තුළම දිවි ගෙවන, ඉන් වියෝ කළ නොහැකි කොටසක් ලෙස සලකන්නේ එහෙයිනි. දිගින් දිගටම එල්ල වන රාජ්‍ය මර්දනයේ නියත ඉලක්කයක් වී ඇති කුමනන්ගේ අභීත මාධ්‍යකරණය සහ යුක්තිය පිළිබඳ නොනිම් අධිෂ්ඨානය කෙරෙහි සහෘදස්පන්දන අපි සහෝදරාත්මක ආචාරය පල කරමු.


සාමාන්‍යයෙන් ළමා කාලය කියන්නේ ඉතා සුන්දර කාලයක් කියලා පොදුවේ පිළිගැනීමක් තියෙනවා. යුද්ධයෙන් බැට කෑ සමාජයක ජීවත් වූ ඔබේ ළමා කාලය කෙබඳු එකක් ද?


ඉපදුණ දවස්වල ඉඳලා ම යුද්ධයත් එක්ක ම තමයි ජීවත් වුණේ. මොකද කිව්වොත් මම ඉපදුණ 1993 වසරේ ඉඳන් 2009 දක්වා ම යුද්ධයට මැදි වුණ ජීවිතයක් අපි ගත කළේ. විමුක්ති කොටි සංවිධානයේ පාලනය යටතේ අපි ජීවත් වුණා. ලංකා ආණ්ඩුව කියන දෙය අපිට දැනුණේ වෙනස් විදිහට. ඒත් එක්කම ආර්ථික අර්බුද, මානව හිමිකම් කඩවීම් විශාල ප්‍රමාණයක් තිබුණා. මානව හිමිකම් කඩවීම් කියන්නේ, යුද්ධය. යුද්ධයට මුවාවෙන් සැලසුම් සහගත ඝාතනයන් සහ ජන සංහාර අපේ ජීවිතයේ දෛනිකව දකිමින් ජීවත් වෙන්න සිදු වුණා. අපි එතරම් දරුණු කාලයක ජීවත් වුණත් ඒ කාලය තුළ සතුටක් සහ තෘප්තියක් තිබුණා කියලා කියන්න පුළුවන්. මට විතරක් නෙවෙයි. මෙහෙ ජීවත් වුණ හැම කෙනෙකුට ම එහෙමයි කියලා හිතනවා. දරුණු ආර්ථික අර්බුද, මරණ සමඟ ජීවත් වුණත් වත්මන් තත්ත්වයට වඩා පරිපූර්ණ ජීවිතයක් අපි ගත කළා.


යුද්ධය හමුවේ අවතැන්වීමත් සමඟ යුද්ධය පැවති ප්‍රදේශවල බොහෝ දරුවන්ට පාසල් කිහිපයකට යන්න සිදු වුණා.  ඔබේ පාසල් කාලය කොහොම ද?


මම ගමේ ඉද්දී එක ම පාසලකට තමයි ගියේ. විමුක්ති කොටි සංවිධානයේ පාලනය යටතේ පැවැති අපේ ගම තිබුණේ ගොඩක් මැදකට වෙන්නයි. ගුවන් හමුදා ප්‍රහාර, ෂෙල් ප්‍රහාර ගම ඉලක්ක කරමින් නිතර සිදු වුණත් 2008 වසර වෙනකම් හමුදාවට අපි ජීවත් වුණ ගම අත්පත් කරගන්න බැරි වුණා. ඒ නිසා මම මූලික අධ්‍යාපනය ලැබුවේ කුමුලමුණෛ මහා විද්‍යාලයේ. 2008 වසරේ ඔක්තෝබර් මාසයේ දී අපිට ගමින් අවතැන් වෙන්න සිදු වුණා. ඒ නිසා අපේ පාසල පැවැත්වූයේ තන්නීර් ඌට්‍ර කියන ගමේ. මාස තුනක් අමාරුවෙන් පාසල පැවතුණා. 2008 වසරේ දෙසැම්බර් මාසයේ දී යුද්ධයේ තත්ත්ව උග්‍ර අතට හැරුණ නිසා ඒ පාසලේ වැඩ කටයුතු එහෙම ම අතර මඟ නතර වුණා. ඊට පස්සේ 2009 වසරේ මැයි මාසය වෙනකම් අපි කිසි කෙනෙක්ට ඉගෙනගන්න ලැබුණේ නැහැ. 2009 මැයි මාසයෙන් පස්සේ, වව්නියාවේ - සෙට්ටිකුලම් ප්‍රදේශයේ පිහිටි අභ්‍යන්තර අවතැන් වූවන්ගේ කඳවුරේ ඉඳන් තමා අධ්‍යාපන කටයුතු කරගන්න සිදු වුණේ.  ඊට පස්සේ ආයෙත් ගමට ඇවිත් පරණ පාසලේ ම උසස් පෙළ කළා. 


යුද්ධය අවසන් වන විට ඔබ නව යොවුන් වියෙහි තරුණයෙක්. ඒ අත්දැකීම ගැන යමක් කියන්න පුළුවන් ද?


යුද්ධ අත්දැකීම් ඉතා දරුණු යි. එක් සංවිධානයකට විරුද්ධ ව යුද්ධය කරනවා කිව්වත් යුද්ධයට මැදි වුණු අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට දැනුණේ යුද්ධය සිදු වුණේ සාමාන්‍ය දෙමළ සමාජයට විරුද්ධව බව. මොකද රජයේ යුධ ප්‍රහාරවලින් සාමාන්‍ය සිවිල් ජනතාව දහස් ගණනක් මිය යනවා අපි දැක්කා. දෛනිකව අසල්වාසීන්ගේ ජීවිත අහිමි වෙන ආකාරය, තුවාල ලබන ආකාරය දකිමින් අපි ජීවත් වුණේ. කෑම කද්දී, පාඩම් වැඩ කරද්දී, ඉගෙනගනිද්දී මිනිස්සු මැරිලා වැටෙනවා, තුවාල වෙලා වැටෙනවා වගේ දේවල් නිතරම දැක්කා. අපේ මිනිසුන්ට ගොඩාක් සිහින තිබුණා. සාමාන්‍ය පෙළ විභාගයෙන් හොඳ ප්‍රතිඵලයක් ගන්න ඕනේ කියන මගේ සිහිනයත් මේ යුද්ධය නිසා ම බොඳ වෙලා ගියා. යුද්ධය අවසන් වුණායින් පස්සේ රජය විසින් ලබා දුන් කඳවුරු ජීවිතය සාමාන්‍ය මිනිස් අවශ්‍යතා සම්පූර්ණ කරන්න පුළුවන් මට්ටමක තිබුණේ නෑ. ඒකත් මගේ අධ්‍යාපනයට ලොකු බලපෑමක් එල්ල කළා. ඒ පීඩනයෙන් මිදිලා ආයෙත් උසස් පෙළ ඉගෙනගන්න එක ලොකු අරගලයක් වුණා.


යුද්ධය අවසානයේ හමුදාවට භාර වූ සහ හමුදාව විසින් රැගෙන යාමෙන් අනතුරුව අතුරුදන් වූ  තම දරුවන්ට යුක්තිය ඉල්ලා මුලතිව් දිස්ත්‍රික්කයේ පැවැත්වෙන අම්මාවරුන්ගේ අරගලයේ 500 වන දිනයේ දී ගන්නා ලද ඡයාරූපයකි. (2018)

ඔබ වෘත්තීය මට්ටමේ ඡායාරූප මාධ්‍යවේදීයෙක්. මේ වගේ ක්ෂේත්‍රයක් තෝරා ගත්තේ ඇයි?


මම පොඩි කාලේ ඉඳන් උතුරු නැගෙනහිර ජනතාවට විරුද්ධව රජය මුදාහරින ප්‍රචණ්ඩත්වය, රාජ්‍ය මර්දනය දැක්කා. ඒවා නිසා මිනිස්සු විඳින වේදනාවන් දැක්කා. ඒ වේදනාවන් ලෝකයට ගෙනියන්න, ඊට විරුද්ධව හඬක් නඟන්නයි මම මේ ක්ෂේත්‍රය තෝරගත්තේ. වසර තිහකට අධික කාලයක් තිබුණු යුද්ධයට හේතු වුණ කාරණා තාමත් මේ සමාජය තුළ ඒ විදියට ම තියෙනවා. යුද්ධය අවසන් වෙලා අවුරුදු 13 ක් ගත වුණත් අපිට තවමත් සමානාත්මතාවයෙන් සලකන්නේ නැහැ. යුද්ධය අවසන් වුණම දවස්වල අපිට මිනිසුන්ට වගේ සැලකීමක් ලැබුණේම නැති තරම්. මම මුලින්ම සාමාන්‍ය ඡායාරූප ගත්තේ. පසුව, මේ ක්ෂේත්‍රය තෝරගත්තොත් මගේ සාමාජය වෙනුවෙන් යමක් කරන්න පුළුවන් වෙයි කියලා හිතුණා. ඒ තුළින් සමාජයට ලොකු බලපෑමක් කරන්න පුළුවන් වෙයි කියන විශ්වාසයකුත් තිබුණා. ඒ විශ්වාසය සහ උනන්දුව තමා මාව මේ තරම් දුරකට අරන් ආවේ.


හමුදාව විසින් බලහත්කාරයෙන් අත්අපත් කරගෙන ඇති තම පෞද්ගලික ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලමින් මුලතිව්  දිස්ත්‍රික්කයේ කේප්පාපිලව්හි ජනයා විසින් හමුදා කඳවුර අසල 2017 වසරේ දී පැවැත්වූ විරෝධතාවය.

ඔබ සමාජය සමඟ නිතරම ඉන්න ඡායාරූප මාධ්‍යවේදියෙක් වශයෙන් ඔබ ලබපු අත්දැකීම් ගැන ටිකක් අපට පැහැදිලි කළොත්..?


ගොඩක් අරගලවලට මමත් හේතුවක් වෙලා තියෙනවා. හේතුව කියලා කියන්නේ අරගලවල ජයග්‍රහණවලට. මාධ්‍යවේදියෙක් විදිහට අරගල ආරම්භ කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට මගේ දායකත්වය මම උපරිමයෙන් ලබා දෙනවා. අරගල වාර්තා කරන්න මගේ ඡායාරූප යොදා ගෙන තියෙනවා කියලා දැක්කම ලොකු තෘප්තියක් දැනෙනවා. හමුදාවෙන් අත්පත් කරගත් තමන්ගේ ඉඩම් නැවත ලබා දෙන ලෙස  2017 දී කේපාපිලව් - පිලව්කුඩුඉරිප්පු ජනයා දිගටම වීදි සටන් කරද්දී, මාසයක් හෝ ඊට වැඩි කාලයක් ඒ ජනතාවත් එක්කම තමයි මම හිටියේ. පැය 24 ම එයාලාගේ ක්‍රියාකාරකම් ඡායාරූප ගත කරමින්, පාරේ නිදාගෙන, එයාලා කන කෑම කාලා ගත කරපු දවස් කවදාවත් අමතක කරන්න බෑ. ඒ අරගලයට සම්බන්ධ බොහෝ සිදුවීම් මගේ ඡායාරූප තුළින් සමාජ ගත වුණා කියලා හිතද්දී ලොකු සතුටක් දැනෙනවා. 

ඒ වගේ ම උතුරු නැගෙනහිර අතුරුදන් කළ මිනිස්සුන්ට යුක්තිය ඉටු කරන්න කියලා අම්මාවරුන් විසින් ආරම්භ කරලා තියෙන අරගලය අවුරුදු 5 කට වැඩි කාලයක් අඛණ්ඩව පැවැත්වෙනවා. ඒ අරගලයේ ඉන්න අම්මාවරුන්ගේ මුහුණු, එයාලාගේ වේදනාවන්, හැඟීම් ඡායාරූප ගත කරද්දී, ඒ ජනතාව තුළ තියෙන සටන්කාමී ගුණය, ධෛර්යය වගේ දේවලින් මට ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුණා. එතැන ඉන්න හැම අම්මා කෙනෙක් ම විප්ලවාදීන් විදිහට තම වේදනා දරාගෙන, වත්මන් ආර්ථික අර්බුදය පවා තියෙද්දි මීට අවුරුදු පහකට පෙර ආරම්භ කළ සටන අත්නොහැර ඉන්න තරම් ධෛර්යයවන්තයි. වේදනා මුසු ඒ අයගේ ඡායාරූප සමාජ ගත කරන එකත් දෛනිකව ම කරනවා. මේ අරගලයේ දී හමුවෙන සමහර අම්මලා එකිනෙකා රෝගී වෙලා හදිසියේ මේ ලෝකයේ සමුගනිද්දී ඒ අයගේ මරණ දැන්වීම්වලට මං ගත්ත ඡායාරූප යොදා ගන්න එක එක්තරා ආකාරයක් සිත් වේදනාවක් ඇති කළත්, මේ සමාජ වෙනුවෙන් මම ඉතා වැදගත් කාර්යයක් ඉටු කරනවා කියලා මම හිතනවා.


2009 අවසන් යුද සමයේ දී වවුනියා ඕමන්තේ ප්‍රදේශයේ පිහිටා තිබු ප්‍රධාන හමුදා මුරපොළට භාර වූ බොහෝ පිරිස් අතුරුදන් විය. මෙම ඡායාරූපය ඔවුන්ට යුක්තිය ලබා දෙන ලෙස ඉල්ලමින්, අගෝස්තු 30 වනදාට යෙදෙන ජාත්‍යන්තර අතුරුදහන් කළවුන්ගේ දිනයේ දී, 2019 දී ඕමන්තේ ප්‍රදේශයේ දී පැවැත්වූ විරෝධතාවයේ දී සටහන් වූ එකකි.


ඔබගේ ඡායාරූප ජාත්‍යන්තර මට්ටමේ ප්‍රදර්ශනවලත් ප්‍රදර්ශනය වුණා නේද?


උතුරේ සිදු වන අරගල, විරෝධතා සහ රාජ්‍ය යාන්ත්‍රණයේ මර්දනය සම්බන්ධයෙන් මං ගන්න බොහෝමයක් ඡායාරූප ගාඩියන් ඇතුළු බොහෝ ජාත්‍යන්තර මාධ්‍යවල පළ වෙලා තියෙනවා. යුද්ධයෙන් අතුරුදහන් වූ දරුවන් සොයමින් සිටින ඇවිදින දෙමාපියන්ගේ ඡායාරූප එකතුවක් 2019 දී උත්තරිප්පුකලින් (තැවීම්) කියන නමින් ප්‍රදර්ශනයක් කළා. විශේෂයෙන් ම යාපනය මහජන පුස්තකාලයේ දීත්, යුද්ධය අවසන් වීමෙන් අනතුරුව ඒ කියන්නේ 2009 වසරේ මැයි මාසයේ දී ජනයා විශාල වශයෙන් හමුදාවට භාර වුණ වට්ටුවාල් පාලම අසලත් මේ ප්‍රදර්ශනය පැවැත්වූවා. ජර්මනියේ, ප්‍රංශයේ සහ කැනඩාවේ මේ ප්‍රදර්ශනය කරන්න හැකියාව ලැබුණා.


රජය විසින් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීන්ගේ වේදනාවන් පිළිබිඹු කරමින් 2019 අප්‍රේල් 07 වනදා වට්ටුවාකාල් පාලම අසල පැවැත් වූ කුමනන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය


උතුරු නැගෙනහිර සිදුවීම් වාර්තාකරණයේ දී ඔබ නිතරම ආරක්ෂක අංශවල බාධා කිරීම්වලට, තර්ජනවලට සහ පහරදීම්වලට ලක් වෙලා තියෙනවා. එහෙම අවස්ථාවලදී දකුණේ තියෙන මාධ්‍ය සංවිධාන හෝ මාධ්‍ය ආයතනවලින් ලැබෙන සහය කොහොම ද?


මම මේ වෘත්තීය ආරම්භ කරපු මුල් කාලයේ දී නම් කිහිප දෙනෙක් හැරුණු කොට දකුණේ මාධ්‍ය සංවිධාන, මාධ්‍ය ආයතන සහ සමාජ ක්‍රියකාරීන් මේ සම්බන්ධයෙන් ලොකුවට කතා කළේ නැහැ. මේවා හෙළා දැක්කෙත් නැහැ. නමුත් පසුකාලීනව උතුරු නැගෙනහිර මාධ්‍යවේදීන්ට සිදුවෙන රාජ්‍ය බාධා කිරීම් ගැන කතා කරන්නේ නැහැ කියලා විවිධ අය ඒ සංවිධානවලට චෝදනා කරන්න ආරම්භ කිරීමත් සමඟ යම් යම් අවස්ථාවල සීමිත පිරිසක් කතා කරන්න පටන් ගෙන තියෙනවා. මාධ්‍ය නිදහස වෙනුවෙන් පවත්වන විරෝධතාවල දී සීමිතව වුණත් අපි මුහුණ දෙන මර්දනය ගැන හඬ නඟන අය ඉන්න බව පේනවා. විශේෂයන් සමාජ මාධ්‍ය පැතිරීමත් එක්ක සමාජ මාධ්‍ය හරහා උතුරේ මාධ්‍යවේදීන්ට සිදුවන තර්ජන යම් විදියකට ප්‍රචාරය වෙනවා. ඇත්තට ම ඒක හොඳ ප්‍රවණතාවක් විදිහටයි මං දකින්නේ. මොකද ප්‍රධාන ධාරාවේ සිංහල මාධ්‍යවලින් කවදාවත් අපේ ගැටළු ප්‍රචාරය කරන්නේ නැහැ. නමුත් මේ ලැබෙන සහයෝගය ප්‍රමාණවත් නැහැ කියන එකයි මගේ අදහස. එක් එක් සිදුවීම් සිදු වුණාම යම් කෙටි කාලයකට හරි, කිහිප දෙනෙකුට විතරක් සිදු වන මර්දනයන් ගැන හරි විතරක් කතා කරලා මදි. අපි සමස්ත සමාජයක් විදියට රාජ්‍ය මර්දනකාරී දේවල්වලට නිතරම ලක් වෙනවා. ආරක්ෂක අංශවල තර්ජනයට මර්දනයට ලක් වෙන එකත් නිකම් අපේ ජීවිතයේ දෛනික සිදුවීම්වලින් එකක් වෙලා කියලයි කියන්න තියෙන්නේ.


යුද්ධය අවසානයේ හමුදාවට භාර වූ සහ හමුදාව විසින් රැගෙන යාමෙන් අනතුරුව අතුරුදන් වූ තම දරුවන්ට යුක්තිය ඉල්ලා මුලතිව් දිස්ත්‍රික්කයේ පැවැත්වෙන අම්මාවරුන්ගේ අරගලයේ 500 වන දිනයේ දී ගන්නා ලද ඡයාරූපයකි (2018)


ඔබ මෑතක දී ෆේස්බුක් හි පළ කළ නන්දිකඩාල් කලපුවෙ වට්ටුවාක්කල් පාලම අසල ඡායාරූපය සහ සටහන සමාජ මාධ්‍ය තුළ ලොකු කතාබහක් නිර්මාණය කළා.


ඔව්, නන්දිකඩාල් කලපුවේ මේ අවුරුද්දේ වෙසක් සැමරුම වෙනුවෙන් නෙළුම් මල් සහ බුදු රූපයක් නිර්මාණය කරලා තිබුණා. ඒක දැක්ක ගමන් මට මතක් වුණේ 2009 අවුරුද්දේ මේ වාගේ මැයි මාසයක දී අපි යුද්ධය මැදින් මෙතැනින් යද්දී දැක්ක දේවල්. ඇත්තටම ඒ අවුරුද්දේ මැයි මාසයේ නෙළුම් මල්වත් බුද්ධ රූපවත් නෙවෙයි එතැන තිබුණේ, මළ සිරුරු. ඒවා නන්දිකඩාල් කලපුවේ පා වෙමින් තිබුණා. සමස්ත සත්ත්වයාට මෛත්‍රීය දක්වන්න කියා දුන්න ශෘස්තුවරයෙකුගේ දහමක් විදිහටයි මම බුදු දහම ගැන දන්නේ. ඒ නිසා ම නන්දිකඩල් කලපුවේ තිබුණ වෙසක් සැරසිල්ල මට තේරුම් ගන්න බැරි තත්ත්වයක් උදා වුණේ 2009 අවුරුද්දේ සිදු වුණ සිදුවීම් එක්ක කල්පනා කරනකොට. ලොවට යහපතක් කරන්න දේශනා කළ දහමක් අනුගමනය කරන පිරිසක් විසින් විශාල පිරිසක් ඝාතනය වීම අති උත්කර්ෂවත් අන්දමින් සමරන්නේ කොහොමද කියන ප්‍රශ්නයත් ඒ වෙලාවේ මගේ සිතට වද දෙන්න ගත්තා. තරුණ තරුණියන්ට ලිංගික අපරාධ කළේත්, සාමාන්‍ය මිනිස්සුන්ව ඉතා කෲර ලෙස ඝාතනය කළේත් බුදු දහම අනුගමනය කරන අයම නේද කියන එකත් මට ඒ වේලාවේ මතක් වුණා. එහෙම කරපු රාජ්‍ය හමුදාවත් තවමත් ඒ මානසිකත්වයෙන් මිඳෙන්නේ නැතිව නන්දිකඩාල් කලපුවේ වෙසක් සැරසිලි කරපු එක එකිනෙකට පටැහැණි දේවල් විදියට යි මම දකින්නේ. ඒ නිසයි ඒ ගැන මම ඒ ඡායාරූපය සහ සටහන සමාජ මාධ්‍යයට එක් කළේ.


"2009 මැයි මාසයේ මෙවැනි දිනක මට වයස අවුරුදු 15 දී මේ වට්ටුවාකල් පාලම මතින් දහස් ගණන් මිනිසුන් හා සුව නොවූ තුවාල සමග මම ගමන් කළෙමි. එදා මේ කලපුව මත මේ බුදුන් හෝ නෙළුම් මල් පා වුණේ නැත. මම, ඔබ විසින් මරා දැමූ මිනිසුන්ගේ ලේ වැගිරෙන මෘතදේහ කලපුවේ පාවෙනු ඇසින් දුටු සාක්ෂිකරුවෙක් වෙමි. 
පින්තූරය - හමුදා සෙබළුන් විසින් වෙසක් සැරසිලි කර ඇති නන්දිකඩාල් වට්ටුවාකල් පාලම අසල කලපුව "


ජනාධිපතිවරයාට ධූරයෙන් ඉවත් වෙන්න කියලා දකුණේ ජනතාව ගාලුමුවදොර විරෝධතාවයක නිරත වෙමින් ඉන්නවා. ඔබත් අවස්ථා කිහිපයක දී ම ඊට සහභාගී වුණා. ඒ ගැන දරණ අදහස කුමක් ද?


ලෝකයේ සිදු වන ඕනෑ ම ප්‍රජාතන්ත්‍රවාදී අරගලයකට මගේ පක්ෂපාතීත්වය හැමදාමත් එක වගේ ලබා දෙනවා. ඒ කියන්නේ අසාධාරණය සහ අයුක්තියට  සිදු වන සෑම අරගලයකට මගේ පක්ෂපාතීත්වය තියෙනවා. ගාලු මුවදොර පිටියේ තියෙන්නෙත් ඒ ආකාරයේ ම අරගලයක්. මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා නැඟිටීම් මං අගය කරනවා. ගාලු මුවදොර අරගලයේ විප්ලවකාරීත්වයට මම ගරු කරනවා. ඒ අර්ථයෙන් ගාලුමුවදොර සිදුවන අරගලයට මගේ පූර්ණ සහයෝගය ලබා දෙනවා. නමුත් සහය පළ කරනවා වගේ ම එහි තියෙන මතවාද සම්බන්ධයෙන් මට පැහැදිලි විවේචනයකුත් තියෙනවා. ගාලු මුවදොර අරගලය තුළ උතුරු නැගෙනහිර අපි දීර්ඝ කාලයක් තිස්සේ මුහුණ දෙන අසාධාරකම් එකක් වත් සටන් පාඨ විදියට වත් දකින්න නැහැ. ඒ වගේම උතුරු නැගෙනහිර මේ වෙනකොටත් කරමින් තියෙන අතුරුදහන් වූවගේ ඥාතීන්ගේ අරගලය, හමුදාව විසින් බලෙන් අත් කරගෙන ඉන්න ඉඩම් ආපසු දෙන ලෙස කරන අරගලය, දැඩි හමුදාකරණය නිසා අපි දිනපතා මුහුණ දෙන ගැටලු වගේ දේවලට ඔවුන් විවෘතව සහය පල කරන්නේ වත් ඒ ගැන කතා කරන්නේ වත් නැහැ. ක්‍රම වෙනසක් වෙනුවෙන් සටන් කරන බව කිව්වට හැමදාමත් වුණා වගේ සුළු ජාතීන්ව බැහැර කරපු ක්‍රමයක්ම තමයි ඔවුන්ගේ අරගලය තුළත් අපිට පේන්නේ. ඒ නිසා ඒ අරගලය සමස්ත දේශයම එක් කරගෙන සිදු කරන අරගලයක් විදිහටයි මං දකින්නේ නැහැ. දැන් ඉන්න ජනාධිපතිවරයා ඉල්ලා අස්වුණත්, අපිට සිදු වෙමින් තියෙන නොසලකා හැරීම් සහ අවනීතීන් වෙනස් නොවෙන බව අපි දන්නවා. කොයි තරම් ආණ්ඩු මාරු වුණත් අපේ අත්දැකීම ඒකයි.   


ඡායාරූප මාධ්‍යවේදීයෙක් විදිහට ඔබ සමාජගත කරන්න උත්සහ කරන්නේ කුමක් ද?


රාජ්‍ය මර්දනකාරී ක්‍රියාවන් සිදුවන හැමතැනක ම, යුක්තිය වෙනුවෙන් නඟන හඬ නිහඬ කිරීමට උත්සහ දරණ සෑම අවස්ථාවක ම ඒ ජනයාගේ හඬක් ලෙස මගේ ඡායාරූප තියෙන්න ඕනේ කියන එකයි මගේ කැමැත්ත. එවැනි ආකාරයේ ඡායාරූප මිනිස්සු අතරට ගිහින් ඇති කියලා මම තදින් විශ්වාස කරනවා. අකුරුවලින් දෙයක් ලියා පළ කරනවාට වඩා ඡායාරූප මාධ්‍යයෙන් සමාජයට ලොකු බලපෑමක් එල්ල කරන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ නිසා තමා මගේ ඇතැම් ඡායාරූප ආගම්, භාෂා, ජාතිය කියන දේවල් අතික්‍රමණය කරලා බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වෙලා තියෙන්නේ. මම ගත්ත ගොඩාක් ඡායාරූප සිංහල සහෝදරයන් තුළ පවා දැඩි කම්පනයක් ඇති කරවලා තියෙනවා. මේ වගේ දේවලුත් වෙනවා ද කියලා ඔවුන් මගෙන් අහනවා. මං තෝරගත්ත ඡායාරූප මාධ්‍යවේදීයා කියන වෘත්තියෙන් ලබපු ලොකු ජයග්‍රහණයක් විදිහට මේක හඳුන්වලා දෙන්න පුළුවන්. යුක්තිය ඉල්ලා හඬ නගන සමාජයක් නියෝජනය කරන මා ඉදිරියේ එම හඬ මර්දනය කිරීමට උත්සහ කරනවා නම් ඒ අයුක්තියේ වේදනාවන් මටත් පොදුයි. ඒ නිසා අපේ සමාජයේ වේදනාවන් මා විසින් ම ලෝකයාට ඉදිරිපත් කිරීම මගේ ජීවිතය බව කියන්න පුළුවන්.


2022 වසරේ මාර්තු 20 වනදා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යාපනය, මට්ටුවිල් ප්‍රදේශයේ සිදු කළ සංචාරයට විරෝධය දක්වමින් සහ බලහත්කාරයෙන් අතුරුදන් කළ දරුවන්ට යුක්තිය ඉටු කරන ලෙස බල කරමින් සංවිධානය කළ විරෝධතාවයට ආරක්ෂ අංශ සිදු කළ පහරදීමට විරෝධය දක්වන මවක්.